පැය හතක් බලා සිට අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ටිකට් එක කපා ගතිමි.


hospital-visitors

මුලින්ම කිවයුත්තේ මේ ලිපිය ලිව්වා කියා කිසිම වැඩක් නොවෙන බවය. මේ ලිපිය ලියනවාට වඩා ඒ වෙනුවට ඒ වෙලාවේ වෙනත් වැඩක් නැත්නම් යු ටියුබ් එකෙන් රාජිත සේනාරත්නගේ කතාවක් ඇසුවානම් හොඳය.

මම ගිය සෙනසුරාදා රෝහල්ගත වූයේ සති පහක් තිස්සේ පැවතුන උණ රෝගය නිසාය. පස් වතාවක්ම රජයේ රෝහල්වල OPD වලින් බෙහෙත් ගත්තත් සුව නොවුන නිසා මහවිලච්චියේ ග්‍රාමීය රෝහලට ඇතුළත් වුණෙමි. එහි සිටි වෛද්‍යවරිය කාරුණිකව පැවසුවේ මහවිලච්චිය රෝහලේ රුධිර පරීක්ෂණ පහසුකම් නැති නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාව යැවීමට සිදුවිය හැකි බවයි. අපෙන්ම  එකතු කරන බදු මුදලින් මෙවැනි සරල පහසුකමක්වත් සැපයීමට ග්‍රාමීය රෝහලකට පහසුකම් ලබා නොදුන්නත් මැති ඇමතිවරුන්ට (xx) අමාරුවටත් සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් සුපිරි පෞද්ගලික රෝහලට යවා ජනාධිපති අරමුදලින් බිල් ගෙවීම ගැන මමනම් මොකුත් නොකියන්නේ එතුමන්ලාට අපිට මෙන් රස්තියාදුවීමට හෝ ජනතා සේවය අනතුරට හෙළා එතුමන්ලාගේ සෞඛ්‍යයය සමග සෙල්ලම් කිරීමට බැරි බවහොඳින්ම දන්නා බැවිනි. (සෙල්ලම් කරනවානම් සෙල්ලම් කල හැක්කේ ජනතාවගේ සෞඛ්‍ය සමග අප තේරුම්ගෙන බොහෝ කල්ය.)

මහවිලච්චිය රෝහලේ වෛද්‍යවරිය පැවසූ පරිදිම තවත් උණ රෝගියකු සමග ගිලන් රථයකින් මාව අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවිණි. අනුරාධපුරයට යෑමට මගේ කිසිම කැමැත්තක් නොතිබුණේ මින් පෙර කිහිපවරක්ම මෙලෙසම අනුරාධපුරයට යැවුණත් එහිදී ලැබුණ නොසැලකිලිමත් ප්‍රතිචාර සහ ප්‍රතිකාර නිසා සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව ගෙදර යාමේ සුන්දර අත්දැකීම් තිබුණ නිසාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවකට මාව ඇතුල්කල නමුදු මට ඇඳක් හෝ ඉඳගැනීමට පුටුවක් හෝ නොතිබුණි. මටත් වඩා අපහසුවෙන් සිටි දුබල සහ  වයසක රෝගීන් බිම වාඩිවී හෝ වැතිර සිටිද්දී මට ආසනයක් බලාපොරොත්තු වීම වැරදිය. ඇවැසි නම් හඳුනන වෛද්‍යවරයකුගේ, හෙදියකගේ හෝ රෝහල් කාර්යමණ්ඩලයේ කෙනෙකුට ඇමතුමක් දී මට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබා ගැනීමට හැකියාවක් තිබුණත් එවැන්නක් කිරීමට හිත හදාගැනීමට බැරිවීම මගේ පුද්ගලික දුර්වලතාවයක් විය හැක.

සුපුරුදු පරිදි පැයකට වඩා බලාසිටිමුත් රෝහල් කාර්යමණ්ඩලයේ කිසිවකු මා වෙත පැමිණියේ නැත. (හදිසි අනතුරු වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයන් මෙසේ නොවනු ඇතැයි සිතමි.) පැයකට පමණ පසු වෛද්‍යවරයකු මා කැඳවා මගේ රෝග ස්වභාවය සඳහන් කරගනිමින් ඇවැසි පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහන් කළේය. තවත් කාරුණික රෝගියකු ඔහුත් සමග ඔහුගේ රෝහල් ඇඳ මා හා බෙදාගැනීමට ආරාධනා කළේය. මෙතැන් සිට සිදුවූ කියාවලිය විස්තර කරමින් ඔබගේ මෙන්ම මගේද කාලය නාස්ති කිරීමට නොයන්නෙමි.

සඳුදා පැමිණි විශේෂඥ වෛද්‍යවරයා මගේ පරීක්ෂණ ප්‍රතිඵල බලා මම සුව වූ බව තීරණය කර රෝහලින් බැහැර කළයුතු රෝගියකු ලෙස නම් කර මට ගෙදර යාහැකි බව කීවේය. මම නැවතත් ඔහුගෙන් විමසා එය තහවුරු කරගත්තේ ඔහු මොනවා කීවත් ඔහුගේ කණිෂ්ඨ වෛද්‍යවරුන් පිස්සු කෙළිය හැකි බව මම අත්දැකීමෙන් දන්නා නිසාය. ඔහු මගේ ඇස් පරීක්ෂණය සඳහා අක්ෂි වෛද්‍යවරයකුට යොමුකළ හැකි බව කිව්වත් මම එක හෙළාම එය ප්‍රතික්ෂේප කළේ හැකි ඉක්මනින් රෝහලෙන් පිටවී “මගේ සෞඛ්‍ය මමම බලාගත යුතු බව” මට හොඳින් වැටහී තිබුණ නිසාය.

සාමාන්‍යයෙන් “ටිකට් කැපීමේ මහා පින්කමට” රෝහල පැය දෙක තුනක් ගන්නා නිසා මම නැවතත් සුපුරුදු පරිදි පොතක් කියවමින් සිටියෙමි. නමුත් පැය 6ක් ගතවීත් මගේ “ටිකට්” නොකැපූ නිසා මම ප්‍රධාන හෙද නිලධාරියාගෙන් ඒ ගැන විමසීමි. ඔහු කිව්වේ ඒ වන විට සේවයේ නියුතු වෛද්‍යවරියන් දෙදෙනාම අලුත් නිසා වෙනදාට වඩා වැඩි වෙලාවක් යන බැවින් මගේ වාරය පැමිණෙන තෙක් වාඩිවී සිටින ලෙසයි. එහෙත් වෛද්‍යවරියන් දෙදෙනා කොපමණ අළුත් වුවත් ඔවුන් “අකුරු දන්නේනම්” පැය 6ක් යනතුරු මා රස්තියාදු නොකරන බවට මට මඳ හෝ විශ්වාසයක් තිබුණ බැවින්, මම හෙද නිලධාරිවරයාගෙන් කාරුණිකව ඇසුවේ අඩුම තරමින් මගේ “ටිකට් එක” වෛද්‍ය වරියන්ගේ මේසය මත තිබෙනවාද නැද්ද යන්නවත් මට සැකහැර දන්වන ලෙසයි.

මම හිතුවා හරියටම හරිය. වෛද්‍යවරියන් ළඟ මගේ “ටිකට් එක” නොතිබුණි. හෙද නිලධරයා එය ජයග්‍රාහී ලෙස ඔහුගේ මහා පොත් රාජයාගෙන් එළියට ගත්තේ ඔහුගේ අතපසුවීම සම්බන්ධයෙන් නිකමට හෝ සමාව අයදීමක් තියා කනගාටුව පළකිරීමක් හෝ නොකොටය. එය වෛද්යවරියන්ගේ මේසයට යැවිණි. එකිනෙකාට මීටර කිහිපයක් ඉදිරියෙන් සිටින අනෙකාගේ මේසයට “ටිකට් එක” පැය 6ක් නොගියේ ඇයි වැනි මෝඩ ප්‍රශ්න ඔබ නොඇසිය යුතුය. පැය 6ක් තිස්සේ මේසයෙන් මේසයට යන්නට පෙරුම් පුරමින් සිටි මගේ “ටිකට් එක” වෛද්‍යවරිය විසින් තවත් පැයක් පමාකර ජයග්‍රාහී පැය 7ක ප්‍රමාදයකින් පසු අවැසි රාජකාරී කර මට ගෙදර යාමට අවසර ලැබුණි. (ඒ වන විට රාත්‍රී 8.00ටත් ආසන්න වී තිබුණි.)

රජයේ රෝහල්වල ඇති සේවක හිගය අපට අවබෝධ කරගත හැකිය. ඒ නිසා ඔවුන්ට වැඩ අතපසු විය හැක. වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට, තාක්ෂණික හා කාර්මික ශිල්පීන්ට මෙන්ම සුළු සේවකයන්ටත් දරාගත නොහැකි වැඩ ප්‍රමාණයක් ඇති බව බැලූ බැල්මට පෙනේ. එහෙත් මේ කිසිම සේවක වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවකදී, උද්ඝෝෂණයකදී, වර්ජනයකදී සේවක හිඟය ගැන මේ කිසිවකු කතා කරනවා මම දැක නැත. (මා වැරදි නම් නිවැරදි කරන්න.) අලුතින් සේවකයන් බඳවා ගැනීමට ඇති විකල්ප ක්‍රම සහ සේවකයින්ගේ වෘත්තීය ශක්‍යතා දියුණු කරන අටියෙන් රජයයන් ගෙන ආ ක්‍රමවලට විරෝධය දක්වන්නේ මොවුන්මය. ඉතින් අපිත් (බදුත් ගෙවා) පැය 7ක් නොව දින 7ක් වුවත් ප්‍රමාදවී “නිදහස් වෛද්‍ය සේවයේ” ස්වර්ණමය පල විඳිමු.

(මේ ලිපියෙන් ඉතා අපහසු තත්ත්ව යටතේ බොහෝ කැපවීමෙන් සේවය කරන කිනම් මට්ටමක හෝ සේවකයකුට හෝ වෘත්තිකයකුට රිදවීම මගේ අරමුණ නොවේ.)

My earlier posts about government hospitals.

  1. Sri Lankan Government Hospitals Online

 

Advertisements