මහරජ ගැමුණු නැරඹුවෙමි.


maharaja gemunu

කොහොමටත් මම මහරජ ගැමුණු බලන්න ගියේ වැඩි බලාපොරොත්තු තබාගෙන නෙවෙයි. බිරිඳටත් දරුවටත් චිත්‍රපටයක් පෙන්වන්න වුවමනාව තිබුණු නිසාත්, ළඟම තිබුණු සිනමා හලේ තිබුණේ මහරජ ගැමුණු නිසාත් වෙන විකල්පයක් තිබුණේ නැහැ. මහරජ ගැමුණු චිත්‍රපටයේ කොටස් රූපවාහිනියෙන් දුටුවිටම මෙය දුර්වල නිර්මාණයක් බව හැඟී ගියා.

මම ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නිදාහය ඉතාමත් ආශාවෙන් බැලුවා. එය අතිශයින්ම විශිෂ්ට නිර්මාණයක්. ඈත යුගයක ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික පසුබිම මොනවට පිළිබිඹු වුණා අග්නිදාහයෙන්. ඒ වගේම තමයි නළු නිළියන්ගේ රඟපෑම් සහ සංගීතය. මහරජ ගැමුණු, අග්නිදාහය අහලකින්වත් යන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපට දෙකම කළේ එකම අධ්‍යක්ෂවරයාද කියල හිතෙන තරමට මහරජ ගැමුණු දුර්වලයි.

මෙම චිත්‍රපටය නිර්මාණය කළේ බොහෝ පර්යේෂණ කර බව අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි කොතරම් පුන පුනා කීවත් චිත්‍රපටයේ එවන් පර්යේෂණයක සේයාවක්වත් දකින්නට නැහැ. කතා පිටපත අතිශයින්ම දුරවලයි. මීට වැඩි නිර්මාණශීලී පිවිසුමක් ජයන්ත වගේ අධ්‍යක්ෂවරයෙක්ගෙන් රසිකයින් බලාපොරොත්තු වෙනවා.  නිකන්ම නිකන් මුල ඉඳලා අගට කතන්දර කියන්න නම් චිත්‍රපටයක්ම ඕනේ නැහැනේ. එක පොතකින් වුණත් කරන්න පුළුවන්.

ඒ වගේම තමයි නළු නිළියන් හැසිරවීම. කිසිම නළු නිලියෙක්ගේ අපූර්වත්වයක් නැහැ. අඩුම තරමින් ජැක්සන් ඇන්තනීවත් සුපුරුදු රංගනයට එළඹ නැහැ. මෙවන් චිත්‍රපටයකට ගැලපෙන නළු නිළියන්ගේ හිඟකම අධ්‍යක්ෂවරයාගේ වරදක්මත් නෙවෙයි. හැකියාවන් තිබුණ අය එක්කෝ වයසට ගිහින්. නැත්නම් මිය ගිහින්. ඉතිරිවෙලා ඉන්නේ ටෙලිනාට්‍යවලින් දිනපතා දකින කිසිම ප්‍රතිභාවක් නැති පියරු බබ්බු ටික විතරයි. ගැමුණු වගේ ප්‍රතාපවත් චරිතයකට පණ දෙන්න උද්ධික ප්‍රේමරත්නට වඩා පෞරුෂයක් තියෙන නළුවෙක් හොයාගන්න නැති එක ඛේදනීය තත්ත්වයක්. පළපුරුදු නළු නිළියන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, කුසුම් රේණු වැන්නන්ගෙනුත් චිත්‍රපටයට සාධාරණයක් ඉෂ්ට වෙලා නැති බවයි පෙනී යන්නේ. තත්ත්වය එහෙමනම් ආධුනික නළු නිළියන් ගැන කවර කතාද?

චිත්‍රපටයේ විරාමය පසුවීත් ටිකක් දුර යනතෙක් ආසනයෙන් නැගිට යන්නම සිතුනත් බිරිඳගේත්, දරුවාගේත් සතුටට බාධා නොකිරීමට බැරි නිසාම ඉතා අපහසුවෙන් සිනමා ශාලාවේ රැඳී සිටින්න වුණා. තනියම ආවානම් අනිවාර්යයෙන්ම නැගිට යනවා. ඒ තරම්ම චිත්‍රපටය සමස්තයක් ලෙස දුර්වලයි.

එක හොඳකට තියෙන්නේ සටන් ජවනිකා ටික ශ්‍රී ලාංකික සිනමාවේ මට්ටමෙන් ගත් කල තරමක් අගය කළ හැකියි. සටන් ජවනිකා කුස පබා, සිරි පැරකුම් වැනි චිත්‍රපට වලට වඩා ඉදිරියෙන් තිබුණා. එත් ටිකක් විතර ට්‍රෝයි චිත්‍රපටය අනුගමනය හෝ කොපි කළ බවක් සටන් ජවනිකා වල කැමරා කෝණ වලින් පෙනුණා. ඒක ලොකු වැරද්දකුත් නෙවෙයි. දුටුගැමුණු එළාර සටන මීට වඩා උද්වේගකරවත්, දීර්ඝවත් තිබිය යුතුව තිබුණා. එය කලින්ම නිම කිරීම ප්‍රේක්ෂකයන්ට කරන ලද අසාධාරණයක් වගේම එළාර රජුටත් කළ අපහාසයක්.

ජයන්ත චන්ද්‍රසිරි නම් මේ චිත්‍රපටය ගැන මාධ්‍ය සමග කතා කරන්නේ බොහොම උජාරුවෙන්. ඔහුගේත් සුනිල් ආරියරත්නගේත්, සෝමරත්න දිසානායකගෙත් අධ්‍යක්ෂණ හැකියාවන්වල වැඩි වෙනසක් මේ චිත්‍රපටය තුළින් මමනම් දකින්නේ නැහැ. ජයන්ත වැනි අපිට සිටින සුළු දක්ෂ අධ්‍යක්ෂවරුණුත් මේ විදියට බොළඳ නිර්මාණ කරනවානම් සිංහල සිනමාව ගැන වැඩි බලාපොරොත්තු තියා නොගත්තාට කමක් නැහැ.

4 thoughts on “මහරජ ගැමුණු නැරඹුවෙමි.

  1. Pingback: මහරජ ගැමුණු නැරඹුවෙමි. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s