තක්කඩි දේශපාලකයෝ, කාලකණ්ණි ගුරුවරු සහ වාසනාවන්ත සිසු සිසුවියෝ


Some of my present students before Corona lockdown

ශ්‍රී ලංකාවේ තක්කඩි දේශපාලකයෝ, කාලකණ්ණි ගුරුවරු සහ වාසනාවන්ත සිසු සිසුවියන් ගැන එකවර කතාකිරීමට කදිම පරිසරයක් නිර්මාණය වී ඇත්තේ කෝවිඩ්-19 ආශ්‍රිතව ඇතිවී තිබෙන විශේෂ තත්ත්වය නිසාය.

තක්කඩි දේශපාලකයෝ

“එතුමා”

අපිට මෙතෙක් පහළ වී ඇත්තේ තක්කඩි දේශපාලකයන් පමණි. මේ කුලකයෙන් වියුක්ත වූවකු සිටියේනම් ඒ අතළොස්සක් බව අප හැම දෙනාම දනිමු. තක්කඩි දේශපාලකයන් ගැන ලිවීමට මීට වඩා කාලය නාස්ති කළ යුතු නැත. කළ හැකි එකම දෙයනම් මේ ගොඩටම තක්කඩි රාජ්‍ය සේවකයන් සහ තක්කඩි වෘත්තිකයන්ද එකතු කර ගැනීම පමණි.

කාලකණ්ණි ගුරුවරු

“මිහිබට දෙවිවරු”

ගුරුවරුන්ට ” කාලකණ්ණි ගුරුවරු” කිව්වේ යැයි කියූ ඉහත කී තක්කඩි දේශපාලකයෙක් ට විරුද්ධව බොහෝ දෙනා කලබල වී ඇත. නමුත් ඒ තක්කඩි දේශපාලඥයා කියූ දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමට හේතු මටනම් නැත. මෙතැනදී ප්‍රශ්නයක් වී ඇත්තේ ඔහු වැනි තක්කඩියෙකුට එසේ කීමට සදාචාරාත්මක අයිතියක් නැතිකම පමණි.

මමත් රජයේ පාසල් දෙකක අවුරුදු හතරක් පුරාම ඉංග්‍රීසි සහ පරිගණක ගුරුවරයකු ලෙස ගුරු වෘත්තිය කළ නිසා ගුරු වෘත්තිය සහ ගුරුවරුන් පිළිබඳ යම්කිසි අවබෝධයක් මට ද ඇත.

මම ඊළඟට කියන දේවල්වලින් බොහෝ දෙනාගේ සිත රිදිය හැක. සමහරවිට මට ඉගැන්වූ ගුරුවරුන් කවරකු හෝ මෙය කියෙව්වොත් ඔවුන්ගේද සිත රිදිය හැක. නමුත් මම ලියන්නේ මට සිතෙන දේ ය. අත්විඳ ඇති දේය. අත් දැක ඇති දේය. ඔබ මා සමග එකඟ නැතිනම් මගේ මතයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.

මමද පාසල් ගුරුවරයකු ලෙස රජයේ පාසල් පද්ධතිය තුළ කටයුතු කළ ගුරුවරයකු නිසා උත්තම පුරුශයෙන්ම මේ කොටස ලියන්නේ මමද ඔවුන්ගෙන් එකෙකු ලෙස කෙටි කාලයක් හෝ සිටි නිසාය.

ගුරුවරු වන අපි කරන විප්ලව ස්ටාෆ් රූම් එකේ තේ බොනකල් විතරය. තේ එක බී පංතියට ගිය වහාම අපි සුපුරුදු ඒකාකාරි, නීරස, නිද්රාශීලී ඉගැන්වීමම පටන් ගනිමු.

“ගුරු ගීතය” කියවා හැඟුම්බර වන (හෝ අඬන) අපි දුයිෂෙන් මෙන් පාසල් සාදා, ගම් පිටින් වෙනස් කර උගන්වනවා තබා, නොවරදවා මාසික වැටුප ලැබෙද්දීත් වෙලාවට පන්තියට ගොස් උගන්වන්නේ නැත්තෙමු.

අපේ කාලච්ඡේදයට හරියට වෙලාවට පංතියට නොයන අපි අපේ දූගේ හෝ පුතුගේ පන්තියට අදාළ ගුරුවරයා හෝ ගුරුවරිය වෙලාවට පැමිණියේ නැතිනම් විදුහල්පති ළඟට ගොස් කුනුකුනු ගාමු.

මහ ලොකු මානව හිතවාදී ගුරුවරු වන අපි සිසු සිසුවියකගේ කුමක් හෝ සුළු වරදක් හෝ දඟ වැඩක් නිසා දෙමව්පියන් පාසලට කැඳවූ විට හේනේ හෝ කුඹුරේ සිට දාඩිය පිටින් ගිනි බැඳී දුව එන ඔවුන්ට වාඩි වීමට පුටුවක් හෝ නොදී පැය ගණන් කාර්‍යාල කාමරයේ හිටගෙන සිටීමට සලසා කුරිරු සතුටක් ලබමු.

කොල්ලෙක් කෙල්ලකුට ටොෆියක් දුන් විට අපි මුළු පාසලම ඉදිරිපිට ඔහුගේ ගෙල සිඳලමු. කෙල්ලෙක් කොල්ලකුට රෝස මල් කිනිත්තක් මැසූ ලේන්සු පොඩිත්තක් දුන් විට අපි ඇයට මුළු ගමම ඉදිරියේ ගල් ගසා මරා දමමු. අපේ ගැටවර විය සම්පූර්ණයෙන්ම අමතක කොට කොල්ලන්ට ‘ හුජ්ජ බරට කෙළින් වුණාට තොට … … (බලධරයා විසින් කපාහරින ලදි)” ලෙසද කෙල්ලන්ට “ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම මේකිට … … (බලධරයා විසින් කපාහරින ලදි)” ලෙස පටන් ගෙන ගැටවරයකුට, ගැටවරියකට නොව සතෙකුටවත් නොකියන අසික්කිත කතා කියමින් කඩා පනින අපි “මල් කියන්නෙ කාට කාට – ළමයින්ටයි පාට පාට” වැනි වැල් වටාරම් ගිරවුන් මෙන් කියවමු.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ජාතික අධ්‍යාපන ආයතනයේ, විභාග දෙපාර්තමේන්තුවේ කාලීනව වෙනස් නොවන ගුරු පුහුණු ක්‍රම, යල් පැනගිය විෂය නිර්දේශ, විෂයයන් කට පාඩම්දැයි පමණක් මනින විභාග ගැන දරුණු විවේචන ගෙන එන අප, ගුරුවරු ලෙස අපේ දැනුම අළුත් කරගනු වෙනුවට ලංකාදීප පත්තරේ කොහෙන් හරි නොමිලේ කියවන්න ලැබුණ විටකදී පවා මුල් පුවත, විදෙස් විත්ති විචාරය, සාහිත් අතිරේකය හෝ අඩුම තරමින් ක්රීඩා පිටුවවත් නොකියවා මුලින්මදෙයියෝ සාක්කිත්, ඊළඟට ලග්න පලාපලත් පෙර දින ලොතරැයියක් ගත් බව හදිසියේම සිහි වූ විට ලොතරැයි ප්රතිඵලත් පමණක් බලා පත්තරය වසා දමා එතනින් මාරු වෙමු.

මේ මොනවා වුවත් තක්කඩි ඇමතියෙකු අපිට “කාලකණ්ණි ගුරුවරු” කියූ විට එය එසේ නොවේ යැයි ඔප්පු කිරීමට අපි ඊටත් වඩා පහත් කතා කියමින් මෝඩ ඇමතියාගෙන් ගේමම ඉල්ලමු.

එහෙත් අපි ගුරුවරු නොවෙමු. මිහිබට දෙවිවරු වෙමු. අපි දෙවියන්ගෙන් වෙනස් වන්නෙ ඇසිපිය හෙළන පමණින් පමණක් වෙමු.

වාසනාවන්ත සිසු සිසුවියෝ

“දෝරේ ගලන සතුට”

කෙසේ හෝ කොරෝනා, ගුරු වර්ජන, ස්මාට්ෆෝන් නැතිවීම හෝ ඉන්ටෙර්නෙට් සංඥා අඩුවීම නිසා ස්වීප් එක ඇදුණේ දරුවන්ටය. එතෙක් බලු පොරයට දක්කාගෙන යමින් සිටි දරුවන්ට දීර්ඝ ළමාවියක් ලැබී ඇත. උන්ට තමන් කැමති පොතක් පතක් කියවීමට, චිත්‍රපටයක් නැරඹීමට, ටෙලිවිෂන් සීරීස් එකක් නැරඹීමට, සංගීත විඩියෝ එකක් නැරඹීමට, වත්තේ සීමිත ඉඩ පරාසයක හෝ සෙල්ලම් කිරීමට, කොටින්ම කිව්වොත් කලට වෙලාවට කන්නට, බොන්නට, වැසිකිළි යාමට මෙන්ම හුස්ම ගැනීමට පවා නිදහස ලැබී ඇත.

කොරෝනා නිසා පාසල් වැසූ පසු පසුගිය වසර අවසාන හරියේ සිට මේ දක්වා මමත් ඔන්ලයින් ක්රමයට ජීවිතය උගන්වන ගමන් (හදිසියේ මතක් වුණ විට) ඉඳහිට ඉංග්රීසි ටිකකුත් මගේ සිසු සිසුවියන්ට උගන්වන නිසා ඔවුන්ගෙ වර්ධනය වන පුදුමාකාර නිර්මාණශීලී බව, ව්යවසායකත්වය, තාක්ෂණික හැකියාවන්, නිදහස් අදහස් දැක (කලකට පසු හෝ) අප්රමාණ සතුටක් ලබමි.

හරිනම් දැන් ළමුන්, දෙමව්පියන් සහ රටවැසියන් එකතු වී “තක්කඩියන්ට” සහ “කාලකන්නින්ට” බලකළ යුත්තේ ළමයින්ට ළමා කාලය දෙන ලෙසත්, මී හරකුන් විසින් නිර්මාණය කර, මී හරකුන් හරහා ලබාදෙන, මී හරක් අධ්‍යාපනය වෙනුවට දරු දැරියනට ජීවිතය ඉගැන්වීමටත් ය. ඉතිරි ටික ළමයින් විසින් කර ගන්නවා ඇත.

දැන්වත් එසේ නොකළොත් සිදුවන්නේ කාලකණ්ණි ගුරුවරු එසේම සිටියදී තක්කඩි සිසු සිසුවියෝ සහ වාසනාවන්ත දේශපාලකයන් බිහිවීමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.