ඇදහැලෙන දෙවොල නොහොත් පෙරළියක සිහිනය – නිශාන්ත කමලදාස


ඇදහැලෙන දෙවොල නොහොත් පෙරළියක සිහිනය

ඇදහැලෙන දෙවොල නොහොත් පෙරළියක සිහිනය

මම නිශාන්ත කමලදාසගේ “ඇදහැලෙන දෙවොල නොහොත් පෙරළියක සිහිනය” දෙවන වරටත් කියවා නිම කළෙමි. පොත පිළිබඳව මගේ හැඟුම් ඔබ සමගත් බෙදා හදා ගැනීමට තරම් වටිනා පොතක් නිසා මෙම සටහන තබන්නෙමි.

“ඇදහැලෙන දෙවොල නොහොත් පෙරළියක සිහිනය” කළමනාකරණය විෂයයක් ලෙස හදාරන අයට පමණක් නොව තමා ගැනත්, රට ගැනත් හැඟීමක් ඇති ඕනෑම අයෙකුට කියවා වටිනා පාඩම් රැසක් ඉගෙන ගැනීමට හැකි ප්‍රබෝධකාරක පුස්තකයකි. අනෙක් බොහෝ කතුවරුන් අත ගැසීමට පැකිළෙන මානයන්ට පියතබමින් නිර්භයව වරද දුටු තැන ඒවා උපහාසාත්මක ලෙස හුවා දක්වමින් එම වරද නිවැරදි කරගන්නා මාර්ගද පෙන්වා දෙමින් කමලදාස මෙම පොත තුළින් මහඟු සේවයක් කරයි. අවාසනාව මෙවැනි පොත් කියවීමට පෙළඹෙන්නේ සුළු පිරිසක් වීමත්, ඒවාගෙන් තම ජීවිතයට ගත යුතු දේ ගන්නේත් තවත් ඉතා සුළු පිරිසක් වීමයි. එහෙත් කමලදාස මහතා කියන දේ කරන්නෙකු බව මා හොඳින්ම දන්නේ එතුමා පාලනය කරන දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (Distance Learning Centre) ඉතා ඵලදායී ලෙසත්, ප්‍රශස්ත ලෙසත් පවත්වාගෙන යන නිසාය. ඔහු මේ පොත හරහා අපට දෙන උපදෙස් ඔහුම මුලින්ම ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු බව ඔහුගේ ආයතනයට ගොඩවැදී මිනිත්තු කිහිපයකින් ඔබට දැනෙනවාට සැක නැත.

පුද්ගලිකවත්, ආයතනිකවත්, ජාතියක් ලෙසත් අපිව ඉදිරියට යාම වළක්වන අනවශ්‍ය සංස්කෘතික බන්ධන, බල දුරස්ථභාවය, කණ්ඩායම්වාදය, සෘණාත්මක ස්ත්‍රී ලක්ෂණ, අවදානම් ගැනීමට ඇති පැකිලීම වැනි කරුණු කාරණා ගැන කමලදාස දේශීය සහ විදේශීය උදාහරණ සහිතව පැහැදිලි කරයි. පුත්තලමේ ඉස්සන් ගොවිපොළක් සම්බන්ධව ඔහු විසින් පරිවර්තනය කර ඇති පරිච්ඡේදය ඉතාමත්ම අගනේය. එමෙන්ම සෑම පිටුවක්ම පාහේ ඔහු යොදා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රුවන් වැකි (quotations) ද පොතේ අගය තවත් වැඩි කරයි.

පොතේ උපග්‍රන්ථ ලෙස පළකර ඇති කමලදාසගේ පුවත්පත් වල පළවූ හා පළ නොවූ ලිපි කිහිපය අතිශයින්ම වදගත්ය. එයිනුත් මගේ සිත වැඩියෙන්ම ඇදී ගිය “කොන්ත නෝනගෙ හැට්ටය” නම් පුවත් පතක පළ නොවූ ලිපිය කතෘගේ අවසරය ඇතිව පහළින් සම්පූර්ණයෙන්ම පහළින් පළ කරමි. එය කියවාගෙන යන විට එය පුවත් පත් විසින් පළ නොකළේ ඇයි දැයි ඔබට වැටහේවි.

————————————————————————————————————————–

කොන්ත නෝනගෙ හැට්ටය

කොන්ත නොනගෙ හැට්ටයත් කොණ්ඩයත් කොන්ත නෝනාට ඕනෑ විදිහට යයි දීපිකා ප්‍රියදර්ශනී ගයනු අසන්නට මට ද අවස්ථාවක් ලැබිණි.

ඇත්තටම කොන්ත නෝනාට ඒ අයිතිය ලබා දිය යුතු දැයි ඔබ සිතන්නේද? කොන්ත නෝනා හැට්ටය ඇඳිය යුත්තේ ඇගේ ස්වමිපුරුෂයාට ඕනෑ පරිදි ය. ඇය කොණ්ඩය සකස් කළ යුත්තේ ඇගේ දරුවන්ට ඕනෑ හැටියට ය. ඇය අඩිය තැබිය යුත්තේ නැන්දම්මාට ඕනෑ හැටියට ය. ඇය නෙරිය තැබිය යුත්තේ ගමේ ගැහැණුන් අනුමත කරන ප්‍රමාණයට ය. ඇය හැසිරිය යුත්තේ සමාජයේ අයිතිකරුවන් කියන සීමාව තුළ ය. එසේ නැතිව කොන්ත නෝනාට ඕනෑ ඕනෑ හැටියට ඇය යම් යම් වැඩ කරන්නට ගියොත් අප මහත් අමාරුවෙන් රැක ගැනීමට උත්සාහ දරන සංස්කෘතියට කුමක් වේද? සීගිරි අප්සරාවන් අනුව යමින් ඇය හැට්ටය වෙනුවට සිය ළය වසා ගන්නට මල් පමණක් පළඳන්නට සිතුවොත් මේ රටට කුමකින් කුමක් වේද?

මේ නම් අපේ සංස්කෘතියට එරෙහිව කැරලි ගසන්නට කොන්ත නෝනලා පොළඹවන ගීතයකි. අපේ හතුරන් ගීතය තුළටද වැටී යකා නටන හැටි මින් නොපෙනේද? උන් ඇත්තේ පල්ලි හා කෝවිල් තුළ යයි අපි කලක සිතුවෙමු. ඊට පසු ඒවාට එරෙහිව බලය යෙදූ කල උන් පන්සල් ඇතුළටම රිංගා ගත්තේය. පන්සල් වලට එරෙහිව අප අරගලය කරමින් සිටින අතතුර උන් ගායිකාවන්ගේ කටවල් තුළටද රිංගා ගෙන තිබේ. ප්‍රශ්නය නම් මේ හතුරන් මේ රිංගන ආකාරයට අවසානයේ නවතිනු ඇත්තේ කොතනකද කියා ය.

අප කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කළ යුත්තේ කෙසේද නොකළ යුත්තේ කෙසේද යන ප්‍රශ්නවලට උත්තර අප ළඟ නැත. කොන්ත නෝනලා ළඟද නැත. ඒවා ඇත්තේ මේ රටේ උරුමක්කාරයන් හා පොල්මක්කාරයන් ළඟය. ඒ නිසා මොනවා කරතත් ඒ උත්තමයන් ගෙන් අසා බලා අනුමැතිය ලබාගෙන කරන එක ඇඟට ගුණය. කොන්ත නෝනලා වුවද ඒ උත්තමයින් කියන ආකාරයට හැට්ට ඇඳීමට හිතට ගන්නවානම් හොඳය.

දරුවන් කී දෙනෙක් වැදිය යුතුද යන්න බොහෝ කොන්ත නෝනලා දන්නේ නැත. ඒ නිසා එක දරුවෙකු හෝ දෙදෙනෙකු වදා ඊට තිතක් තබනු පෙනෙන්නට තිබේ. මේ ගැන උපදෙස් ගත හැකි සංඝයා වහන්සෙලා කීප නමක්ම අප අතර සිටිති. ශාසනයට එකෙකුත්, හමුදාවට එකෙකුත්, තමන්ට එකෙකුත්, වැඩිවෙන අන්‍ය වාර්ගිකයන්ට හරි හරියට හිටින්නට තවත් කීප දෙනෙකුත් වශයෙන් දරුවන් වැදිය යුතුයයි උන් වහන්සේලා දෙන අවවාද අනුශාසනා අනුව එවිට කටයුතු කල හැකිය.

කුමන දෙවියනට වැඳිය යුතුදැයි අපේ කොන්ත නෝනලාට නිනව්වක් නැත. ඒ නිසා දෙමළ දෙවියන්ටද මේ නෝනලා වඳිති. ඒ නිසා වැඳිය යුත්තේ කවර දෙවිවරුන්ටදැයි රූපවාහිනී ධර්ම සාකච්ඡාවලදී දුරකථනය තුළින් වත් විමසා දැනගෙන සිටීම හොඳය.

වැදීමත් වැඳීමත් සම්බන්ධයෙන් පමණක් නොව තව බොහෝ දේ ගැන කොන්ත නෝනලා විසින් උපදෙස් ගත යුතුව තිබේ. මේ සඳහා උපදෙස් දීමට සුදුසුකම් ලබන අය බොහෝය.

ඒ අතර මනස ගැන පර්යේෂණ කරන තාරකා විද්‍යාඥයින්ද, සිත විග්‍රහ කරන භෞතික විද්‍යාඥයින්ද, සිංහල සංස්කෘතිය රැක ගැනීමේ ව්‍යාපරයන් දියත් කර ඇති ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය පුරවැසියන්ද සිටිති.

මේ පිරිස අතරට අලුතෙන්ම එක්ව ඇත්තේ පිරිත් නූල් බඳින මාක්ස්වාදීන්ය, යුද්ධය තුළින් ලොවටම මෛත්‍රියද සියලු සත්වයින් වෙත කරුණාවද පතළ කරවන, බෙදා හරින, බුද්ධ පුත්‍රයින් ය. උපදෙස් ලබාදීමට මෙතරම් විශාල පිරිසක් ඉදිරිපත්ව ඇති රටක කොන්ත නෝනලා තමන්ගේ හිතුමතේට හැට්ට අඳින්නට තරම් හිතුවක්කාර විය යුත්තේ ඇයිදැයි මටනම් නොපෙනේ.

මේ සියලු තහංචි කොන්ත නෝනලාට පමණක් අයිදැයි කාන්තා අයිතිවාසිකම් ගැන කච බච ගානා ගෑනුන් ප්‍රශ්න කරන්නට ඉඩ ඇත. ඒ නිසා ඒ උදවියට ප්‍රශ්න නගන්නට ඉඩක් නැතිවනු පිණිස මම මෙසේ කීමට කැමැත්තෙමි.

කොන්ත නෝනලා පමණක් නොව කොන්ත මහත්තයාලාද හැට්ට (සමාවන්න, කමිස) ඇඳිය යුත්තේ නිසි අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් පසුව ය.

තමන්ගේම කියා ඔළුවක් නැති හැම කෙනෙක්ම රූපවාහිනිය ඉදිරියේ එකත් පස්ව ඉඳගෙන සුළු සුළු කාරණා වලදී පවා තමන් කෙසේ කටයුතු කළ යුතු දැයි උපදෙස් ලැබිය යුතුය.

බෝධි පූජාවක් සිදු කිරීමේදී කුමන කකුල පෙරටු කොට පැදකුණු කිරීම අරඹිය යුතුද? කිරි හා වතුර මිශ්‍ර කළ යුත්තේ කුමන අනුපාතයකටද? බෝ ගසේ රෙදි වලින් කොඩි එල්ලීම බෞද්ධ පිළිවෙතට අනුකූලද නැද්ද? අප අපේ මුර දේවතාවන් වඳින විට එය කළ යුත්තේ අත්ල පොළොව මත මුළුමනින්ම තබා ගෙනද නැද්ද? මෙකී නොකී හැම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම නිශ්චිත පිළිතුරු ලබා ගෙන තිබීම වැදගත්ය.

අපගේ ඉපැරණිවූද ප්‍රෞඪ වූද සංස්කෘතිය රැකගත හැක්කේ එවැනි උවදෙස් අනුව වැඩකරන කොන්ත නෝනලා හා කොන්ත මහතයලා වැඩිවන තරමටය.

මිනිස්සු දැන් දැන් බණ අහනවාට වඩා සින්දු අහන බැවින් දීපිකා ප්‍රියදර්ශනීලා වඩාත් ප්‍රවේසම් වීම හොඳය. මිනිසුන්ට බණ අහන්නට පොළඹවන සින්දු කීමට අද අදම සිතට ගැනීමේ ජාතික යුතුකමට ගායිකාවන් සම්මාදම් වීම ඔවුන්ගේ සෞඛ්‍යට හිතකරය. විශේෂයෙන්ම කොන්ත නෝනා ගැන ගැයූ ගීයෙන් උපයා ගත් පවු සමා කර ගත හැක්කේ බණ අහන්නට පොළඹවන එවැනි ගී සිය දහස් ගණනින් ගැයීමෙන් බව දීපිකා ප්‍රියදර්ශනීවත් අවබෝධ කරගන්නේ නම් මැනවි.

——————————————————————————————————————-

මේ පොත සරසවි පොත් හලෙන් හෝ කතෘට 071-4480240 ඔස්සේ කතා කර හෝ ඔබට මිලදී ගත හැක.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.