රන්ජන් රාමනායක වැනි මෙලෝ රහක් නැති නළුවෙක් ගැන මම කිසිදිනක නොලියා ඉන්නට තිබුණි. නමුත් ඊයේ රාත්‍රියේ රන්ජන්ට එරෙහිව සිදුවූ පිළිකුල් සහගත ක්‍රියාවලිය නිසා රන්ජන් නම් නළුවා කෙසේ වෙතත් නළුකම භාවිතාකරමින් සබරගමු පළාත් සභාවේ මහ ඇමතිකමට තරගකර, පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ජනතා ඡන්දයෙන් තේරීපත්වී, පසුව මහමැතිවරණයට තරගකොට, පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී, පසුව නියෝජ්‍ය ඇමතිවරයකු සහ ඇමතිවරයකු ලෙසත් කටයුතු කොට ඔහු රිදී තිරයේ රඟපෑ “අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් වදින වීරයාගේ” චරිතයම දේශපාලනයේදීත් හැකිපමණින් සැබෑලෙසම රඟපාමින් සිට, බොහෝදුරට ඉන් එහාට නොයා රිදී තිරයෙන් මෙන්ම දේශපාලන රඟමඬළෙන්ද බැස යාමට ඉඩ තිබූ රන්ජන් රාමනායක නම් දේශපාලකයාට නීරස හොලිවුඩ් නළුවකු ලෙස දේශපාලනයට පැමිණ අමෙරිකානු ජනපති ලෙස දෙවරක්ම තේරී පත්වූ රොනල්ඩ් රේගන්ට මෙන්ම අනාගතයේ දිනක ශ්‍රී ලංකාවේ ජනපති ලෙසට පවා පත්විය හැකි “ස්වීප් ටිකට් එකක්” ඊයේ රාත්‍රියේ ඇදිණි. ඒ ඔහුව අසාධාරණ ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔහු ඒ වෙලාවේ සිනාමුසුව එයට මුහුණදුන් ආකාරය නිසාය. (මට සිහිවන්නේ “මමයි රජා” චිත්‍රපටයේදී විජය කුමාරණතුංගට මාංචු දැමූවිට ඔහු එයට මුහුණදුන් ආකාරයයි.) මෙහිදී රන්ජන් දමාගත් නොව, ඔහුට ඉබේම වැටුණ ලකුණු ප්‍රමාණය අති විශාලය. රන්ජන්ට ඇදුණේ ස්වීප් එකක් යැයි මා කියන්නේ ඒ නිසාය.

රන්ජන්ගේ අධ්‍යාපන මට්ටමට සහ බුද්ධි සීමාව තුළ ඔහු සාම්ප්‍රදායක දේශපාලකයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේය. ඔහු පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ අකටයුතුකම් හෙළිකළ අතරම ඉතාම මෑතකදී නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඉතා පැහැදීමකින් කතා කළේ අවංකවම යැයි සිතේ. අනිත් අතට රන්ජන් දේශපාලකයකු ලෙස මා දන්නා තරමින්නම් කිසිදු වංචාවකට දූෂණයකට මෙතෙක් නම ගෑවී නැත.
නමුත් ඊයේ රාත්‍රියේ සිදුවූ නරුම ක්‍රියාවලිය රාජපක්ෂ රජය ඉතා අසීරුවෙන් දොවාගත් කිරි කළයට ගොම තැම්බක්ම හලාගැනීමකි. මෙයට කවුරු මුල්වූයේදැයි කිව නොහැක. බොහෝවිට කුප්‍රකට 2018 දින 52 “ඔක්තෝබර් විප්ලවය” 🙂 පසුපස සිටි විමල්, උදය, බන්දුල සහ අසූචි බාල්දියක් වන විජේදාස වැන්නන් මේ තකතීරු වැඩේට උපදෙස් දුන්නා විය හැකිය. කවුරු උපදෙස් දුන්නත් වැරැද්ද ඒවා පිළිපදින අයගේය.

මොහොතකට රන්ජන් වැරදියැයි සිතමු. විශේෂයෙන්ම නීත්‍යානුකූල ගිනි අවියක් බලපත්‍රය කල් ඉකුත්වීමට පෙර අලුත්කරගත යුතුය. අසභ්‍ය වීඩියෝ තැටි ඔහු සතුව තිබීයැයි කියවේ. ඒවා ළමා ලිංගික අපචාර වීඩියෝ හෝ බලහත්කාරයෙන් වීඩියෝකල දර්ශන නොවන්නේනම් වැඩිහිටියකුවන රන්ජන් ඒවාගෙන් මොන මගුලක් කළත් පොලිසියට හෝ රජයට අමාරුවක් තිබිය නොහැක.
යළිත් වතාවක් අපි මොහොතකට අපි රන්ජන් වැරදියැයි සිතමු. චම්පික හා රාජිතද වැරදි යයි සිතමු. වැරදිකළ අයට නීත්‍යානුකූලව දඬුවම් ලැබිය යුතුය. එහි කිසිම විවාදයක් නැත. එසේනම් දේශපාලනයේ නියැලී සිටින දෙ(තුන්) පැත්තේම වංචා, දූෂණ චෝදනා එල්ලවී ඇති තව කොපමණ නම් අය සිටීද? පක්ෂ විපක්ෂබව නොසලකා මේ සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක විය යුතුය. එම කටයුතු මහමැතිවරණයට පෙරම ආරම්භ කෙරෙන්නේ නම් චෝදනා ලක්වූවන්ට ඔවුන් නියෝජනය කරන කිසිදු පක්ෂයකින් නාමයෝජනා නොදී සිටිය හැක. නව ජනපතිවරයාට වංචාව දූෂණය තුරන් කිරීමට සැබෑ වුවමනාවක් ඇත්තේ නම් වහාම කළයුත්තේ එයයි. එවිට නැවතත් මේ තක්කඩි ටික පාරිලිමේන්තුවට රිංගන එක නැවැත්වීම ජනතාව බලාගනු ඇත.