බඹා කෙටූ හැටි – කරුණාසේන ජයලත්


 බඹා කෙටූ හැටි - කරුණාසේන ජයලත්

බඹා කෙටූ හැටි – කරුණාසේන ජයලත්

කරුණාසේන ජයලත් බඹා කෙටූ හැටි ලිව්වේ ඔහුගේ වඩා ජනප්‍රිය “ගොළු හදවත” නව කථාවේ දිගුවක් ලෙසය. ගොළු හදවත තරම්ම නැතත් මෙයද පාඨකයන් අතර සෑහෙන ජනප්‍රියත්වයක් ඉසුලුවේය.

බඹා කෙටූ හැටි කථාවෙන් විස්තර කෙරෙනුයේ අහිමි ප්‍රේමයෙන් සුගත් කොතරම් දුක් විඳිනවාද යන්නය. උසස් අධ්‍යාපනයද අතහැර බීමතින් රස්තියාදුවට වැටෙන ඔහු මෙවන් තත්ත්වයනට මුහුණදෙන බොහෝ තරුණයන් මෙන්ම තමන්ගේ සියලුදේ අහිමි කරගන්නේ අවංක ප්‍රථම ප්‍රේමය අහිමිවීම නිසාය. දම්මි සුගත් ගැන දුක් වුවද ඇගේ ජීවිතය අවුල්කර නොගනී. හරියටම සමාජයේ ජීවත්වන බොහෝ ගැහැනුන් මෙනි. ඔවුන් ඔවුන්ගේ ජීවිතය කඩා වැටෙන්නට නොදී රැක ගැනීමට දක්ෂය. එය වැරද්දක් නොවේ. විය යුත්තේද එයයි.

කෙසේ හෝ සුගත්ගේ ජීවිතය නැවත ගොඩ දමන්නේ ඔහුගේ සොහොයුරා සහ ඔහුගේ බිරිඳයි. මේ සඳහා ඔවුන් නොගන්නා උත්සාහයක් නැත.

අවසානයේදී සුගත්ට ගැලපෙන සහකාරියක් හමුවේ. එයින් ඔහුගේ මුළු ජීවිතයම එළිය වූ බවක් අදහස් නොකෙරේ. දම්මි ගැන ඇති ස්නේහය ඔහුගෙන් කිසි දිනක නැති නොවේ. එය ඉතා ඉක්මනින් නැතිවී යන්නේ සුගත් ඇත්තටම දම්මිව කසාද බැන්දානම් පමණි.

ගොළු හදවත – කරුණාසේන ජයලත්


ගොළු හදවත - කරුණාසේන ජයලත්

ගොළු හදවත – කරුණාසේන ජයලත්

මට ගොළු හදවත කියවන්න ලැබුණේ හිරිමල් නව යොවුන් වයසේදීය. ඒ වනවිට ආදරය රස විඳ නොතිබුණත් ගොළු හදවත පොතෙන් ආදරය උපරිමය රස විඳීමි. පිරිසිදු නව යොවුන් ප්‍රේමයේ අසිරිය ගැන මේ තරම් හැඟීම් බර කතාවක් සිංහලෙන් තබා වෙනත් භාෂාවකින්වත් ලියා ඇද්දැයි මට නම් සැක සහිතය. ගොළු හදවත ඒ තරමටම නිර්ව්‍යාජය. යොවුන් හදවත් දෙකක් ප්‍රේමයෙන් බැඳුණ පසු ඇතිවන හැඟීම්වල සුන්දර වෙනසත්, බලාපොරොත්තු කඩවූ පසු ඇතිවන විඳිය නොහැකි දුකත් රචකයා මැනවින් පාඨකයා තුළ චිත්‍රණය කරයි. ගොළු හදවත කියවා කඳුළු නොනැගුණු යොවුන් දෑසක් ඇත්නම් ඒ රොබෝවරයකුගේ දෑසක්ම වන්නේය. මේ තරම් පාඨකයාට සමීප වීමටනම් මෙය නවකතාකරුගේ ජීවන අත්දැකීමක්ම බව බොහෝ පාඨකයන්ගේ මතයයි.

මෙවන් සුන්දර ගද්‍ය කාව්‍යක් බොළඳ පෙම් කතා යැයි එකල සිටි පණ්ඩිතයන් විසින් බැහැර කිරීම තේරුම් ගත හැකිය. මෙය බොහෝ ජනප්‍රිය කලා අංගවලට පොදු ධර්මතාවයකි. එය සර්වකාලීන අත් වැරැද්දකි.

මගේ පුද්ගලික මතයනම් ජයලතුන් “බඹා කෙටූ හැටි” නොලියා සිටියානම් වඩා හොඳ බවය. ගොළු හදවත නියම තැනින් ආරම්භ වී නියම තැනින් අවසාන විය. එයට පසු වදන් ඇවැසි නැත. ගොළු හදවතේ නියම සුන්දරත්වය රැඳෙන්නේ එහි ඇති අතිශයින්ම ප්‍රායෝගික අවසානයත් සමගය. රොමියෝ ජුලියට් නාට්‍යයේ දෙවන කොටසක් පැමිණියේනම් හානිය සිදුවන්නේ පළමු නාට්‍යටය.