සිත්තරු (Siththaru) – නවතම චිත්‍රකතා පත්තරය


Siththaru First Copy

Siththaru First Copy

කුඩා කළ සිටම චිත්‍රකතා වලට පෙම් බඳින්නකු ලෙස මම සිත්තරු චිත්‍රකතා පත්තරය වෙළඳපොළට පැමිණෙන තුරුම සිටියේ ඇඟිලි ගනිමින්. මීට මාස කීපයකට පෙර මේ ලෙසම උනන්දුවෙන් සිටියේ ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් චිත්‍රකතා පත්තරය පැමිණෙන විට. එහෙත් මම අනාවැකි පළකළ අයුරින්ම එය සති කිහිපයකින් නැවතුණා. සිත්තරු වලට එම ඉරණම අත් නොවේවායි අපි මුලින්ම පතමු.

සමස්තයක් ලෙස ගත්කල සිත්තරු අගය කළ ලක්ෂණ වලින් හෙබියි. දරාගත හැකි මිලකට වර්ණයෙන් පල කිරීම අගය කළ යුත්තක්. අනෙක් අතින් පුවත්පත් කලාවේ දැවැන්තයන් වන උපාලි නිවසින්ම එළි දකින නිසා ලාභ ලබනතුරු මාස කිහිපයක් ඇදගෙන යාමට ඔවුන්ට හැකි වේවි. චිත්‍රකතා ලෝකයේ පතළ චිත්‍රකතා ශිල්පීන් රාශියකගේ චිත්‍රකතා සිත්තරු තුළින් දැකගත හැකියි. මංගල කලාපයේ කවරයේ චිත්‍රය ගැනනම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. සියලුම කතා නියෝජනය වෙන අයුරින් එය සැලසුම් කළා නම් වඩා හොඳයි කියලා හිතෙනවා.

Promotional poster

Promotional poster

බන්ධුල හරිශ්චන්ද්‍රගේ “දඩයම” චිත්‍රකතාව කුතුහලය ගෙනදෙන ආරම්භයක් ගෙන දෙනවා. මෙතරම් වයසට ගියත් බන්ධුලගේ චිත්‍ර තවමත් උසස් මට්ටමක පැවතීම සතුටට කරුණක්. සුමතිපාල-ජෝතිපාල සුපුරුදු පරිදි ඔවුන්ටම අනන්‍ය වූ ශෛලියෙන් “ඉර හඳ පායන ලෝකේ” සහ “සුපුන්සරා” ඉදිරිපත් කරලා තියෙනවා. ඇන්ටන් බී. පෙරේරා සුපුරුදු බටහිර ශෛලියෙන් “කැලිබර් 7.62” සහ “වෘකයාගේ මිටියාවත” ඇඳලා තියෙනවා. හරින්ද්‍රගේ “පළායන මනාලී” ලස්සන ආරම්භයක් ගෙන දී තියෙනවා. ප්‍රගීත් අබේධීර “සමනලියක් දවසක්දා” එක්ක තරුණ තරුණියන්ටම ගැලපෙන කතාවක් ගෙන එනවා. අනුර ශ්‍රීනාත්ට කතා හතරක්ම ලබාදීම ගැන නම් මගේ පැහැදීමක් නැහැ. ආරම්භයේ නවමු අකාරයේ කතා ඇන්දත් දැන් ඔහුගේ කතා ඒකාකාරියි. සරත් මහින්ද සිරි කවදත් මගේ සිත්ගත් කලාකරුවෙක්. ඔහුගේ කතා නිර්මාණශීලියි. ටිකක් අමුතු විදිහේ ගෑනු මිනිස්සු ගැනයි ඔහු කතා කරන්නේ. “දාංගලේ”ත් ඒ වගේම කතාවක් වගෙයි. ඉන්ද්‍රජිත් රන්ජන්ගේ චිත්‍ර නම් සැහෙන්න පිරිහිලා. ඔහු ඉතාම ලස්සනට ගැමි ආදර කතා අඳින්න පුළුවන් කෙනෙක්. ඔහුගේ “Happy Birthday” කතාව රසිකයින් වැළඳ ගනියි කියල හිතනවා. ජනක රත්නායකගේ “රැල්ල” නම් කිසිම තේරුමක් නැතිව එක කොටසකින් අවසන් වෙන කතාවක්. දයා රාජපක්ෂ කවදත් වැඩකාරයා. ඔහුගේ “නොතිත් පවස” එක්ක රසවත් කතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිනෙත් බැද්දගේට නම් මම කිසිම දවසක කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුගේ කතාවට වඩා සිංහගේ “ටෝගා” ආවනම් හොඳයි කියලයි මගේ පෞද්ගලික අදහස. ආනන්ද දිසානායක “ජෝක්ස්” අඳින්නේ නැතුව පුරුදු විදිහට ආදර කතාවක් ඇන්දනම් හොඳයි. කාංචනාගේත් දිනිඳුගේත් ආදර කතාව වුණ “සඳකුමරි”ට අපි ඒ කාලේ කොච්චර ආදරය කළාද? කුමාර නම් පුරුදු විදිහටම නව යෞවනයන්ගේ ප්‍රේම කතාවක් විදිහට “පරිත්‍යාගය” ඇඳලා තියෙනවා.

Promotional poster

Promotional poster

සරත් මධු, කැමිලස්, අරවින්ද, ගාමිණි අබේකෝන්, ජානක ඉලුක්කුඹුර, බන්දුල කුමාර වගේ අයත් එකතු වෙනවනම් තමයි වඩාත්ම හොඳ. අනුර ශ්‍රීනාත්ට දීලා තියෙන වැඩිපුර පිටු අයට දෙන්න පුළුවන්. කිසිම ශිල්පියෙකුට ඒක පිටුවකට වඩා නොදී ඉන්න පුළුවන් නම් විවිධත්වය රැකෙනවා.

විවිධ පුවත්පත් ආයතනවල සේවය කරන ශිල්පීන් මේ විදිහට වෙනත් (උපාලි) පුවත්පත් ආයතනයක ප්‍රකාශනයකට චිත්‍රකතා අඳින්න අවසර දීපු එකම වටිනා වැඩක්. වාද භේද අමතක කරලා මෙවන් වටිනා පොදු අරමුණකට අත හිත දුන්න එක අගය කළ යුතුයි.

චිත්‍රකතා වලට අතහිත දෙන්න පත්තරේ ගන්න කියන එක වලංගු නැහැ. සිත්තරු දැනගත යුතුයි ආකර්ෂණීය නිර්මාණ හරහා ඉල්ලුමක් නිර්මාණය කර ගන්න. ඉස්සර චිත්‍රකතා බලපු අය විතරක් නෙවෙයි නව පරපුරේ යෞවන යෞවණියන්ගේත් ආකර්ෂණය දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ.

2 thoughts on “සිත්තරු (Siththaru) – නවතම චිත්‍රකතා පත්තරය

  1. Pingback: සිත්තරු – නවතම චිත්‍රකතා පත්තරය | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. සිත්තරු ගැන ඔබේ ලිපිය කියවූ නිසා මට කමෙන්ට් එකක් දාන්න සිතුණා. ඔබට යමක් වැටහී තිබෙන නිසා මගේ අදහස ඉදිරිපත් කරන්නම්. මේ පත්තරේ ජූඩ් ශ්‍රීමාල් සහ අනුර ශ්‍රීනාත් එක්ව ඒජේ ක්‍රියේෂන් නමින් කරන වැඩක්. මේක ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් එකේ ලොකු කොපි එකක් වෙන්නෙ ඒ නිසයි. ප්‍රධාන කාරණය එය නොවෙයි. බන්ධුල මාස්ටර්ගෙ පවා ඉලස්ට්‍රේෂන්ස් 1980 කාලයට පල්ලම් බැහැල. අනෙක් ශිල්පීන්ගෙත් එහෙමයි. පත්තරේ ගහන අය රසාස්වාදය ගැන කීවට එහෙම රසාස්වාදයක් පත්තරේ තුළ අන්තර්ගත නැහැ. පරණ සතුට මධුර කොපි එකක් තරම්වත් ස්ථාවර නැහැ. සිනෙත් බැද්දගේ විතරයි යමක් ස්තීරව අදින්නේ. සුමතිපාල ජෝතිපාල වගේ අයත් පහු බැහැල වගේ. පරිගණක වර්ණ යෙදීම සාර්ථක නැහැ. මම වැරදිම කියනව නෙමේ. මේකෙ ස්වභාවය එයයි. සමස්ත සමාජයේම පිරිහීම මේ පත්තරය තුළත් තිබෙනවා. ඔවුන්ට එය ජයගත නොහැක්කේ සමාජයේ පිරිහීමට සමගාමීව බොහෝ ශිල්පීන් ද පිරිහී ගොස් ඇති නිසයි. දැන් ලංකාවේ ශිල්පීන්ට නව ප්‍රවනතාවන් බිහිකළ හැක්කේ පරණ අතීතය ස්මරණය කිරීමෙන් නොව නව යටත් විජිතවාදය යටතේ යුරෝපය තුළ 19වන සියවසේ ඇති වූ චිත්‍රශිල්පය වෙනස් කළ ආකාරයත් 20වන සියවසේ දී ග්‍රැෆික් ලෙස එය පුළුල් වූ ආකාරයත් අධ්‍යයනය කිරීමෙනි. 2010 වන විට ලංකාව කෘර දිවයිනක් ලෙස උෟනනය වූ නිසාත් එය අතීත කාමය මත යැපෙන මන්දබුද්ධික මනස්ගාතවලින් අවුල්වී ගිය නිසාත් සැම විටම රසාස්වාදය සොයන විට හමුවන්නේ ජෝක් පමණි. ඇත්තම කාරණය නම් නැති වූයේ චිත්‍රකතා කලාව හෝ රසාස්වාදය නොවේ එවන් යමක් තිබිය යුතු මනුෂ්‍යයාවයි. දැන් එවන් යමක් නිර්මාණය කරන්නට යන්නේ එවැනි යමක් නැති අයම නොවේද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s