නන්දගේ කොලම – 3 – හදවත රත්තරන් ජෝති ගැයූ අර්තාපල් ප්‍රවර්ධන ගීතය


ජෝතිපාල මියගොස් දශක තුනහමාරක් කිට්ටු වී ඇතත් ඔහුගේ ජනප්‍රියත්වය බිඳකුදු අඩු වී නැති බව අවිවාදිතය. මා උගන්වන නව යොවුන් වයසේ ගැටයන් ගැටිස්සියන් පමණක් නොව ප්‍රාථමික පංතිවල පැංචන් පැංචියන්ද ඉංග්‍රීසි පාඩම් අතර තුරදී මම ජෝතිපාලගේ ගීතයක් Zoom හරහා විකාශය කළ විට ඊළඟ දිනයෙත් “ඒ මාමාගේ සිංදුවක්ම” ඉල්ලා පංති වර්ජනය කරති.

හදවත රත්තරන් ජෝති

ජෝති ජීවත්ව සිටි කාලයේදී ඔහු හින්දි ගී තනුවලට තේරුමක් නැති ගී ගයන පීචං ගායකයකු බවට “හෙළ සංගීත කෙතේ පහළ වූ ගාන්ධර්වයන්” විසින් අවලාද නගනු ලැබිණි. ජෝති ඒවා අධෝ වාතයක් තරම්වත් මායිම් නොකොට මියයන තුරුම මිහිරි ගීම ගැයීය.

හින්දි ගී තනු වලට “සිරියා මේ සාරා නැගේවි හද මෝරා” වැනි මෙලෝ තේරුමක් නැති එහෙත් නොනටා සිටිය නොහැකි මනහර ගීත මෙන්ම පුදුමාකාර ගායන ප්‍රතිභාවක් පෙන්වූ (මා දන්නා පරිදි) original තනුවලට නිර්මාණය කළ “රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ,” “මා ප්‍රාර්ථනා ආශාවෝ,” “පාට පොදක් තිලකෙ ලා” වැනි අනර්ඝ ගීතද ගැයීය.

ජෝතිපාලගේ ගායන ප්‍රතිභාවට ආසන්නයේ හෝ තැබිය හැකි අනෙක් ගායකයෙක් ලෝකයේ කොහේ හෝ සිටියේ නම් ඒ මෑතක දී කොරෝනා විසින් අපෙන් උදුරාගත් අසහාය ඉන්දීය ගායක S. P. බාලසුබ්‍රමානියම් පමණි.

ජෝති ආදර ගීත, විරහ ගීත, දේශාභිමානී ගීත, විකට ගීත මෙන්ම බොදු බැති ගීතද කොතරම් ගැයුවත් ඔහු කෘෂිකාර්මික ගීතද ගයා ඇතැයි කීවොත් ඔබ පුදුම විය හැක.

ඇත්තෙන්ම ජෝතිගේ ගීතවල එකදු වචනයක් වත් නොතේරුණත් ජෝතිට වැඩියෙන්ම ආදරය කරන්නේ නුවර එළියේ, බදුල්ලේ සහ යාපනයේ අර්තාපල් ගොවියන්‍ ය. මා දීර්ඝ කාලයක් මේ දිස්ත්‍රික්ක තුනේම ජීවත් වී ඇති නිසා අර්තාපල් ගොවියන් ජෝතිට ඇති ජාති, අගම් වලට එහා ගිය මේ අසීමිත ආදරය හොඳින්ම දනිමි.

ශ්‍රී ලාංකික අර්තාපල්

ඒ කොන්දේසි විරහිත ආදරය (unconditional love) ඇතිවී ඇත්තේ අර්තාපල් පරිභෝජනය ප්‍රවර්ධනය කරමින් Rekha O Rekha හින්දි ගීතයේ තනුවට ජෝති ගැයූ පහත ගීතය නිසාය.

නන්දගේ කොලම – 2 – අපි මෙහෙමයි දත් මදින්නෙ, දත් මදින්නෙ, දත් මදින්නෙ … … …


Image courtesy http://www.allure.com

අපේ මල්ලී විශ්වවිද්‍යාලයට ගිහින් අවුරුදු හතරකට කිට්ටු වුවත් නගරවලට ගොස් නිවාඩුවට ගමට ආපසු පැමිණෙන අනෙක් තරුණ තරුණියන් මෙන් ඉංග්‍රීසි කලවම් කර සිංහල කතා නොකිරීම සම්බන්ධයෙන් අම්මා විස්සෝප වූයේ මෙසේය.

“ළමයි නමයක් හැදුවා. ඔක්කොටම ඉගැන්නුවා. කැම්පස් ගියේ එකයි. ඒත් මේකාට එක ඉංග්‍රීසි කෑල්ලක් දාලා කතා කරන්න බැරි හැටි! … ආමි එකට ගිය කොල්ලෝ, ගාමන්ට් ගිය කෙල්ලෝ ගමට ආවම ඉංග්‍රීසි කෑලි දාන අපූරුව!”

නිහඬවම මේ දෝස්මුරය අසා සිටි මල්ලී ටික වෙලාවකින් දත් බුරුසුවට දත්බෙහෙත් ටිකක් දාගෙන විරිත්තා අම්මාට කිව්වේ,
“අම්මා, මම දත් ටික iron කරගෙන එන්නම්” කියාය.

ඒ ඔහු දත්ටික මැදගෙන (iron) එන්නම් කියා ඉංග්‍රීසි කෑල්ලක් දමා කියූ හැටිය.

මහාචාර්යය සුනිල් ආරියරත්න සහ නිකංම නිකං මම


මහාචාර්යය සුනිල් ආරියරත්න සහ මා අතර අඩුම තරමින් එක අසමානකමක් හා එක සමානකමක් හෝ ඇත.

අසමානකමනම් ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබ ශාස්ත්‍රීය පර්යේෂණවල නියැලෙමින් ඉතා විදග්ධ පර්යේෂණ ග්‍රන්ථ රචනාකිරීම සහ මම අවිධිමත් අධ්‍යාපනයක් ලබා ඉතා සුළු පරාසයක කියවමින් එකතුකරගත් සීමිත දැනුමෙන් වැදගැම්මකට නැති විකාර ලියැවිලි ලිවීමයි.

අප දෙදෙනා අතර ඇති සමානකමනම් ඔහු චිත්‍රපට 15කටත් වඩා අධ්‍යක්ෂණය කොටත් ඔහුට චිත්‍රපට හදන්න බැරි බව තෙරුම්ගෙන නැතිවීම සහ මම දෙවරක්ම – 1994දී සහ 2017දී – (සීමිත) නරඹන්නන් පිරිසක් ඉදිරිපිට ගී ගයාත් මට ගී ගයන්නටනොහැකි බව තෙරුම්ගෙන නැතිවීමයි. අන්තිමට මට එය තෙරුණේ මගේ පුතන්ඩියා, අභිලාෂ් කොලුවා “අප්පච්චි සිංදු කියනකොට ගිරිපුර වැසියෝ කාටූන් එකෙ බොරළුගොඩ (Fred Flinstone of The Flinstones cartoon) සිංදු කියනවා වගේ” කිව්වායින් පසුවය. වාසනාවට මට පුතෙක් සිටී.

මහාචාර්යතුමා අරින්නේ නැත. ඔහු දිගින් දිගටම කසිකබල් චිත්‍රපට හදයි. මමත් අරින්නේ නැත්තෙමි. නාන කාමරයේදී හෝ දිගින් දිගටම කසිකබල් ගී ගයන්නෙමි.

ගී ගයන බොරළුගොඩ | Fred Flintstone singing
මගේ ගායන දිවිය නිමකළ මගේ පුංචි පුතු අභිලාෂ්
Abhilash Wanninayaka
අභිලාෂ් වන්නිනායක| Abhilash Wanninayaka