කප්රුක ඔන්ලයින් භාණ්ඩ වෙළඳාම සහ තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීම


මම මේ විඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා. බොහෝ දෙනෙක් සමාජ ජාලාවල කප්රුක ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. අපි හැමෝම කැමතියි අපිට කොච්චර වියදමක් ගියත් අපි “පොෂ්” කියලා පෙන්නන්න. අනික ට්‍රැෆික් අස්සේ හිර වෙවී ගිහින් බඩු ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙනවනම් පහසුයි. ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ් වලින් ගෙවන එකත් පහසුව වගේම පොෂ් වැඩක්.

සුපර් මාකට් වලදී මිල හෙට්ටු නොකරන අපි සියඹලාණ්ඩුව පහුකරගෙන යද්දි ඉතාම සුළු ලාභයක් තියාගෙන පාර අයිනේ ගිනි අව්වේ ඉඳගෙන මුරුංගා මිටියක්, දෙහි ගෙඩි ටිකක්, දිවුල් ගෙඩි ටිකක් විකුණන පුංචි ළමයෙක්ගෙන්, නැත්තං මාකට් එකේ පලා මිටි ටිකක්, පොලොස් ගැටයක් දෙකක් විකුණන ආච්චි කෙනෙක්ගෙන් තක්කඩි විදිහට හෙට්ටු කර කර තුට්ටු දෙකට බඩු ගන්නෙත් මේ “පොෂ්කරනයේම” තවත් දිගුවක් ලෙසයි.

කප්රුක පාරිභෝගික භාණ්ඩ ඔන්ලයින් මිලදී ගැනීමේ තාක්ෂණය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන්න එක ඇත්ත. ඔවුන් මේ මට්ටමට දියුණු වෙන්න බොහෝ කැපකිරීම් කරන්න ඇති. ඒත් ඇයි මෙහෙම අසාධාරණ විදිහට මිල විකෘති කරන්නේ? ඔවුන්ගේ බොළඳ තර්ක බලන්න. ඩොලර් වල රුපියල්වල වෙනස ගැන ගෙනෙන මෝඩ තර්ක බලන්න.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉන්නේ රජයේ නිලධාරින් නිසාත්, ඔවුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය නොලද අය විය හැකි නිසාත් කප්රුක නිර්මාතෘ සහ ඔහුගේ සහායකයා? ඉංග්‍රීසි අනවශ්‍ය ලෙස භාවිතාකර අනවශ්‍ය වාසියක් ගන්න උත්සාහ කරන හැටි බලන්න. අධිකාරියේ ප්‍රධාන නිලධාරියා මෙන් පෙනෙන කෙනා සිංහල හරියට කතා කල නොහැකි දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු බව පෙනෙනවා. (සමහරවිට මම වැරදි ඇති.) ඒ වගේම ඔහුට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබෙන බවත් පෙනෙනවා. එහෙත් ඔහු හැමවිටම ඔහුට හැකි උපරිම ලෙස පැහැදිලි සිංහලෙන් කතා කරනවා. (අසාධාරණ වාසියක් ගැනීම සඳහා අප බොහෝ දෙනෙක් ඉංග්‍රීසි අනිසි ලෙස භාවිතා කරන බව මමත් අවංකවම පිළිගන්නවා. මමත් එසේ කර තිබෙනවා.) වැඩ වැරදීගෙන එන බව දැනුණාම කප්රුක සහායකයාට අන්තිමට නිවැරදි සිංහල මතක් වෙන හැටි බලන්න.

අධිකාරියේ නිලධාරීන් ඉතාම විනයගරුක ලෙස හැසිරෙනවා. ඔවුන් කියන්නේ ලාභයක්, ප්‍රවාහන ගාස්තුවක් අයකර ගැනීම ප්‍රශ්නයක් නොවන බව. (මම ඊට එකතු කරනවා අවශ්‍යනම් කප්රුක සන්නාමයට ගිනිකන වැටුණ පාරිභෝගිකයනුත් සිටින බව පෙනෙන නිසා ඊටත් කිසියම් අගයක් එකතු කරගත්තාට කමක් නෑ.) නමුත් මේ බොහොමයක් භාණ්ඩ වල මිල ඉතාම අසාධාරණ ලෙස වැඩි බව පැහැදිලිව පෙනෙන දෙයක්. විශේෂයෙන්ම රටට මෑත ඉතිහාසයේ විශාලතම අභියෝගය පැමිණ ඇති වෙලාවක. අනිත් එක තමයි මොවුන් මේ අසාධාරණ මිල ගණන් කොපමණ කලක් තිස්සේ අය කළාද කියන එක සෙවීම සහ එසේ කර ඇත්නම් හරියාකාර ගිණුම් පරීක්ෂණයකින් ඒවා නැවත් අයකරගෙන අඩුම තරමින් කොරෝනා මැඩලීමේ ක්‍රියාවලියට හෝ යෙදවීම.

කප්රුක වසා දැමිය යුතු නෑ. නියාමනය කිරීම සහ වැරදි කර ඇත්නම් දඬුවම් දීම සහ නැවත ඔවුන් හෝ වෙනත් අය අතින් මෙවැනි දෑ කෙරෙන්නට තියෙන අවස්ථා අවම කිරීම හොඳටම ඇති.