උද්ඝෝෂණ, මිනීමැරුම් වලින්ම අවසන් විය යුතුද?


පින්තූරය www.onlanka.com වෙබ් අඩවියෙනි

පින්තූරය http://www.onlanka.com වෙබ් අඩවියෙනි

මමද පසුගියදා (අගෝස්තු 1) වැලිවේරිය උද්ඝෝෂණය අහම්බෙන් දැකගත්තේ දෙල්ගොඩ සිට ඉඹුල්ගොඩ ඉන්දියාවෙන් පැමිණි යහළුවෙක් සමග ගමන් කරමින් සිටි නිසාවෙනි. යහළුවාට අවශ්‍යව තිබුණේ හොඳ රඹුටන් ටිකක් මිලට ගැනීමටය. අප උදේ වරුවේ එතනින් යනවිටත් සෑහෙන සෙනගක් රැස්වී සිටියත් ඔවුන් වාහන ගමනාගමයට බාධා කළේ නැත. පොලීසියෙන්ද පිරිසක් එතන සිටියහ. උද්ඝෝෂකයන් පිරිසිදු වතුර ඉල්ලමින් සටන් පාඨ කියමින් සිටියහ.

අපි ඉඹුල්ගොඩින් රඹුටන් රැගෙන ආපසු මල්වාන දෙසට යාමට පැමිණීමේදී තත්වය තරමක් අයහපත් තත්වයට පැමිණ තිබුණි. උද්ඝෝෂකයන් අපිට කාරුණිකව කියා සිටියේ ඉදිරියට වාහනය ගෙන ගියොත් ඊට එහායින් සිටින උද්ඝෝෂකයන් විසින් වාහනය ඉන් ඉදිරියට ගෙනයාමට නොදෙන බවත්, ආපසු වාහනය හරවාගෙන පැමිණියහොත් මුලින් කී පිරිස වාහනය රැගෙන යාමට ඉඩ නොදෙන බවත්ය. ඒ නිසා කළ හැකිව තිබූ එකම දෙය වූයේ අතුරු පාරක් ඔස්සේ වාහනය දෙල්ගොඩටත් එතනින් මල්වානටත් දමා බේරී යාමය.

මගේ යහළුවාගේ අවශ්‍යතාවය ඉටුකරදී නැවත නිවසට පැමිණීමෙන් පසුවය උද්ඝෝෂකයන්ට හමුදාව විසින් වෙඩි තැබූ බව හා එක් තරුණයකු මියගියා යන අවාසනාවන්ත පුවත දෙරණ news alerts මගින් දැනගත්තේ. රාත්‍රී ටෙලිවිෂන් පුවත් දර්ශන මගින් තත්වය කොතරම් බියකරු මට්ටමකට වර්ධනය වී ඇත්දැයි දැනගැනීමට හැකිවිය.

උද්ඝෝෂකයන් පාලනය කළ නොහැකි දුරකට හැරීම ඕනෑම උද්ඝෝෂණයකදී බලාපොරොත්තු විය හැකි තත්වයකි. ඉංග්‍රීසියෙන් mob යැයි හඳුන්වන්නේ එවැනි පිරිසකටය. එවැනි පිරිසක් පාලනය කිරීම කිසිසේත්ම පහසු නැත. පිරිස වැඩිවූ කල තමන් උද්ඝෝෂණය කරන්නේ කුමක් සඳහාද යන්න පවා බොහෝවිට අමතකවී ප්‍රශ්නය විසඳාගන්නවා වෙනුවට ඒ අවස්ථාවේ මතුවන ඇඩ්‍රිනලීන් වල ශක්තිය මත පමණක් තත්වය රඳා පවතී. මෙය ඔනෑම රටක, ඔනෑම සමාජයක පොදු තත්වයකි.

කෙසේ හෝ ඉතිරිවන ප්‍රශ්නයනම් උද්ඝෝෂකයන් පාර අවුරන තත්වයකට යායුතුව තිබුණාද යන්නත්, ඔවුන් එසේ කළත් හමුදාවට ජීව උණ්ඩ පාවිච්චි කිරීමට තරම් තත්වයක් ඇතිවූවාද යන්නත්ය. කෙසේ හෝ දැනටමත් තරුණ ජීවිත තුනක්ම අහිමිවී හමාරය. තවත් සෑහෙන පිරිසක් රෝහල්වලය.

උද්ඝෝෂකයන්ගේ පැත්තෙන් බැලූ කළ සාමකාමී උද්ඝෝෂණයක් පමණක් කළ පමණින් ඔවුනට නිසි අවධානයක් ලැබෙන්නේ නැත. ඒ නිසා අවශ්‍ය අවධානය ලබා ගැනීම සඳහා යම් පමණකට හෝ සිවිල් නීති කඩ කළ යුතුය. අනෙක් අතට ගත් කළ මහපාරක් අවුරා තිබුණොත් රජයක් වශයෙන් එය හැකි ඉක්මනින් මහජනතාවට විවෘත කර දිය යුතුය. සත්‍යය එයයි.

සම්මුතියක (compromise) අවශ්‍යතාවය එන්නේ මෙවන් අවස්ථාවකය. ප්‍රශ්නය විසඳන ක්‍රියාවලියකට අවතීර්ණ වන තෙක් දෙපාර්ශවයම අඩියක් පසු පසට ගත යුතුය. අපහසුම දෙයත් මෙයයි. එළඹෙන සම්මුති බොහෝසෙයින් බිඳ දමන්නේ වඩා බලවත් පාර්ශවය විසිනි. බලය රහිත වූවන් නිරතුරුව රැවටීමට ලක්වේ. එවිට ඔවුන් කුමන මිලක් ගෙවා හෝ තම ඉල්ලීම දිනා ගැනීමට පෙළඹීමද සාධාරණය.

මේ අවසාන උද්ඝෝෂණය නොවේ. තවත් බොහෝ සෙයින් උද්ඝෝෂණ, විරෝධතා රට පුරා නැගෙමින් පවතී. ඒවා සාධාරණ හෝ අසාධාරණ ඉල්ලීම් මුල් කොටගෙන විය හැකිය. ඒ කෙසේ නමුත් ඒවා විසඳිය යුත්තේ ආයුධ බලයෙන් මැඩපවත්වමින් පමණක් නොවේ. සාධාරණ විසඳුම්ද සහිතය. එසේ නැතහොත් අපට අද ඊජිප්තුව පත්වී ඇති තත්වයට මෑතකදී නොව, කල් ගතවීමෙන් හෝ පත්වීමට ඉඩ ඇත. එවිට අප හැම ප්‍රමාද වූවා වැඩි විය හැක.

2 thoughts on “උද්ඝෝෂණ, මිනීමැරුම් වලින්ම අවසන් විය යුතුද?

  1. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ…..
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ…..
    ඒ මිනිසුන්ගේ මල ගම වෙනුවෙන්……
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ……..

    Like

  2. දැන් ජනතාවත් පාලකයනුත් දෙගොල්ලම භාවිතා කරන්නේ උපරිම බලය.. කවුරුන් දිනයිද කීයලා අනාගතය තීරණය කරාවී.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.