
මට රන්ජන් රාමනායක කිසිසේත්ම ප්‍රියජනක නළුවෙක්වත්, පුද්ගලයෙක්වත් නොවේ. නමුත් මට දෙවන වරටත් ඔහු ගැන ලියන්නට සිදුවී ඇත. (පළමු වරට ලියූ ලිපිය මෙතනින් කියවන්න.)
බොහෝ උපමහාද්වීපික නළුවන්ට මෙන්ම රන්ජන්ටද වයස යාම නොපෙන්වා සිටීමට සිදුවීම ඔහුගේ වරදක් නොවේ. හොලිවුඩ් නළුවන්ටනම් වයස යාම ආභරණයක් වන්නේ ඔවුන් වයසත් සමග පරිණත වීමත්, රසික රසිකාවියන්ගේ මෙන්ම නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලුම වැඩිවීමත් නිසාය. ඒ නිසාම අවුරුදු 70ක් වයස රිචර්ඩ් ගියර් තවම චිත්‍රපටවල “කොල්ලාගේ” හෙවත් ආදරවන්තයාගේ චරිතය රඟපායි. වයස සඟවන්නට ඔහුට අවශ්‍යතාවයක් නැත. නමුත් 69 හැවිරිදි රජිනිකාන්ත්ටත්, 56 හැවිරිදි රන්ජන් රාමනායකටත් විවිධ වෙස් ගැන්වීම්වලින් සැරසී තවමත් කොල්ලාගේ චරිතය රඟපෑමට “මාර ගේමක්” දීමට සිදුවී තිබේ. එසේ නොවුණොත් ඔවුන්ට චිත්‍රපට නොලැබී යයි. (77 හැවිරිදි අමිතාභ් බච්චන් නම් නියම වයස පෙන්වමින් තවමත් තම පුතාගේ තිරයේ පෙම්වතියත් සමග නටන්නට තරම් වාසනාව ලැබී ඇත්තේ ඔහුගේ දැවැන්ත පෞර්ෂය නිසාමය.)
රජිනිකාන්ත් ඇත්තටම බැලුවොත් තට්ට හිසක් සහිත පුද්ගලයෙකි. (ඔහු එය තිරයේදී සැඟවුවද සාමාන්‍ය ජීවිතයේදී සඟවන්නේ නැත.) රන්ජන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූ පසුව ඔහුගේ ඇත්තේද තට්ට හිසක් බව පැහැදිලිව පෙනේ. එය බොරු කොණ්ඩයකින් වසාගෙන සෑහෙන කලක් කොල්ලාගේ චරිතය ඔහුට රඟපෑමට හැකිවිය. (මම එහි වරදක් නොදකිමි. මගේද තට්ටය පෑදුනොත් සමහරවිට එය සැඟවීමට මමද උත්සාහ කළ හැක.)
මම මේ කියන්නට යන්නෙ වෙන කතාවකි. කිසිම හැඟීමක් නැති “හිස් මුහුණක් ඇති” නළුවකු වූ රන්ජන් බන්ධනාගාරගතවූ පසු සුදු රවුල වැවී, තට්ටය පෑදී දැන් ඔහුගේ නියම ස්වරූපය පෙනේ. රන්ජන් නම් “නළුවාගේ” නියම රඟපෑම් පෙනෙන්නේ දැන් ය. දැන් රන්ජන්ට ඇත්තටම රඟපාන්නට පුළුවන. ජීවිතයේ කටුක අත්දැකීම්, සිය හිතමිතුරු දේශපාලකයන්, මිතුරන්, රසික රසිකාවියන් විසින් දරුණු ලෙස අතහැර දමනු ලැබීමේ සහ සිය ප්‍රතිරූපය දැඩි ලෙස බිඳ වැටීමේ කනස්සල්ලෙන් සිටින ඔහු තවමත් “වීරයා” වීමට උත්සාහ දරයි. රන්ජන් බන්ධනාගාර බසයෙන් බසින විට සහ නගින විට හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් ඉගෙනගත් “පාට් දමමින්” රඟපායි.
ඔහුගේ අනාගතය කෙසේ වේදැයි කීමට අපට නොහැක. එය ඉතා දීර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසුව තීරණය වනු ඇත. ඒ කෙසේ වෙතත්, ඔහු දැන් නියම “නළුවකු” වී ඇත. ඔහුට බොහෝවිට හොඳ චරිතාංග නළුවකු ලෙස ඉදිරි ගමනක් තිබිය හැක. සමහරවිට රන්ජන් දැන් එතරම් කාර්‍යබහුල නොවන ජීවන රටාවක් ගෙවන නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේදී පොතක් දෙකක් කියවීමටද හැකිවනු ඇත.
රන්ජන්, ඔබට සුබ අනාගතයක්.