කූජනය නිමකළ කෝකිලයා – අමරදේව


අමරදේව

අමරදේව

මුලින්ම සඳහන් කළ යුතු දෙයක් වෙයි. එනම් මේ ලිපියට ශීර්ෂය ලෙස යොදාගත් “කූජනය නිමකළ කෝකිලයා” යන්න ණයට ගත් යෙදුමක් බවයි. මේ ශීර්ෂය මා දුටුවේ මොහොමඩ් රෆී 1980 දී මියගිය පසු එවකට ජනප්‍රිය “මනහර” සඟරාවේ ඔහු ගැන පළවූ ලිපියකිනි. එය හෙළයේ මහා ගාන්ධර්ව අමරදේවටද එලෙසින්ම අදාළ වන්නේ රෆී මෙන්ම අමරදේවද තම ජීවිතවල අවසානය දක්වාම කූජනය නොනැවත්වූ කෝකිලයන් නිසාය. රෆී ජීවත්වූයේ අවුරුදු 55ක් තරම් කෙටි කාලයකි. එහෙත් අමරදේව අවුරුදු 88ක්ම අපව රසවත් කිරීම ඔහුගේ වාසනාවට වඩා අපගේ වාසනාවයි.

මුලින්ම අමරදේව පිළිබඳ මතකයට එන්නේ මා පාසල් සිසුවකු වූ කාලයේ ඔහු ගුවන්විදුලියෙන් ගී ගැයූ අයුරුය. එයිනුත් (මට මතක හැටියට ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ) “ආරාධනා ස්වර දැහැන” විශේෂයෙන් මතකයට නැගේ. එකල අමරදේවගේ ගී රසවිඳීමට තරම් නොමේරු කොලු ගැටයකු වූ මම සමහරවිට අමරදේවගේ සමහර ගී පමණක් – තනුව සහ සංගීතයේ රසවත් බව නිසාම – ප්‍රිය කළෙමි. “රන් දහදිය බිංදු බිංදු” වැනි කර්ණ රසායන ගී උදේ “අරුණ කිරණ” ගී එකතුවෙන් අප අසා සිටියේ පාසල් යාමට සූදානම් වෙමින් සිටියදීය. එකල උදේ අපට ඇසුණේ උත්සාහය වඩවන, ජාත්‍යාලය වර්ධනය වන ගීත මිස අද මෙන් ප්‍රේම විලාප නොවේ.

1980 දශකයේ (ලොකු අයියාට පිං සිද්ධවෙන්නට) කාර් බැටරියෙන් නැරඹිය හැකි කළුසුදු රූපවාහිනියක් ගෙදරට පැමිණි පසු අමරදේව සමග තිබූ මගේ ඇයි හොඳයිය නරක අතට ගියේ ඔහු ගී ගයනවිට කළ අංග චලනයන් නොමේරු අප විසින් විහිළුවකට ගත් නිසාය. ඒ නිසාම ඔහු රූපවාහිනී තිරයට සම්ප්‍රාප්ත වන විට (මාරු කිරීමට වෙන නාලිකාවක් එකල නොවූ නිසා) රූපවාහිනිය වසා දැමීමට තරම් මම දරුණු වූවෙමි. ඒ මන්ද ඒ වන විට මම ප්‍රිය කළේ ක්ලැරන්ස්, ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා, මරියසෙල් වැනි තරු නිසාය. (ගී ගැයීමේදී අමරදේවගේ අංග චලනයන් භාව ප්‍රකාශනයේ කොටසක් බව දැනගත්තේ බොහෝ කලකට පසුය.)

අමරදේවගේ ගීතවල රසය දැනෙන්නට පටන් ගත්තේ මුල් වරට අවුරුදු 17දී ප්‍රථම ප්‍රේමයෙන් පරාජය වූ පසුවය. (තේරෙන සිංහලෙන් කීවොත් පළමු බූට් එක කෑවාට පසුවය.) නින්ද නොයන දීර්ඝ රාත්‍රිවල අමරදේවගේ හඬ, සංගීතය සමග ඔහුගේ ගීවල අරුත තේරුම් යන්නට පටන් ගති. සඳ තරු නිහඬයි, මල හිරු බසිනා, නිම් හිම් සෙව්වා, පෙර දිනයක මා පෙම්කළ යුවතිය, කොළොම්තොට, හන්තානේ කඳු මුදුන සිසාරා, මේ ගුරු පාරේ, මහ වැස්සක පෙර නිමිති වැනි ගීතවල අරුත නව අයුරකින් විඳින්නට හැකි විය. මටත් නොදැන මම අමරදේව ප්‍රේමියකු වූවෙමි. ඔහුගේ ගීත සොය සොයා ඒ දිනවල ගීත බෙදා හදා ගැනීමට තිබූ ප්‍රධානම ක්‍රමය වූ කැසට් පට යාළුවන් සමග හුවමාරු කර ගන්නට පටන් ගතිමි. මම ඉන් පෙර කිසිදු දිනක ගීතවල පදමාලා ගැන කිසිම අවධානයක් නොයෙදුවෙමි. මට අවශ්‍ය වූයේ ගීතවල තනුව, සංගීතය සහ මිහිරි හඬ පමණි. මේ නිසාම මගේ සංගීත ලෝකයේ ඒ වනවිට (මෙන්ම අදටත්) වීරයන් වුයේ කිශෝර් කුමාර්, මොහොමඩ් රෆී, නසියා හසන්, ආශා බෝශ්ලේ, මයිකල් ජැක්සන්, ග්ලෝරියා එස්ටෙෆාන්, ක්ලැරන්ස් විජේවර්ධන, මරියසෙල් ගුණතිලක වැන්නන්ය. නමුත් ප්‍රථම ප්‍රේමය පරාජය වීම අමරදේවයන්ගේ ගීත රසවිඳීම සඳහාම සිදුවූ වෙස්වලාගත් ආශීර්වාදයක් විණි.

නව යොවුන් විය පසු කළ පසු අමරදේවයන්ගේ අනෙකුත් අගනා නිර්මාණයන් වන කුමරියක පා සළඹ සැලුනා, ජගන් මෝහිනී, වැලි තල අතරේ, මාල පබළු වැල්, වැලි තල අතරේ, ශාන්ත මේ රෑ යාමේ, ඉර හඳ පායන ලෝකේ වැනි අරුත්බර ගීතවලට පෙම් බඳින්නට පටන් ගතිමි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “වලේ” සංවිධානය කළ ඉතාම දුලබ වර්ගයේ සංගීත ප්‍රසංගයක් වූ අමරදේව – රූකාන්ත සංදර්ශනයේදී අමරදේවයන් කිසිම ලෝබකමක් ඉරිසියාවක් නොමැතිව රූකාන්තගේ සංගීත හැකියාවන් ඉතා ඉහළින් වර්ණනා කිරීම මේ අගනා කළා කරුවාගේ තිබූ නිහතමානිත්වය මොනවට පෙන්වූ අවස්ථාවකි. මොවුන් දෙදෙනාම යුගයන්නි යෝජනය කළ දක්ෂ සංගීතවේදීන් වුවත් බොහෝ අය රූකාන්ත, ක්ලැරන්ස්, ජෝතිපාල වැන්නන්ට ඉතිහාසයේ හිමි තැන දෙන්නට තවමත් මැලිකමක් දක්වන්නේ හුදෙක් කුහක කම නිසාම මිස අන් කිසිවක් නිසා නොවේ.

අමරදේවයන් තබා ගිය හිස්තැන වැසීමට හැකි වෙනත් කලාකරුවෙකු දැනට හෝ ඉදිරියට බිහිවේ යයි සිතීම උගහටය. එවන් කලාකරුවන් බිහිවන්නේ ජාතියේ පිනටය. අවාසනාවකට මෙවන් අනභිභවනීය කලාකරුවන් පෞද්ගලික වශයෙන් බොහෝ දුඃඛිත ජීවිත ගත කර වියෝ වෙති. අමරදෙවටත් මෙය පොදුවූ බව මම අසා තිබේ. මියගිය පසු කලාභවනේ අවමඟුල් උත්සවය පැවැත්වීම, අලංකාර සොහොන්කොත් නිමැවීම හෝ පාරක්, කලාගාරයක් ඔවුන් නමින් නම් කිරීමට වඩා මෙවන් විශේෂිත කලාකරුවන් ජීවත්ව සිටියදී රැකගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතු වන්නේ මෙවැන්නන් “රිඟිං ටෝන්” සංස්කෘතියෙන් එහාට ගිය දුලබ පිරිසක් නිසාය. වෙනත් අයුරකින් කිවහොත් ඔවුන්ගේ ගීත “මාකට්” කරගැනීමට නොදන්නා හෝ අකමැති නිසාය.

මම අමරදෙවගේ ගීතවලින් වැඩිම වශයෙන් ප්‍රිය කරන්නේ “පාවෙනා නිල් වලාවේ” ගීතයයි. එයටද විශේෂ හේතුවක් තිබේ. ඒ 80 දශකයේ ගුවන් විදුලියේ සමහර සවස් කාලවල මේ ගීතයේ ඉතාම මිහිරි අනුවාදනයක් සැක්සෆෝනයකින් වයනු ප්‍රචාරය වූ නිසාය. මම ඒ අනුවාදනයට පුදුම ආශාවකින් සවන් දුනිමි. එහි මුල් ගීතය “පාවෙනා නිල්වලාවේ” බව දැනගත්තේ පසු කලෙක ඒ ගීතය මුල්ම වරට ඇසුණ දිනය. මම තවමත් මේ මිහිරි අනුවාදනය අන්තර්ජාලය පීරා සහ ගුවන් විදුලියේ මගේ මිතුරන් හරහා සොයා ගැනීමට උත්සහ කළත් එම උතසාහය තවමත් සාර්ථක නොවුණි. හොයා ගත හැකි වූයේ එම ගීතයේ ස්ටැන්ලි පීරිස්ගේ සැක්සෆෝන් අනුවාදනයක් පමණි. එයද ඉතා කදීම වුවත් මා සොයන්නේ මුල් අනුවාදනයයි. (මා අදටත් වැඩිම ආශාවක් ඇති සංගීත භාණ්ඩය සැක්සෆෝනයයි. නමුත් එහි මිල මට දරාගත නොහැකිය. මසකට පෙරත් කොළඹ YAMAHA MUSIC CENTER වෙත ගොස් මිල පරීක්ෂා කිරීමේදී සුදු පැහැති සැක්සෆෝනයක් රුපියල් ලක්ෂයකටත්, රන් පැහැ සැක්සෆෝනයක් රුපියල් එක් ලක්ෂ පනස්දහසකටත් විකිණීමට තිබිණි. අද වෙන තුරුත් සැක්සෆෝනයක් අතගා බැලීමටවත් මට වාසනාවක් ලැබී නැත. කවදා හෝ සැක්සෆෝනයක් මිලදීගෙන වාදනය කිරීමේ සිහිනය මම මියයාමට පෙර සැබෑකරගත හැකිවේනම් කදිමය.)

එක්තරා යුගයක (1990 ගණන්වල මුල් කාලයේ ආසිරි පෞද්ගලික රෝහලේ සේවය කරන කල) මම සිටියේ නුගේගොඩ ඉන්දික මල්ලීගේ බෝඩිමේය. මේ වන විට මම ආසිරි රෝහලේම සේවය කළ සහෝදර හෙදියක් (උද්‍යානි සෙනෙවිරත්න) සමග රෝහලේ සමහර උත්සවවලදී හින්දි ගීත ගායනා කිරීමට පටන් ගත් කාලයයි. ඒ නිසා මටත් තරමක් හෝ ගීත ගායනා කිරීමට හැකියැයි මම සිතා සිටියෙමි. (ඒවා අනෙත් අයට අසාගෙන සිටීමට හැකිද යනු වෙනම කතාවකි.) අමරදේවගේ ඉහත ගීතයට තිබුණ අසීමිත ආශාව නිසාම යහළුවකුගෙන් ඉල්ලාගත් විදුලි ඕගනයක් වයමින් මේ ගීතය ගැයීමට උත්සාහ කළෙමි. ඉතා අසීරුවෙන් එම ගීතයේ “පාවෙනා” කොටස ගායනා කළ පසු මේ ඉන්දිකයා කිසිම අනුකම්පාවකින් තොරව එහි පහසු කොටස වූ “නිල්වලාවේ” කොටස ගයයි. ඔහු ඉතාමත් අනුකම්පා විරහිත ලෙස මම අසීරුවෙන් ගයන ලද ගීතයේ පහසු කොටස ගයන එක කිසිදාක නැවැත්වූයේ නැත. බැරිම තැන මම අමරදේවගේ ගීත ගායනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමි. (එයද ජාතියේ පිනට සිදුවූ දෙයක් බව මම විශ්වාස කරමි.)

මේ අලංකාර චිත්‍ර ඇඳි සිත්තරුන්ට මගේ ප්‍රණාමය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.