ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා මියගොස් වසර විසි එකකට පසු……..


ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

මා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැක ඇත්තේ එක් වරක් පමණි. ඒ දැඩි යුද ගැටුම් පවතින අවධියක මහවිලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගනයට ඔහු පැමිණි විටයි. ඉතාමත් ප්‍රසන්න එමෙන්ම තේජවන්ත පෙනුමක් ඔහු සතුවිය. නිතර සිනා මුසු මුහුණින් සිටි එතුමා බලා ගැනීම සඳහා ජනතාව පොරකෑ අයුරු මට මතකය. එතරම් ජනතා ආදරයට ලක්වූ හමුදා නිලධාරියකු අද වනතුරුත් පහළවී නැත. එතුමා මියගිය විටදී මුළු රටම ශෝක වූ අයුරු මට තවත් මතකය. මුළු රටම සුදු කොඩි වලින් වැසී ගියේය. රටවැසියන්ට එම මරණය දැනුණේ තම පවුලේ කෙනෙක් මියගියාටත් වැඩි ලෙසය. ඔහු මියගිය ප්‍රවෘතිය ඇසුනවිට සැමගේ පපුව සිරවුණාක් මෙන් දැනුණි. මෙවන් මහත්මා ගුණයෙන් යුතු හමුදා නිලධාරීන් නැති අඩුව එදාටත් වඩා අද දැනෙයි.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව මියගියේ (මරා දැමුවේ) ඔහුට වසර 52ක් වන විටදීය. යුද හමුදාපති වීමේ සියලු සුදුසුකම් ඔහු යුදබිමේදී සපුරා තිබුණත් ඔහු එම පදවියට පත්වීම ගැන ඉතා සුළු පිරිසක් නොරිස්සුම් සහගතව සිටි බව ප්‍රසිද්ධ කරුණකි. යුද්ධය වවාගෙන කෑමෙන් තොරව අවංකවම එහි නිමාවක් දැකගැනීමේ ඔහු තුළ තිබූ පරම අභිලාෂය එයට හේතුවයි. එමෙන්ම අනෙකුත් හමුදා නිලධාරීන්ට නොහැකිවූ අසීරු මෙහෙයුම් කිහිපයක්ම සාර්ථකව කිරීම තවත් හේතුවක් ලෙස මම දකිමි. ඒ සියල්ලටම වඩා ඔහු මුළු රටේම ආදරයට ගෞරවයට ලක්වීම මේ සියලු හේතුවලට වඩා ඔහුට එරෙහිව බලපෑ කරුණකි.

LTTE පාලනයෙන් යාපන අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම බේරාගැනීම සඳහා Operation Final Countdown මෙහෙයුම සැලසුම් කරමින් සිටියදී හදිසියේම කොබ්බෑකඩුව හා තවත් නිලධාරීන් ගමන් කළ හමුදා රථය බිම් බෝම්බයකට හසුව සෙසු නිලධාරීන් සමගම මිය යාමට ඔහුට සිදුවිය. මෙයට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කෙළින්ම වගකිවයුතු බව ඝාතනය ගැන පත්කළ ජනාධිපති කොමිසම තීරණය කළත් ඒ වනවිට ප්‍රේමදාස මහතාද LTTE ත්‍රස්තවාදියකු අතින් මියගොස් තිබිණි.

කොබ්බෑකඩුව මහතාට මහින්ද රාජපක්ෂ වැනි යුද්ධය අවංකවම නිම කළ යුතු යැයි සිතූ නායකයෙක් යටතේ යුද්ධ කිරීමට තිබුණානම් යුද්ධය මීට බොහෝ කලකට පෙර නිම කිරීමට හැකියාවක් තිබිණි. එහෙත් ඒ වනවිට තිබුණේ ඉන්දියාවේ RAW සංවිධානයට අවශ්‍ය ලෙස සියලු තීරණ ගැනුණ කාලයකි. හිටපු නායකයන්ටද දූරදර්ශී ප්‍රතිපත්ති තිබුණේ නැත. සැමවිටම තිබුණේ පැලැස්තර විසඳුම් පමණි. යුද්ධය කළේද ගැමුණු කුමාරයා උණුබත් කෑ අයුරින්ය. හමුදාව තුළ දූෂණය උපරිමයෙන් ක්‍රියාත්මක විණි. යුද අවි සහ අනෙකුත් සැපයුම් සඳහා කෙරුණු දූෂිත ගනුදෙනු හරහා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කෝටිපතියන් බවට පත්විය. කොබ්බෑකඩුවට යුද්ධ කළ යුතුව තිබුණේ මේ සියල්ල මධ්‍යයේය.

එක් අතකට කොබ්බෑකඩුව යුද භූමියේම මියයාම වඩාත් හොඳයැයි සිතෙන අවස්ථාද නැත්තේ නොවේ. කීර්තිමත් ලෙස යුද භූමියේ දක්ෂතා දැක්වූ මේජර් ජනරාල් ජානක පෙරේරා, ජනරාල් සරත් ෆොන්සේකා වැන්නවුන්ට දේශපාලනයට එක්වීම නිසා අත්වූ ඉරණම සැලකූ කල ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුද වීරයකු ලෙස පමණක් ඉතිහාස ගතවීම ඔහුගේ වාසනාවකි. ඔහුට මේ රටේ ජනතාව එදත් අදත් හෙටත් එකසේ ආදරය කරති.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s