අනුරාධපුරයට ප්‍රථම එල්. ටී. ටී. ඊ. ප්‍රහාරය සිදුකළදා


1985 මැයි 14 දා තමයි එල්. ටී. ටී. ඊ. එක මුළින්ම අනුරාධපුරයට පහරදීලා අහිංසක සිවිල් වැසියන් 150ක් විතර මරලා දැම්මේ. එදා ඉස්කෝලෙ දවසක්. අපි ඉස්කෝලේ ඉද්දී පොලිසියෙන් ජීප් එකක් ආවා. ඉන් ටික වෙලාවකට පස්සෙ විදුහල්පතිතුමා රැස්වීමක් කැඳවලා නිවේදනය කළා අනුරාධපුරයට කොටි ඇවිත් මිනිස්සු මරණවා අපිට හැකි ඉක්මණින් ගෙදර යන්න කියලා. අපිත් පොත් ටිකත් අරන් දිව්වා ගෙදර.

ගෙදර ගිහින් බයෙන් බයෙන් ඉන්නවා හැමෝම කොටි අපේ ගමටත් එයි කියලා. හන්දියේ මිනිස්සුයි, කොල්ලොයි වෙඩි බෙහෙත් කොටන තුවක්කුයි, උන්ඩ දාන තුවක්කුයි, කඩු, පොලු, කැති අරන් තැන තැන රැස්වෙලා. කොටි ආවොත් සටන් කරන්න. කොහොමටත් අපේ ගමේ මිනිස්සු කිසිම කොටි ප්‍රහාරයකදි බයේ දිව්වේ නැහැ.

වෙනදට වඩා කළින් ගෙදර ආව නිසා තවම අම්මා දවල්ට උයලා නෑ. ටිකක් වෙලා යද්දි බඩගිනියි. මමයි, අරුණ මල්ලියි, මහින්ද අයියයි කජු කන්න කජු ගහ ළඟට ගියා. අරුන මල්ලියි මහින්ද අයියයි කජු ගහට නැග්ගා. මම බිම ඉඳන් අතින් කජු පුහුලන් කඩාගෙන කෑවා. ටිකක් වෙලා යද්දි කජු ගහේ අතු කැඩෙන සද්දයකුත් එක්ක මහින්ද අයියා කජු ගහෙන් බිමට වැටුනා ගොඩක් උස අත්තක ඉඳලා. අරුණ මල්ලිත් ගැහි ගැහී ගහින් බිමට බහිනවා. මහින්ද අයියා ළඟට ගිහිල්ලා බලද්දී එයා හෙලවෙන්නෙවත් නැහැ. ඇස් දෙකත් පියවිලා. ඒත් බාහිර තුවාල මොකුත් නෑ.

පස්සෙ අහල පහල අයටත් කතා කරලා මහින්ද අයියා මිදුලට උස්සන් ගිහින් මූනට වතුර ඉහලා බැලුවත් සිහිය අවේ නැහැ. හැමෝම බය වුනා. ඒත් ටික වෙලාවක් යද්දි අන්තිමට සිහිය ආවා. එයාව වෙද මහත්තයෙක් ළඟට අරන් ගියාට පස්සේ උරහිසේ ඇටයක් කැඩිලා කියලා මාස ගානක් බෙහෙත් කලා. වෙන අතුරු ආබාධ නැහැ. එච්චර උසකින් වැටිලා බේරුනා කිව්වම මටත් පුදුමයි.

ඔන්න ඉතින් කොටි ප්‍රහාරය අමතක වෙන්නත් ගියා. ඊට පස්සේ ආරංචි උනා ත්‍රස්ත ප්‍රහාරයේ විස්තර. කොටි බස් එකකින් ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේයි පාරෙයි හිටපු අයට දිගට හරහට වෙඩි තියලා, ඊට පස්සේ ශ්‍රී මහා බෝධිය පැත්තට වෙඩි තියාගෙන  ගිහින් එහෙදීත් තවත් පිරිසක් මරලාලු. සීයකට වඩා මැරිලලු. තවත් බර ගානකට තුවාලලු. පොලීසියේ අය පොලීසිය දාලා ගිහින් වැවේ හැඟුනාලු. ආදි උනු උනු පුවත් වෙලාවෙන් වෙලාවට ආවා.

කොහොම හරි කොටි ආපහු පැනලා ගිහින් තිබ්බෙ නොච්චියාගමට එහා විල්පත්තුවට ඇතුළුවන දොරටුවෙන් තමයි. අපේ ලොකු අම්මගේ පුතා වීරකෝන් අයියත් ඒ කාලේ වැඩකරේ එතන වනජීවි කාර්යාලයේ. කොටින් එතනට ඇවිත් කිහිප දෙනෙකුට වෙඩි තියලා වීරකෝන් අය්යටත් තුවක්කුව දික් කරලා ආපහු වෙඩි නොතියා ගිහින් තිබුනා. ඊට පස්සෙ එයා කිව්ව දේ තමයි මැරෙන්න බය නෑ කියලා කවුරු කයිවාරු ගැහැව්වත් ඒවගේ වෙලාවට තමයි මරණ බය ඇත්තටම දැනෙන්නෙ කියලා.

අනුරාධපුරේට රෝඩ් බ්ලොක් දාන්න පටන් ගත්තේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ තමයි. එල්. ටී. ටී. ඊ. එක සිංහල ප්‍රදේශයක කළ ලොකුම ප්‍රහාරයත් මේකයි. ආරක්ෂක අංශ මේ වගේ ප්‍රහාරයකට කොහෙත්ම සූදානම් වෙලා හිටියෙ නැහැ.

අනුරාදපුරේ සිට මහවිලච්චියට යන පාර වැටිලා තිබුනේ ශ්‍රී මහා බෝධිය ළඟින්මයි. ඒත් මේ ප්‍රහාරයත් සමග ඒ පාර වහල දාලා අසුරුමුණිය පැත්තෙන් හරවලා යන්න උනා. අදටත් ඒක වෙනස් වෙලා නැහැ.

5 thoughts on “අනුරාධපුරයට ප්‍රථම එල්. ටී. ටී. ඊ. ප්‍රහාරය සිදුකළදා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s