බණ්ඩාරනායිකෙලා, ඇටපට්ටුලා සහ වන්නිනායකලා


රනිල් වික්‍රමසිංහ අගමැති, ජනපති නොව ශ්‍රී ලංකාවේ අධිරාජයා වුවද මට ඉවසිය හැක. ඉවසිය නොහැක්කේ විදේශීය මාධ්‍යවේදීන් ඔහුගේ නම උසුරුවන විදියයි. පහත දැක්වෙන සාකච්ඡාවේ NDTV මාධ්‍යවේදියා ඔහුව හඳුන්වන්නේ “රනිල් වික්‍රෙමෙසිංගෙ” කියාය. එය කොහෙත්ම මාධ්‍යවේදියාගේ වරදක් නොවේ. රනිල් සහ තවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් තවමත් ඔවුන්ගේ නම් ඉංග්‍රිසි අකුරින් ලියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ඔවුන්ගේ පහසුවට අපේ අයගේ නම් ඉංග්‍රිසි අකුරින් ලියූ ආකාරයටය. සේනානායකෙලා, බණ්ඩාරනායිකෙලා, කොටෙලාවලලා මෙන්ම ජයෙවර්ඩෙනෙලා අප රට පාලනය කළේ මේ නිසාය.

වරක් මට මෙරට සුකුමාර ගණයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් ඇරඹීමට ඇවැසි විය. සුරතල් පෙනුමක් තිබූ බැංකු සේවිකාව මගේ ගිණුම් අයදුම්පත්‍රයේ සහ වාහන බලපත්‍රයේ නිවැරදි ලෙස ඉංග්‍රිසි අකුරින් මගේ නම සහ වාසගම (NANDA WANNINAYAKA) සඳහන්වී තිබියදීත් උඩඟු ලෙස උඩදාගෙන වැරදි ලෙස (WANNINAYAKE) ඉංග්‍රිසි අකුරින් මගේ වාසගම බැංකු පාස්පොතේ මුද්‍රණය කළාය. මගේ වාසගමට ඇය හිතාමතාම කළ අපහාසය නිසා මම ඇයට ඉතාමත්ව කාරුණිකව කියා සිටියේ මෙවැනි බරපතල වැරදි නැවතත් සිදුනොවන ලෙසට තහවුරු කිරීම සඳහා මම ඉදිරිපිටදීම මගේ වාසගම සිය වතාවක් ලියන ලෙසය. ඇය එයට විරෝධය පෑ නිසා මම බැංකු කළමනාකරු හමුවී කිව්වේ ඔබේ බැංකුවට වැදගත් වන්නේ සහ නිවැරදිව සඳහන් කළ හැක්කේ මගේ මුදල් මිස මගේ නම සහ වාසගම නොවේනම් මට ඔබේ බැංකුව සමග කිසිම ගනුදෙනුවක් ඇවැසි නැති බවයි. මම වෙනත් පුද්ගලික බැංකුවකට ගොස් මගේ ඇවැසිතාවය ඉටු කර ගතිමි. මම ඒ බැංකුවේ ගිණුමක් ආරම්භ නොකළ නිසා ඔවුනට ඒ බැංකුව වසා දමන්නට සිදුනොවූ බව මම දනිමි. නමුත් සෑම ගනුදෙනුකරුවකුම වටින ආයතනයකටනම් මේ පණිවිඩය වැදගත් වනු ඇත. 

අඩුම තරමින් මගේ එකම එක ශිෂ්‍යාවක්වත් මම වාසගම් ප්‍රශ්නය කතාකළ පසු ඇයගේ වාසගම නිවරදිව ලියනු දැකීම මට සතුටකි. නිමන්දිතා තත්සරණී දිසානායක වන ඇය ඇගේ වාසගම ඉංග්‍රිසි අකුරින් ලියන්නේ දිස්සානායකෙ (DISSANAYAKE) ලෙස නොව දිසානායක (DISANAYAKA) ලෙසිනි

මම හිතන්නේ අපේ නම් ගම් නිවැරදිව ලිවිය හැකි පිළිගත් පොදු ක්‍රමයකට අපි යාවත්කාලීන වියයුතු බවය. මහාචාර්‍ය නලින් ද සිල්වා සහ ප්‍රකට බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංගෙද (Ajith Perakum Jayasinghe) මේ නම්වල අලකලංචිය ගැන මට කලින් ලියා ඇත.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.