ජයලත් මනෝරත්න – පිපිණු තලමල


ජයලත් මනෝරත්න

මම සාමාන්‍යයෙන් මා කැමති පුද්ගලයෙක් මරණයට පත්වූ විට එකෙණෙහිම ඒ ගැන නොලියන්නේ හේතු දෙකක් නිසාය. එකක් නම් අනෙක් අය ලියන දේවල් ඉවසීමෙන් කියවා බලා මගේ ලියවිල්ල එම ලේඛක ලේඛිකාවන් නොලියූ දේ ලිවීමට හැකි නිසාය. අනෙක් හේතුවනම් අනෙක් බොහෝ දෙනාත් එකම දින කිහිපයක් තුළ ඔහු/ඇය ගැන ලියන නිසා මගේ ලියවිල්ල කියවන එක බොහෝ දෙනෙකුට මග හැරේ යැයි සිතෙන නිසාය. එහෙත් ජයලත් මනෝරත්න නම් සෑම පැත්තකින්ම දිදුලන දියමන්තිය ගැන කඩිනමින්ම නොලියා ඉන්නට බැරිය. ඒ මම ඔහුගේ රංගනය මුලින්ම දුටුදින පටන් අවසන් දින දක්වාම ඔහුව බොහෝ සෙයින්ම ප්‍රිය කළ නිසාය.

“දිවැස් හෙලනු මැන”

අපේ ගෙදරට 80 ගණන්වල මැද හරියේදී කළු-සුදු ටෙලිවිෂනයක් ගෙන ආවේ අපේ ලොකු අයියා වන නයනසේන වන්නිනායක ඕමාන් රටේ රැකියාවක් කර ගෙදර ආපසුය. අයියා ටෙලිවිෂනය ගෙන ආ මුල්ම දිනේදී ප්‍රවෘත්ති විකාශයනයෙන් පසු ටෙලිනාට්‍යක් පටන් ගත් අතර එහි සිටියේ (එතෙක් අපි නොදැන සිටි) නළුවන් දෙදෙනෙක් වූ ජයලත් මනෝරත්න සහ ජයශ්‍රී චන්ද්‍රජිත්‍ දෙදෙනාය. ඒ වනවිට ටෙලිවිෂනයේ පෙන්වූ මාසික සිංහල චිත්‍රපටය අපි බැලුවේ අපේ ගමවූ මහවිලච්චියේ ‘විලච්චි ස්ටෝර්ස්’ අධිපති ජයවර්ධන මුදලාලිගේ නිවසේ ටෙලිවිෂනයෙනි. අඟල් 12 කළු-සුදු ටෙලිවිෂනයක තිරයක් දෙස ගමම එකතුවී බැලූ එම චිත්‍රපටවල අප දැක සිටියේ ඉතා කඩවසම් ප්‍රධාන නළුවා සහ සුරංගනාවියක් වැනි සුන්දර ප්‍රධාන නිළිය නිසා එතරම් කඩවසම් නොවූ මේ අලූත් නළුවන් දෙදෙනා මුලින්ම දුටුවිට මට ඇතිවූයේ තරමක නුරුස්නා ගතියකි. මේ ‘කෝටු කිතයියාගේ’ සහ ‘බතලයාගේ’ මොනවා බලන්නදැයි මට තරමක් කේන්තියක්ද ඇතිවිය.

එහෙත් විනාඩි කිහිපයකදී ඒ නුරුස්නා ගතිය මගහැරී බඩ අල්ලාගෙන හිනාවෙන ගමන් එම ටෙලිනාට්‍ය පුදුම ආශාවකින් බැලුවෙමි. මට මතක හැටියටනම් ඒ ප්‍රහසන නාට්‍යක් වූ ‘දිවැස් හෙළනු මැන’ වේදිකා නාට්‍යයේ ටෙලිවිෂන් නිෂ්පාදනයයි. එය අතිශයින්ම අලංකාර වූ අත්දැකීමක් වූ අතර එහි අනිත් කොටස නැරඹීමට ඊළඟ සතිය වනතුරු නොඉවසිල්ලන් බලා සිටියෙමි.

ටෙලිනාට්‍ය

මනෝරත්න විවිධ චරිතවලින් ටෙලිවිෂන් තිරය විචිත්‍රකරනු දැකීමට හැකිවිය. ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක ඔහු රඟපෑවත් ඔහු නරක ලෙස රඟපෑ එකදු ටෙලි නාට්‍යක්වත් මට සිහි නොවේ. ඒ තරමට ඔහු ඉතාම පහසුවෙන් එම චරිතවල ගති ලක්ෂණ ග්‍රහණය කරගත්තේය. ඔහුගේ සෑම ටෙලිනාට්‍ය රංගනයක්ම ඇසට මෙන්ම මනසටද තදින්ම ආමන්ත්‍රණය කළේය. තමන් සම්බන්ධවන සෑම කලා නිර්මාණයක්ම බබළවන්නට යම් කලාකරුවකුට හැකිනම් හේ අතිශයින්ම දක්ෂයෙක්ම මෙන්ම භාග්‍යවන්තයෙක්ද වන්නේය. මීට පෙර එම දුර්ලභ ලක්ෂණය මම ශ්‍රී ලාංකික කලාකරුවන්ගෙන් දැක ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රේමසිරි කේමදාස සහ අමරදේවගෙන් පමණි.

වේදිකාව

මෙතෙක් ටෙලිවිෂනයෙන් පමණක් මනෝගේ රඟපෑම් බලමින් සිටි මට මනෝව සැබවින්ම දකින්නට ලැබුණේ ‘ගුරු තරුව’ වේදිකා නාට්‍යයෙනි. එවකට මම මහවිලච්චියේ සාලියමාලා විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය කරමින් සිටි අතර පාසලේ උසස් පෙළ සිසු සිසුවියන් සහ තවත් ගුරුවර-ගුරුවරියන් කිහිප දෙනෙක් සමග අනුරාධපුර යොවුන් නිකේතනයට ආවේ ගුරු තරුව නැරඹීමටයි. මෙතෙක් ටෙලිවිෂනයෙන් පමණක් දැක සිටි තරමක් කෙසඟ මෙන්ම කුඩා ශරීරයක් තිබුණ මනෝ වේදිකාවේදී මට දැනුණේ අති දැවැන්තයෙක් ලෙසය. ඒ ඔහුගේ රංගන පෞරුෂය හා ටෙලිවිෂනයට වඩා සබෑ වේදිකාවේ ඔහුගේ නියම ශරීර ස්වභාවය දුටු නිසා විය හැක. ඔහු එතරම් උස, තේජාන්විත ශරීර ලක්ෂණ ඇති බව මට ටෙලිවිෂනයෙන් එතෙක් නොපෙනිණ.

මට චිත්‍රපටියක් බලන විට මුලින්ම හැඬුණේ ටෙලිවිෂනයෙන් ‘ඒක් ෆූල් දෝ මාලි’ නම් අතිශයින්ම හැඟුම්බර හින්දි චිත්‍රපටය බලද්දීය. වේදිකා නාට්‍යක් බලද්දී මුල්‍ වරට (සහ අවසාන වරට) හැඬුණේ ගුරු තරුව බලද්දීය. ඒ තරම්ම මනෝගේ රඟපෑම අති විශිෂ්ටය. අති සංවේදීය. මනෝගේ විශිෂ්ට රංගන පරාසයට ටෙලිවිෂන් තිරය කොහෙත්ම මදි බව මට තේරුණේ ගුරු තරුව බලද්දීය. නමුත් මනෝ ටෙලිනාට්‍යවලද අතිශය සාර්ථක නළුවෙක් බවනම් කිවයුතුය.

පසුව මනෝ රඟපෑ ‘ලෝකය තනි යායක්’ වේදිකා නාට්‍ය බදුල්ලේදී නැරඹූ නමුත් එයින් කිසිම වින්දනයක් ලැබිය නොහැකි වූයේ නාට්‍ය ශාලාවට ඉදිරිපස ක්‍රීඩාංගණයේ එදාම සංවිධානය කළ තිබූ සංගීත සංදර්ශනයේ ඝෝෂාකාරී ශබ්දය නිසා නාට්‍යයේ දෙබස් කිසිවක් නොඇසුන නිසාය. එහෙත් මනෝ ඒ බාධක ගණන් නොගෙන සාමාන්‍ය ලෙස නාට්‍ය අවසන් වන තුරුම කරගෙන ගියේය.

මනෝගේ ‘බූරුවා මහත්තයා’ වේදිකා නාට්‍ය අන්තර්ගතය අතින් සාර්ථක වුවත් මනෝ හැරුණකොට වෙන කිසිම නළුවෙක් හෝ නිලියක්ගෙන් සාර්ථක රංග ප්‍රතිභාවක් නොදුටු නිසා මම ඉන්පසු මනෝගේ පමණක් නොව වෙන කිසිදු අයෙකුගේ වේදිකා නාට්‍ය කිසිවක් නැරඹුවේ නැත. මෙය මනෝගෙ වරදක් නොවේ. ටෙලිවිෂනයේ වේවා, වේදිකාවේ වේවා, සිනමාවේ වේවා නව පරපුරේ නළු නිළියන් ගැන මට කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැක.

සිනමාව

කුමක් හෝ හේතුවකට මනෝ සිනමාවට කොහෙත්ම ගැලපෙන්නේ නැති බව මනෝ රඟපෑ චිත්‍රපට කිහිපයක් බැලීමෙන් මට වැටහුණි. ඒ මනෝගේ දුර්වලතාවයක්ද, නැත්නම් ඔහුට ලැබුණ චරිතවල හෝ ඔහුගේ අධ්‍යක්ෂකගේ වැරද්දක්ද යන්න මට නොතේරේ. මෑත කාලයේදීනම් මනෝට ලැබුණේ බොහෝවිට හින්දි, දෙමළ හෝ මලයාලම් චිත්‍රපට අමු අමුවේ කොපි කරමන් නිර්මාණය වූ මනෝ වැනි නළුවෙකුට නොගැලපෙන චිත්‍රපටය.

ගායනය

මනෝ අති විශිෂ්ට ගායකයෙකි. ඉතා ගැඹුරු කටහඬක් මෙන්ම ඕනෑම ස්වර පරාසයක් තුළ පහසුවෙන්ම සීරුමාරු කළහැකි ගායන හැකියාවක් ඔහුට තිබුණි. එහෙත් ඔහු වේදිකා නාට්‍ය ගීතවලට පමණක් කොටු කිරීම මනෝට නොව, සංගීත ලෝලින්වන අපට සිදුවූ බලවත් අසාධාරණයකි. මනෝ ගැයූ ගීවලින් මගේ ප්‍රියතම ගීතය ‘වාසනා දිනේකි’ ගීතයයි.

කෙටිකතා

මම මනෝගේ කෙටිකතා කිහිපයක්ම කියවා ඇත්තෙමි. ඒවාගෙන් මම වඩාත්ම කැමති ‘ දිවයින’ පුවත්පතේ පළවූ ‘කතුරා’ නම් කෙටිකතාවය. එය ප්‍රංශ ලේඛක Guy de Maupassantගේ A Piece of String නම් කෙටිකතාවට කුමක්දෝ නෑකමක් ඇතැයි මට සිතේ.

වෙළඳ දැන්වීම්

ප්‍රබුද්ධ කලාකරුවන් වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීම ගැන මගේ කිසිම විරෝධයක් නැත. අප වැනි කුඩා රටක සීමිත රසික පිරිසක් සන්තර්පනය කිරීම සඳහා තම හැකියාවන්වලින් වැඩ ගන්නා කලාකරුවන්ට සෑහීමකට පත්විය හැකි මට්ටමේ අදායමක් නොලැබෙන බව අපි දනිමු. එහෙත් කුමන හේතුවක් නිසා හෝ මනෝ වෙළඳ දැන්වීම් වලට පෙනී නොසිටියේය. සමහරවිට වෙළඳ දැන්වීම්වලින් ලැබෙන මුදලට වඩා ඔහු විශ්වාස කරන පුරුෂාර්ථ වෙනස්වූ නිසා විය හැක.

දේශපාලනය

මනෝ පෞද්ගලික වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කිසිවිටක දේශපාලකයන්ගේ හෝ ඔවුන්ගේ පක්ෂවල අතකොලුවක් වූයේ නැත. ඔහු යම් මට්ටමිකින් හෝ සීමිත දේශපාලන ක්‍රියාවලියක යෙදුනේනම් ඒ 2015 ජනාධිපතිවරණයේදී පමණි. සමහරවිට මනෝට එසේ හෝ කිරීමට සිදුවූයේ ඒ වන විට තිබූ රාජපක්ෂවරුන්ගේ හිතුවක්කාර පාලනය සැමට තිත්තවී තිබූ වෙලාවක් නිසා ඔවුනට වඩා වෙන මොකෙක් හෝ හොඳයි කියා රටේ බොහෝ දෙනෙකුට සිතුණ නිසා විය හැක. මට මතක හැටියට ඔහු එකම එක වරක් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වී පාලනයේ වෙනසක් සිදුවියයුතු බව පමණක් කීවේය. ඒ මිසක් කිසිදු දේශපාලකයෙක් හෝ පක්ෂයක් ප්‍රවර්ධනය කළේ නැත.

මනෝ වැනිම දක්ෂ කලා කරුවන් දෙදෙනකු වූ ජැක්සන් ඇන්තනී සහ ශ්‍රියන්ත මෙන්ඩිස් බොහෝ කල් සිට මුදලට සහ වරප්‍රාසද වලට ගිජුව තමන්ගේ ගෞරවය නැතිකරගත්තත් මනෝට එවන් පෙළඹවීම්වලට ප්‍රතිරෝධය දැක්වීමට සහ ප්‍රතික්ෂේප කිරීමට හැකියාව තිබුණි.

මනෝ ඉතා නිහතමානි, ප්‍රසන්න සහ විනෝදකාමි කලා කරුවෙකි. මේ ඔහු වරක් සජීවි ටෙලිවිෂන් වැඩසටහනකදී ඔහුගේ නිරහංකාරත්වය පෙන්වූ අවස්ථා දෙකකි.

  • මනෝ කුමක් හෝ විභාගයකට සූදානමින් ඒ සඳහා ඇවැසි පොත් පත්, සටහන් ආදිය තැපෑලෙන් ගෙන්වාගෙන ඒවා අධ්‍යනය කරමින් සිට ඇත. ඒ වන විටද ඔහු තරමක් ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඔහු විභාගය සඳහා ගෙන්වාගත් එක පොතක මෙසේ තිබුණ බව ඔහු කීවේය. “මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලප්පත්ති වැනි කවි, කිවිඳියන්ගේ කවි හා සැලකූ කල මනෝරත්නගේ කවි, කවි නොවේ.”
  • වැඩසටහනේ නිවේදකයා මනෝගෙන් ඇසුවේ මෙතරම් රටේ ජනප්‍රිය වූ නළුවකු ලෙස සාමාන්‍ය සමාජයේ හැසිරෙද්දී ඇතිවන අපහසුතා සහ පහසුතා ගැනය. මනෝ කිව්වේ මෙවැන්නකි. “මම දවසක් ටෙලිනාට්‍යක් රූගත කෙරෙන තැනකට බස් එකෙන් යද්දී පෙරදා රාත්‍රියේ නාට්‍යක් රඟපෑ නිසා නිදිමතක් දැනුණා. ඒ නිසා මම බස් එකේ කොන්දොස්තර ලෙස සිටි කොලුවාට කිව්වා පුතා මට බහින්න ඕන ‘නෙළුම උළු’ කියන උළු ෆැක්ටරිය තියෙන තැනින්. එතනින් මට ඇහැරවන්න කියලා. මමත් ඉතිං නළුවා නිසා කොලුවා මාව අනිවාර්‍යයෙන් ඇහැරවයි කියන විශ්වාසයෙන් හොඳට නිදා ගත්තා. ඒත් ඇහැරුණාට පස්සේ මට දැනුණා බහින්න ඕන තැන පහුවුණා වගේ කියලා. මම කොලුවාගෙන් ඇහුවා පුතා බහින තැන පහුවුනාවත්ද කියලා. එතකොට එයා කිව්වේ ‘බයවෙන්න එපා අංකල්, ඉස්සරහා විජය උළු කියල ෆැක්ටරියක් තියෙනවා. එතනින් උළු ටික ගන්න පුළුවන්” කියලා.

කුමක් හෝ හේතුවක් නිසා මනෝව අපිට පෙනුණේ ඔහු “අපේ එකෙක්” ලෙසය. ඒ මන්දැයි කීමට අදටත් මට නොතේරේ.

මනෝගේ වෙබ් අඩවියට www.jayalathmanorathna.org පිවිසීමට වෙත යන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.