
ලංකාවේ ලැගුම්හල්වල ඇත්තේ අරුම පුදුම නීති, රීති සහ සම්ප්‍රදායයන්ය. මේවා මොන කෙහෙල්මලක් නිසා ඇතිවූයේදැයි කියා කීමට බැරිය. බෝහොමයක් නීති පුහු සුචරිතවාදය නිසාය. අනික මේ නීති කුඩා ලැගුම්හල් වලට පමණය. ඒවාද කිසිම වැදගැම්මක් ඇති නීති නොවේය.
- මම විවාහ වූ අලුත බිරිඳ සමග අනුරාධපුරේ ලැගුම්හලකට ගියේ දීර්ඝ මෝටර්සයිකල් සවාරියකින් පසු හොඳටම හෙම්බත්වීය. ලැගුම්හළට ඇතුල්වූ පසු එහි සිටි කොලුවා කීවේ නවතින්න දෙන්නේ “කපල් වලට” පමණක් කියාය. මම කිව්වෙ “අපිත් කපල් එකක් තමා” කියාය. එවිට ඔහු කීවේ “නෑ නෑ සර් කසාද බැඳපු කපල් වලට විතරයි” කියාය. මම කීවේ “ඉතිං අපිත් කසාද බැඳපු කපල් එකක් තමා” කියාය. එවිට ඔහු කීවේ එය විශ්වාස කළ නොහැකි බවයි. මම ඔහුට කීවේ යන යන තැන කසාද සහතිකය ලැමිනේට් කරගෙන යන සිරිතක් අපට තියා අරාබි රටකවත් ඇතැයි මම හිතන්නේ නැති බවය. එවිට ඔහු කීවේ කසාද බැඳ ඇතිනම් බබෙක් සිටිය යුතු බවය. එවිට මම කීවේ කසාද බැඳ සති දෙක තුනකින් බබ්බු හම්බවෙන්න තරම් අකරතැබ්බක් වී අප කසාද නොබැන්ද බවය. කෙසේ හෝ අන්තිමේදී යහළුවකුට කතාකර, ඇය මාර්ගයෙන් අප කසාද බැඳ ඇති බව තහවුරු කරනකල්ම අපිට කාමරයක් නොලැබුණි.
- තවත් දිනක දුර බැහැර සිට පොළොන්නරුවට තනිවම පැමිණ නතරවීමට ලැගුම්හලකට ගොඩවැදුනෙමි. මැනේජර් උතුමාණන් මට කැමති කාමරයක් තෝරාගන්නා ලෙස කීවේය. මම කාමර සියල්ලටම ගොස් බැලූවිට පෙනුණේ ඒවා සියල්ලම විශාල “ඩබල් බෙඩ්” සහිත කාමර බවයි. මම මැනේජර් උතුමාට කීවේ මම තනිවම සිටින නිසා තනි ඇඳක් සහිත කාමරයක් ප්‍රමාණවත් බවය. එවිට ඔහු කීවේ කාමර දෙන්නේ කපල් වලට විතරක් බවය. මට බොහෝ මහන්සි නිසා වෙනත් ලැගුම්හලකට යාමට අපහසු නිසා ඩබල් බෙඩ් සහිත කාමරයක නතරවී සම්පූර්ණ කාමර ගාස්තුවම මම ගෙවීමට සූදානම් බවයි. එහෙත් ඔහු කීවේ එය කිසිසේත් කළ නොහැකි බවයි. මට වෙනත් ලැගුම්හලකට යාමට සිදුවිය.
- තවත් දිනක දුරබැහැර ලැගුම්හලකට තනිවම ගියවිට මැනේජර් කිව්වේ තනි පිරිමින්ට කාමර දීමට විශේෂ ලයිසන් එකක් ගතයුතු බවත් තමන්ට එම ලයිසන් එකක් නැති බවත්ය. ඒ නිසා මට වෙනත් “පිරිමින්ට ලයිසන් තියෙන” ලැගුම්හලකට යාමට සිදුවිය.
- අද රෑත් මම ඉන්නේ ජා ඇළ ලැගුම්හලක කාමරයකය. මෙයනම් අමුතුම ලැගුම්හලකි. මැනේජර් කොලූවා කීවේ මම කාන්තාවකද සහිතව නවතිනවානම් එක රැයකට කාමරය රුපියල් 1000කට ලබාදිය හැකි බවත් තනියම නතරවෙනවා නම් කාමරයට රුපියල් 2000ක් අයකරන බවයි. මේ නීති මටනම් නොතේරේ. අනික මිල අඩුවෙන් ගෙවීම සඳහා කාන්තාවක් සමග නතර වීමට තරම් මට අහේනියක්ද අහවල් එකේ අමාරුවක්ද නැත. අනික මම ඉතාම ගරු කරන මට ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයකු වූ මිහින්තලේ මහේන්ද්‍ර ඉලංගසිංහ මහතා මට ඉගැන්වූ ‘A night with Venus, a lifetime with Mercury’ යන වැකිය මම කිසිදාක අමතක නොකරමි.
ලැගුම්වල මේ නීති, රීති හෝ සම්ප්‍රදායන් ගැන මට කිසිසේත්ම තේරුම් ගැනීමට නොහැක. සමහරවිට මෙවැනි දේ ගැන සමාජ විද්‍යාත්මක ඇසකින් බලන අජිත් පැරකුම් ජයසිංහ හෝ යම් පැහැදිලි කිර්‍රිමක් කළොත් හොඳයැයි සිතේ.
(මේ ලිපිය ලිවීමේදී මට මාතලන්ගේ භාෂා විලාසය ආවේ කොහොමදැයි මටද තේරුම්ගත නොහැක. මාතලන් ඒ පිළිබඳව අමනාප නොවේ යැයි සිතේ.)