මහවිලච්චියේ සූරියදමන පාර “රොබින් හුඩ්ගේ පාර”


මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya

මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya

මේ දැනට අලුත්වැඩියා කරගෙන යන මහවිලච්චියේ “හරමානිස් හන්දියේ සිට හැලඹෑව” දක්වා දිවෙන පාර. මේ පාරට සූරියදමන පාර කියලත් කියනවා. (හැබැයි අපේ සුමේධා අක්කා – ලොකු අයියාගේ නෝනා – නම් මේ පාරට කිව්වේ “රොබින් හුඩ්ගේ පාර” කියලා. ඒකට හේතුව තමයි කලකට පෙර මේ පාර සර්වුඩ් කැලයේ රොබින් හුඩ්ලා ගිය පාර වගේම කැලෑව මැදින් වැටීතිබුණ පුංචි අඩිපාරක් වීම නිසා.)

මේ පාර නම් ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ හදිසි සංවර්ධන ව්‍යාපෘතියක් නෙවෙයි. ඇත්තෙන්ම කිව්වොත් පසුගිය රජය සැලසුම් කරලා තිබුණේ මේ පාර 2015 පෙබරවාරි මාසයේ වැඩ අරඹන්න. ඒත් එම වසරේ හදිසි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනාට පසු මේ පාර අලුත්වැඩියාකිරීම අළුත් ආණ්ඩුව විසින් අතහැර දැමූ බවයි අපි දැනගත්තේ. ඒත් මීට අවුරුද්දකට විතර පෙර නව රජයේ මහාමාර්ග අමාත්‍යවරයා මේ පාර ආරම්භ කිරීමට මුල්ගල තැබුවා. ඒ උත්සවයේදී මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ කතාවේදී විශේෂයෙන් සඳහන් කළා පාර සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ ගෞරවයෙන් කොටසක් මහවිලච්චියේ අනුර බණ්ඩාර අයියාටත් යායුතුයි කියලා. කවුරුත් එයාට ආදරේට කියන්නේ “අඹුඩ අනුර අයියා” කියලා. ඒකට හේතුව තමා එයා ගමේ පොදු අවශ්‍යතාවයන් රජයන් මගහරිනවානම් අඹුඩයකින් පමණක් සැරසී අදාළ අකටයුත්ත වෙන තැනට ගිහින් උපවාස කිරීම. පාර හදන්න රජයට බලකරමින් අනුර අයියා කිහිපවතාවක්ම උද්ඝෝෂණය කළා. වරක් හිරේ ලගින්නත් වුණා ඒ නිසාම.

කොහොමහරි අළුත් ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා මුල්ගල තිබ්බත් (නැකත් නැති නිසාදෝ) පාරේ වැඩ ආරම්භ කිරීමට වසරකටත් වඩා කල්ගිහින් මේ මෑතකදී තමයි අලුත්වැඩියාව පටන්ගත්තේ. මේ ඡායාරූප කිහිපය ගත්තේ පසුගිය 14 වැනිදා.

මේ පාරෙන් මහවිලච්චියේ සිට අපේ අම්මගේ ගමට (අඹගහවැව) කිලෝමීටර 35කුත් අප්පච්චිගේ ගමට (රනෝරාව) කිලෝමීටර 30කකුත් විතර තියෙනවා. ඔබ විශ්වාස කරනවද අවුරුදු 10කටත් අඩු වයසකදී මම (සහ මගේ සහෝදර සහෝදරියන්) අප්පච්චිත් එක්ක මේ සම්පූර්ණ දුර බොහෝවරක් වරක් පයින් ගිහිල්ලා තියෙනවා කිව්වම? ඒ කාලේ කලාතුරකින් වගේ හමුවුන ගොන් කරත්තයකින් සමහර විට ඉඩ තිබුණොත් පොඩි දුරක් වගේ ගිහිල්ලා දැම්මත් අපි වැඩියෙන්ම ගියේ පයින්. ඒක වෙහෙසකාරී ගමනක් වුවත් පාර දිගට හමුවෙන ලස්සන පුංචි වතුර වළවළුත්, කැලෑවත්, කරඹ, දිවුල්, පලු, වීර වගේ පළතුරුත්, පාර හරහා පනින නරි, මුගටි, වගේ සතුනුත්, සමහර විට වල් අලියෙක් දෙන්නෙකුත් දකින්න තියෙන නිසා ඉස්කෝලේ නිවාඩු දෙනකල් අපි බලන් සිටියේ අම්මාගේ හෝ අප්පච්චිගේ ගමේ ගිහින් කිරි අම්මලා හදන රස කෑම කන්නත්, කිරි අත්තලාගේ කතන්දර අහන්නත් වගේම නෑදෑයින්ගේ ළමයිනුත් එක්ක මාසයක් පුරාම සෙල්ලම් කරන්නත්. දැන් කාලේ වගේ ටුයිෂන් පන්ති නොතිබුණ නිසා නිවාඩුවට පහුවෙනිදා ගමට ගියාම අපහු එන්නේ අළුත් පාසල් වාරය පටන් ගන්නට ඉස්සරලා දවසේ. නිවාඩු මාසය පුරාම පොතක් පතක් අල්ලන්නේවත් නැතුව උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කළත් අපිටවත්, දෙමව්පියන්ටවත්, ගුරුවරුන්ටවත් ඒක කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ.

සුන්දර මතකයන් ගොඩක් තියෙන සූරියදමන පාර හැදෙන එක ගැන සන්තෝෂ වුණත් “රොබින් හුඩ්ගේ පාර” අතුරුදහන් වෙන එක ගැනනම් ටිකක් දුකයි.

Advertisements