මහවිලච්චියට මහ රෑ මුලින්ම කොටි ගහපුදා….


කොටි අඩවියට මායිම් වූ ගම්වලට එල්. ටී. ටී. ඊ. එක ඒ දවස්වල ගහන්න පටන් අරන් තිබුනත්, කෙළින්ම එකම දෙමළ ගමකටවත් මායිම් නොවුණ නිසා (මහවිලච්චිය තුන් පැත්තකින්ම අදටත් වටවී තියෙන්නේ විල්පත්තු කැළයෙනි.) අපි හිතුවෙ අපිටනම් කොටි ගහන එකක් නැතැයි කියාය. හිත රවටාගන්නට එහෙම හිතාගෙන සිටියත්, රෑ උනාට පස්සෙ නම් ගහක අත්තක් කඩා වැටුනත්, කැළයේ මොණරු කෑගහනවා ඇහුණත් මේ නම් කොටිම තමයි සිතා නිදි වර්ජිතව ටික වේලාවක් හරි සිටින්නේ සැක හැර ගන්නටය.

එක් දිනක් පාන්දර 2-3 පමණ (1985 හෝ 86 විය යුතුය) මට ඇහැරුණේ වෙඩි සද්දත්, බෝම්බ සද්දත් එක දිගටම ඇහෙන්න වුණ නිසාය. මම කෝකටත් කියා සැක හැරගන්නට මිදුලට ගිහින් බැලුවෙමි. බෝම්බ හඬවල් මින් පෙර අසා නොසිතුනත් මේවානම් අනිවාර්යයෙන්ම බෝම්බ ශබ්ද යැයි මම වටහා ගනිමි.

මම වහාම ආපසු ගෙදරට ගොස් අම්මාට කතා කළෙමි. ඊට පසු අම්මා අනිත් අයත් ඇහැරවාගත් නමුත් රත්නේ අය්යා ඇහැරවන එක නම් අමාරු කාරියකි. මම ඔහුට ඇහැරවා කොටි ගහන බවත් ඉක්මනට දුවන්නට වෙන බවත් කිව්වත් ඔහු කට වහගෙන නිදා ගන්නැයි කියා අනෙක් පසට හැරී නිදා ගන්නට විය. කෙසේ හෝ පොඩි අය්යා ඔහුවද නැගිටුවාගෙන අපි ඔක්කොම වත්ත පිටුපස පිහිටා ඇති විශාල සියඹලා ගස යටට රැගෙන ගියේය.

ඉස්සරහා ගෙදර වසන්තලාගේ ගෙදර සියළුම දෙනාද අපේ සියඹලා ගහ යටටම පැමිණියේ හරියට අපේ සියඹලා ගහ බංකරයක් මෙන් සිතා ගෙනදෝයි නොදනිමි. සමහරවිට මරබිය නිසා කාගේ හෝ සංගමය වඩා හොඳ යැයි ඔවුන්ට සිතෙන්නට ඇති.

සියඹලා ගහ යට ටිකක් වෙලා හිටියත් වෙඩි ශබ්දත්, බෝම්බ ශබ්දත් වැඩි වුණා මිස අඩු වුණේ නැත. අපි සියල්ලෝම මීයට පිම්බාක් මෙන් සිටියත් ලොකු අක්කාගේ පුංචි ජීවනී දුව (අවුරුදු 3-4ක් වයසැති) එක එක දේවල් කියවමින් සිටියාය. ඇයව නිහඬ කිරීම පහසු කටයුත්තක් නොවේ.

ටික වෙලාවකින් හෙලිකොප්ටර දෙකක්ද ගුවනේ කරැකැවෙමින් ඉහළ සිට පහළට වෙඩි තබන්නට විණි. මෙය ඉතා අනතුරුදායකය. ගස් යට හිටි අපටද සතුරන් යයි සිතා වෙඩි තබන්නට පුළුවන. ඒ නිසා අපි නැවතත් ගෙදර ගියෙමු. ගෙවල් වලට ගුවන් හමුදාව වෙඩි තබන්නේ නැත. එහෙත් කොටින් ගෙවල් වලට පැන අපව කපා කොටා දැමුවහොත්? එහෙත් වෙන කරන්නට දෙයක් නැත. ගෙයි සිටීම එකම විකල්පයයි.

දැන් නිදිමත එන්නේ නැත. මම ලාම්පුවක් පත්තු කරගෙන ඉස්කොලේ බිත්ති පුවත් පතට පෙරදා ලියමින් සිටි විද්‍යා ලිපියට අඳිමින් සිටි චිත්‍රය නිම කරන්නට වීමි. (මට මතක හැටියටනම් ලිපියේ නම “සෑම හඳක්ම රවුම් නැතිලු යන්නය.) වෙඩි හඬ, බෝම්බ හඬ ඇහෙද්දිත් චිත්‍රය ඇඳීමට පුළුවන් වූයේ කෙසේදැයි දැන් මට සිතාගත නොහැක.

එළිය වැටුන පසු බෝම්බ හඬත් වෙඩි හඬත් අඩුවී ගියේය. ඒත් සමගම ගමේ රොයිටර්, ලියන මහත්තයා විසින් උණුසුම් පුවත බෙදා හැරියේය. පොලීසියට කොටි ගසා ඇති බවත්, කොටින් පිරිසක් මිය ගොස් ඇති බවත් පුවතින් කියවිණි. අපිද කොල්ලන් සමග පයින්ම පොලීසියට ගියෙමු. එහි ගමේම සෙනග එකතුවී සිටියහ. තැන තැන කොටි තරුණයන් කෑලි වලට කැඩී මිය ගොස්ය. පොලීසියට සීරීම් තුවාලයක්වත් නොමැත. මළ සිරුරු පහක් හෝ හයක් තිබුණි. පොලීසිය විසින් තුවාල ලත් එක් කොටියෙක් පණපිටින් අල්ලාගෙන ප්‍රශ්න කරමින් සිටියහ. ඔහුව රැගෙන මළ සිරුරු හඳුනා ගන්නට ගිය විටදී ඔහු එක මළ සිරුරක් බදාගෙන හඬන්නට වූ බව කියැවිණි. ඒ මළ සිරුර අජිත් නම් නුවර සිංහල තරුණයකුගේ බවත් සංවිධානයට ලොකු සේවාවක් කළ අයකු බවත් කියවිණි.

ඉතිරි වූ කොටි පිරිස පළාගොස් තිබුණේ තන්තිරිමලේ හරහාය. එහිදී ඔවුන් යුද හමුදාවේ පහරදීමට හසුවී තවත් කොටින් 8ක් මිය ගියහ. ප්‍රහාරය සම්පූර්ණයෙන් අසාර්ථක විය.

එයට හේතුව දවල් වන විට ආරංචි විය. පැමිණ සිටියේ එල්. ටී. ටී. ඊ. කොටින් නොවේ. ඔවුන් එකළ පැවති වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමකි. ඔවුන් මහ රෑ කැළයෙන් පොලීසිය දෙසට පැමිණෙන විට කසිප්පු පෙරන ගැමියෙක් හමුවී තිබිණි. ඔහුවත් අල්ලාගෙන ත්‍රස්තවාදීන් හොඳට කසිප්පුද බී තිබිණි. පසුව තමන්ව පොලීසියේ පිටුපස වැට දෙසට ගෙන යන්න යැයි ත්‍රස්තවාදීන් ගැමියාට කියා තිබේ. ඔහු ඒ වෙනුවට ඔවුන්ව පොලීසියේ ඉදිරිපසට ගෙන ගොස් තිබිණි. ඉතින් සටන සිදුවූයේ මුහුණට මුහුණ ලාය. ත්‍රස්තවාදීන්ගේ බෝම්බයක් ඔවුන්ටම පත්තු වූ බවද කියැවිණි. ගැමියා සටන අස්සේම පැන ගත්තේය. සූදානම්ව සිටි පොලීසිය විසින් හොඳින් ඉලක්ක අල්ලමින් කොටින්ට දිගට හරහට වෙඩි තබන්නටත්, වැලලූ බෝම්බ පුපුරවන්නටත් වූ බවත් ත්‍රස්තවාදීන් අන්ත පරාජයක් ලැබුවේ මෙම ගැමියාගේ නුවණ නිසා බවත් පසුව හෙළිවිණ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s