මෙය මම චිත්‍රකතා ගැන ලියන දෙවන අවස්ථාවයි. එමෙන්ම මෙය මම සිංහලින් මගේ බ්ලොග් අඩවියට ලියන පළමු අවශ්ථාවයි. හදිසියේම මෙය ලියන්නට හිතුනේ “බට්ටි” කතාව සහ මට මතක හැටියට “කොරටුවෙ ගෙදර” කතාව නිර්මාණය කල අති දක්ෂ චිත්‍රකතාකරුවකුවූ වික්‍රමගේ අභාවය නිසාය.
වික්‍රමගේ බට්ටි ඉතා රසවත් ලෙස ගලාගිය නිර්මාණයකි. වලව්වේ හාමුලා දෙදෙනාගේ එකිනෙකාට විරුද්ධ චරිත ස්වභාවයන්, කලූගේ දඩබ්බරකම්, කලූගේ පෙම්වතියගේ අව්‍යාජ ප්‍රේමය සහ බට්ටිගෙ අහිංසකකම මනරම් ලෙස වික්‍රමගේ තෙලිතුඩින් චිත්‍රණය විය.
අවංකව කියනවානම් මම මුලින්ම වික්‍රමගේ චිත්‍රවලට එතරම් කැමැත්තක් නොදැක්වූවෙක්මි. ඒ ඔහුගේ චිත්‍ර අනෙක් බොහො කතාවල මෙන් පරිපූර්ණ නොවූ නිසාය. වික්‍රම නිදහසේ ඔහුගේ තෙලිතුඩ හසුරවයි. සමහර චිත්‍රවල මූන ඇදය. එහෙත් මම වයසින් මුහුකුරායත්ම එය වික්‍රමගේ අනන්‍යතාවය බව තේරුම් ගත්තෙමි. කතාවේ වචනවල ඇති බර සහ සංවේදීතාවය තේරුම් ගත්තේ තවත් පසු කාලයකය.
මෑතකදී බට්ටි තුන්වන පන්තියේ ටෙලිනාට්‍යකරුවකු විසින් චොරකර දමන ලදි. (සරත්මධුගේ “ඉතිං ඊට පස්සේ” කතාවට සිදුවූයේද එම සන්තෑසියමය.) ඉතා පහසුවෙන් 70-80 දශකවල ඇඳුම් විලාසිතා, කතා විලාශයන්, නිවාස සහ වාහන ආදිය ප්‍රතිනිර්මාණය කරමින් කළ හැකිව තිබූ මෙම කතා ඉතා පහත් රසයක් ජනිත කිරීම සඳහා ටෙලිනාට්‍යකරුවන් විසින් නින්දිත ලෙස භක්ෂණය කර දමන ලදි. වික්‍රමලාටද ඒවාට එරෙහි විය නොහැකි වූයේ පවතින වෙලඳපළ ආර්ථික ක්‍රමය නිසාය.
අපගේ යොවුන්විය සුන්දරකළ වික්‍රම, ඔබට අපගේ උපහාරය.