නන්දගේ කොලම – 1 – පලස්තීන ප්‍රශ්නය


Yitzhak Rabin, Bill Clinton and Yasser Arafat 

ඒ මා පාසල් ගුරුවරයකු ලෙස සේවය කරන කාලයයි. මා ප්‍රාථමික පංති අසලින් යාම හැකි හැමවිටම මග අරින්නේ ඔවුන්ගේ පංතිවල ගුරුවරියන් නැති වෙලාවල පොඩ්ඩන් පොඩ්ඩියන් ගෙන එන ප්‍රශ්න විසඳීම මට විශාල කාලයක් වැයවන නිසාත්, ඒ සම්බන්ධ එතරම් දැනුමක් මට නැති නිසාත් බැවිනි.මේ සඳහා කදිම විසඳුමක් මම සොයාගතිමි. එනම්, “සර්, මෙයා මට ගැහැව්වා,” “සර්, මෙයා මගේ මක්කෙ දෙන්නෙ නෑ” වැනි තොරතෝංචියක් නැති පැමිණිලි ගෙන එන විටදී ඔවුන්ගෙන් මම “පුතා, අයර්ලන්ත අර්බුදය විසඳන්නේ කොහොමද?” “දුව, ඇෆ්ඝන් අවුලේ ඇතුලාන්තය ගැන දන්නෙ මොනවාද” වැනි ජාත්‍යන්තර ප්‍රශ්න පොඩ්ඩන්ගෙන් ඇසීමයි. එවිට ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ටද අමතක වේ. කොහොමත් පොඩි ඈයින්ගේ ප්‍රශ්න විසඳීම ජාත්‍යන්තර අර්බුද විසඳීමට වඩා අපහසුය.

දිනක් හෝඩියේ පංතිය අසලින් යද්දී පුංචි දැරියක් දුවගෙන ඇවිත් කිව්වේ, “සර්, අරයා මට ලියන්න දෙන්නේ නෑ” කියාය. මම ඇයව නිශ්ශබ්ද කිරීමට ඇයගෙන් ඇසුවේ, “පැංචි, පලස්තීන ප්‍රශ්නය ගැන ඔයා හිතන්නෙ මොනවද?” කියාය. මෙලෝ දෙයක් නොතේරුන අසරණ දැරිය ඇස් ලොකු කරගෙන මා දෙස බලා සිටින විට මම ඇයට කිව්වේ, “ඔයා දන්නෙ නැත්තං ගෙදර ගියාම අම්මගෙන් අහගෙන ඇවිත් හෙට මට කියන්න.” කියායි.

මෙය මෙතනින් එහා නොයාවියැයි සිතුවත් පහුවදා උදෑසනින්ම දැරිය පැමිණ සිටියේ ඇගේ මවත් සමගය. මා සිතුවේ පොඩි එවුන්ගෙන් නොසන්ඩාල ප්‍රශ්න අහනවාට හොඳවයින් දෙකක් අදනම් අසාගත හැකිවනු ඇත කියාය. නමුත් සිනාමුසු මුහුණින් පැමිණි දැරියගේ මව මට පොලොස් ගෙඩියක්ද රැගෙනවිත් තිබිණි.

“දුව ඊයෙ ගෙදර ආව ගමන් සර් පොලොස්, පොලොස් කියලා මොනවාද ඇහුවා කියලා කිව්වා. මම හිතුවෙ සර්ලගෙ ගෙදර පොලොස් නැතුව ඇති කියලා. ඒකයි මේ පොලොස් ගෙඩියක් ගෙනාවේ.”

ඒ එතෙක් කිසිදු ලෝක බලවතෙකුට හෝ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයකුට විසඳීමට නොහැකිවූ පලස්තීන ප්‍රශ්නය අර අවුරුදු පහක පුංචි දැරිය විසඳූ අයුරුයි.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.