කළමනාකරණයට මනුස්සකම – කාර්මික ඉංජිනේරු ලෝකයේ ජිනසේන ලකුණ – ආචාර්ය තිස්ස ජිනසේන


kalamanakaranayata-manussak

ආචාර්ය තිස්ස ජිනසේන මහතා විසින් සම්පාදනය කළ “කළමනාකරණයට මනුස්සකම” පොත එක දිගටම කියවා නිම කළෙමි. තිස්ස ජිනසේන මහතාගේ සීයා වන සී. ජිනසේන විසින් 1905 දී බයිසිකල් නඩත්තු කරන කුඩා වැඩපොළක් ලෙස ඇරඹු කුඩා ව්‍යාපාරය ඉංජිනේරු තාක්ෂණ ලෝකයට දේශීය දොරක් විවර කර දුන් ආකාරය පොතෙන් විස්තර කෙරේ. සී. ජිනසේන මහතාගේ පුතුණුවන් වන ටී. එස්. ජිනසේන මහතා විසින් වඩාත් පුළුල් කළ ජිනසේන සමූහ ව්‍යාපාරය ඔහුගේ පුතුන් හතර දෙනා වන තෙවැනි පරපුර විසින් තව දුරටත් ව්‍යාප්ත කළ ආකාරය අපූරුය. බොහෝ පවුලේ ව්‍යාපාර නාස්තිකාර තුන්වන පරපුරෙන් එහාට නොයතත් ජිනසේන සමූහය ඊට වෙනස්ය. දිනෙන් දින දියුණුවට පත්වේ. ඊට හේතුව ඊට අනුබද්ධිත ආයතන වල ඇති නිවැරදි කළමනාකරණ විධියි.

තිස්ස ජිනසේන මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමවා එංගලන්තයේ Loughborough විශ්වවිද්‍යාලයෙන් නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ මූලික උපාධියත්, 1972 වසරේ දී එංගලන්තයේම Reading විශ්වවිද්‍යාලයෙන් කෘෂිකාර්මික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාවට පැමිණි පසු තිස්ස ජිනසේන මහතා 1973 දී පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ජිනසේන සමූහ ව්‍යාපාරයට වම්බන්ධ විණි. ඔහු ඒ වනවිටත් ජනප්‍රියව පැවති ජිනසේන නිෂ්පාදනයක් වන සෙන්ට්‍රික් වතුර පොම්පය නව තාක්ෂණය අනුව වැඩි දියුණු කළේය. ඊට අමතරව ලංකාවේ ප්‍රථම කොළ මඩින යන්ත්‍රය වූ ඇග්‍රිමෙක් යන්ත්‍රයද, ගොයම් කපන යන්ත්‍රයක්ද, ලංකාවේ කෘෂිකර්මාන්තයට ගැලපෙන විදියේ රෝද දෙකේ අත් ට්‍රැක්ටර් කිහිපයක්ද නිර්මාණය කළේය.

කළමනාකරණයට මනුස්සකම පොතෙන් බොහෝ දුරට ආවරණය වන්නේ බෙල්ජියානු සමාගමක් (සොලිඩීල් – Solideal) සමග ඒකාබද්ධව ආරම්භ කළ ලෝඩ්ස්ටාර් (Loadstar) සොලිඩ් ටයර් සමාගම, එහි ක්‍රියාකාරිත්වය සහ කදිම කළමණාකරණයයි.

ආචාර්ය තිස්ස ජිනසේන මහතා ලෝඩ්ස්ටාර් ආයතනය ආරම්භ කළේ 1984 වසරේදීය. පළමු ටයර් බහාලුම නැව්ගත කොට විදේශ රටකට යැවීමට මාස තුනක් පමණ ගත වුවත් අද වන විට මසකට බහාලුම් 800ක් අපනයනය කිරීමට ආයතනය සමත් වී ඇත. ඊට අමතරව 2006, 2007 වසරවලදී නොකඩවා ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන කරුවා වශයෙන් ආයතනය සම්මාන ලැබීය.ලෝක ඝන ටයර් නිෂ්පාදනයෙන් 25%කට වැඩි කොටසක් නිපදවන ලෝඩ්ස්ටාර් ආයතනය ඝන ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලෝකයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත. රබර් ට්‍රැක් නිෂ්පාදනයෙන් ලෝඩ්ස්ටාර් ලෝකයේ දෙවනියායි. තිස්ස ජිනසේන මහතාට මේ හපන්කම කිරීමට සහය වූ අනෙක් සහායකයා වූයේ සොලිඩීල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ බෙල්ජියම් ජාතික පියරේ ප්‍රින්ජියස් මහතාය. රටවල් දෙකක සංස්කෘති දෙකක හැදී වැඩුනත් මේ දෙදෙනාගේ සුසංයෝගය ලෝඩ්ස්ටාර් ආයතනය අද තිබෙන තත්වයට ගෙන ඒමට ප්‍රබලම සාධකය විණි.

ජිනසේන මහතා තම සේවක මඬුල්ල ගැන තද ධනාත්මක ආකල්පයකින් සිටී. සේවකයන් දෙස නිතරම සැකෙන් බලනු වෙනුවට ඔවුන් දෙස සානුකම්පිත ලෙස බලයි. නිතරම ඔවුන් අගය කරයි. දිරිමත් කරයි. වෘත්තීය වශයෙන් ඉදිරියට යාමට උදව් කරයි. එයින් නොනැවතී පෞද්ගලික ජීවිතයේ පත්වන අසීරුතා වලදී පවා මැදිහත් වී උදව් කරයි. ඒ නිසා ලෝඩ්ස්ටාර්හි වෘත්තීය සමිති, වැඩ වර්ජන නොමැත. සියල්ල විසඳෙන්නේ සුහද සාකච්ඡා මාර්ගයෙනි.

වැඩබිමේ අසීරු වැඩවලදී තිස්ස ජිනසේන මහතාද අනෙකුත් සේවකයන් මෙන් හරි හරියට වැඩ කරයි. තමන්ට කළ නොහැකි දෙයක් ඔහු සේවකයන්ගෙන් බලාපොත්තු නොවෙයි. ටයි කෝට් දාගෙන සීතල කාමරයක රැඳෙනවා වෙනුවට සාමාන්‍ය ඇඳුමින් සැරසී මජං, ග්‍රීස්, තෙල් වලින් නැහැවී, සේවකයන් හා හරිහරියට වැඩකිරීම ඔහුට ආස්වාදයකි. මෙවැනි නායකයෙක් සිටින කළ එම ආයතනය දියුණුවෙන් දියුණුවට පත්වීම පුදුමයකට කාරණයක් නොවේ.

ලෝඩ්ස්ටාර් හි අද වනවිට 8000කට ආසන්න පිරිසක් සේවය කරති. ඔවුන්ව නවීන පුහුණු ක්‍රම, විදේශ පුහුණු සංචාර, නවීන LPS සහ SAP වැනි ක්‍රමවේද මෙන්ම යහපත් ආකල්ප සහ ගුණ වගාවෙන්ද සන්නද්ධ කොට ඇත.

මීට අමතරව ආයතනය මගින් වායව ටයර් (Air Tyre) සහ රීම් නිෂ්පාදනයද ආරම්හ කෙරිණි. එමගින්ද ලෝකයේ පෙරටම යාමට ආයතනයට හැකි විය.

2008, 2009 ලෝක ආර්ථික අවපාතය හමුවේද ලෝඩ්ස්ටාර් නොසැලුනි. කළමනාකරණයේ යහපත්කම සහ සේවක පිරිසගේ නොමඳ කැපවීම නිසා ඒ අසීරු කාල වලදීත් යහපත් නිෂ්පාදනයක් සහ අලෙවියක් පවත්වා ගැනීමට ලෝඩ්ස්ටාර් සමත්විණි.

ඒ වනවිට ලෝක ට්‍රැක් නිෂ්පාදනයේ ප්‍රමුඛතම ස්ථානයේ සිටි කැමොප්ලාස්ට් (Camoplast) ආයතනය හා එක්වී ලෝඩ්ස්ටාර්, සොලිඩීල්, කැමොප්ලාස්ට් ආයතන තුනම එක්වී කැමොප්ලාස්ට් සොලිඩීල් නමින් වඩාත් ශක්තිමත් ආයතනයක් බිහිවිණි.

මේ වනවිට තිස්ස ජිනසේන මහතා ආයතනයේ විධායක මට්ටමේ සේවයට සමුදී ඇතත් තවමත් ඔහුගේ මග පෙන්වීම ආයතනයට අවශ්‍ය වූ විට ලැබේ. ජිනසේන මහතා මේ වනවිට බොහෝවිට පුණ්‍ය ආයතන වලට උදව් කිරීමෙන් සහ අධ්‍යාත්මික සුවය වර්ධනය කර ගැනීමට කැප වී සිටී.

තිස්ස ජිනසේන මහතා රටේ ආර්ථිකයට සහ අනෙකුත් ආයතනවල දියුණුවට කළ කැපවීම නිසාම රුහුණු විශ්වවිද්‍යාලය විසින් ඔහුට ආචාර්ය උපාධියක්ද පිරිනමන ලදී.

මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කිරීමට නිබඳවම කැපවුණ ලෝඩ්ස්ටාර් සමූහයේ පුහුණු කරුවකු ලෙස සේවය කරන කේ. එච්. ජනත් නන්දසිරි මහතාව සිහිකරන්නේ ගෞරවයෙනි.

One thought on “කළමනාකරණයට මනුස්සකම – කාර්මික ඉංජිනේරු ලෝකයේ ජිනසේන ලකුණ – ආචාර්ය තිස්ස ජිනසේන

  1. Pingback: කළමනාකරණයට මනුස්සකම – කාර්මික ඉංජිනේරු ලෝකයේ ජිනසේන ලකුණ – ආචාර්ය තිස්ස ජිනසේන | සතුටු වැස්ස බ්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s