ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු ආසන වෙන්දේසි කරමු.


මම දේශපාලනය ගැන යම් හෝ අදහසක් ඇතිකරගත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිටය. මා ඉපදුණේ 1972දී නිසාත් ජයවර්ධන මහතා අගමැති වූයේ 1977 නිසාත්, මහවිලච්චියේ “ගිනිපෙට්ටි පාලමේ” අදටත් දැකිය හැකි ජනතා විමුක්ති පෙරමුණෙන් 1982 ජනාධිපතිවරණ කාලයේ නොමැකෙන අයුරින් ලියන ලද බව සැළකෙන “මිනීමරු ජේ. ආර්. පන්නමු” යන වැකියත් නිසාත්, ගුවන් විදුලියෙන් සහ (පසු කලෙක රූපවාහිනියෙන්) නිරතුරුවම ඇසුණේ, දැක්කේ ජේ. ආර්. ගේ කතා සහ රුව නිසාත් ඔහු ගැන මට ඇත්තේ නොමැකෙන මතකයකි. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ධුරයේ සිටි නිසා මගේ හෝඩියේ පන්තියේ සිට අඹ යහළුවා වූ නවරත්න බණ්ඩා එකල හිතුවේ ජේ. ආර්. යනු පුද්ගලයෙක් නොව තනතුරක් බවය. 1982 ජනාධිපතිවරණය ආසන්නයේ ඔහු මගෙන් ඇහුවේ මේ සැරේ “ජේ. ආර්. කම” කාට යනු ඇතිද යන්නයි.

1982 සිට මේ වනතුරු විවිධ මැතිවරණ රාශියක් පැවැත්වුණ අයුරු මට හොඳින් මතකය. ජේ. ආර්. විසින් ඇතිකළ තක්කඩි පාලනය සහ දූෂිත මැතිවරණ ගැන මට හොඳින් මතකය. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ 1988 ජනාධිපතිවරණය කැරලිකාරී ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාවට තහනම් කළ අයුරු සහ මගේ උසස් පෙළ පන්තියේ මිතුරකු වූ කහටගස්දිගිලියේ හේමන්ත ඡන්ද බලයවත් නැති කොලුගැටයකුව සිටියදී, ජනාධිපත්වරණය දින වෙනත් ගමනක් යනවිට “දේශප්‍රේමී ජනතා පෙරමුණ” විසින් පනවා තිබූ “මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන දස දෙනාට වෙඩි තියනවා” යන මිනීමරු නීතිය නිසා වැදුණ වෙඩි පහරකින් අදටත් කකුලක් කොර ගහමින් යන හැටිද මතකය. අනුරාධපුරයේ සිටි යූ. එන්. පී. යේ තක්කඩි දේශපාලකයන් විසින් මැතිවරණ දිනවලදී මුදාහල භීෂණය නිසා කොතරම් මිනිසුන් වෙඩි පහරකා මිය ගියාද, තුවාල ලැබුවද යන සංඛ්‍යාලේඛන කොතැනක හෝ වාර්තාකර තිබේදැයි මම නොදනිමි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අකල් මරණයත් සමග පිං ජනාධිපතිකමක් ලැබුණ ඩී. බී. විජේතුංගගේ කාලයේදී බැරිම තැන යූ. එන්. පී මදකිපුණු අලියාට අන්තිමට චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරියේ දණනමන්නට සිදුවිය. “නෙළුම් කුමාරිය” සහ සාමයේ සංකේතය වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය වූ පසු වැඩි කලක් නොයාම පැවැත්වුණ කුප්‍රකට වයඹ මැතිවරණය නින්දිත ලෙස මහ දවල් කොල්ලකෑ හැටි ඔබට අමතක නැති යැයි සිතමි.

2005 දී දේශපාලනිකව ඉතාම අවාසි සහගතව තත්වයක සිටි එවකට අගමැති මහින්ද රාජපක්ෂ (කියන පරිදි කොටි ත්‍රස්තවාදීන් සමග ගිවිසුමක් ගසා හෝ) ඉතා සුළු බහිතරයකින් ජනාධිපති වූ ආකාරයත්, ඉතාම නිර්භීත ලෙස සහ මෝඩ ලෙස (වෙනම පැහැදිලි කළ යුතුය.) යුද්ධය දිනා ටික කලකින්ම ජනතාවට එපා වූ අයුරුත් ඔබට මතකය. සිය සෙල්ලක්කාර පුතුන්ගේ තුන් මෝඩ වික්‍රමයන් (adventures of the three idiots) සහ අඩුම තරමින් එක සහෝදරයකුගේ හෝ (කළ බව කියන) රාජ්‍ය දේපල කොල්ලකෑම සහ අසීමිත කොමිස් ගැසීම් නිසා වෙලාවටත් කලින් ගෙදර යාමට රාජපක්ෂ මහතාට සිදුවිණි. අන්තිමට දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සියල්ලම තමන්ට එදිරිව සිටියදී (against all odds) ඉතාමත් අපහසු ජනාධිපතිවරණයකින් ජයගෙන දැනට එම පදවිය දරයි.

මේ කෙටි ඉතිහාසය ඔබට මතක් කළේ වෙන කිසිවක නිසා නොව මගේ පහත දැක්වෙන කෙටි ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් ලෙස ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ භයානක කම ගැන මට තාර්කික උපදෙස් දුන් හිතවතියකගේ ප්‍රතිචාරයට මම ලියන්නට උත්සහ කළ පිළිතුර දුරදිග යාම නිසා වෙනම බ්ලොග් ලිපියක් පළකළ යුතුයැයි සිතුණ නිසාය. මෙන්න ඒ මගේ ෆේස්බුක් සටහන.

“මහවිලච්චියේ ප්‍රාදේශීය සභා ඡන්ද උණුසුම.

 

මේ මහවිලච්චියේ තාවකාලික දේශපාලන පක්ෂ කාර්යාල දෙකක්. තියෙන්නේ බෝගස් හන්දියේ. එකිනෙකට මුහුණලා තිබුණත් තවමනම් “අං පටලවාගෙන” නැහැ. (අපහාසයට ලියූවක් නොවේ “lock horns” යන ඉංග්‍රීසි යෙදුමේ සෘජු පරිවර්තනයකි. | no offense meant. Just the direct translation of the term “lock horns.”)

මේ පින්තූරවල ඉන්නා කිසිම කෙනෙක් මා හඳුනන්නේ නැත. හඳුනාගත්තත් ඔවුන්ට මගෙන් වැඩක් නැත. මම තවදුරටත් මහවිලච්චියේ ඡන්ද දායකයකු නොවෙමි. මම මහවිලච්චියේ ඡන්දදායකයකු වුවත් මම ඡන්දය පාවිච්චි නොකරමි. මා ඡන්දය පාවිච්චි කළ එකම අවස්ථාව 2005 ජනාධිපතිවරණයයි. විනාශකාරී යුද්ධය අවසන් කළ හැකි යයි සිතූ අපේක්ෂකයාට ඡන්දය දුන්නෙමි. ඔහු එය හොඳින් හෝ නරකින් ඉටු කළේය. ඊට පසු මගේ ඡන්දයෙන් කාටවත් පලක් නැති බව දැනගත් හෙයින් ඡන්දය දීමෙන් වැළකී සිටින්නෙමි.”

මීට එම මගේ හිතවතිය දුන් ඇයගේ ප්‍රතිචාරය මෙතන පලනොකරන්නේ ෆේස්බුක් යනු වැසුණ වපසරියක් (closed environment) තුළ සිදුවන ක්‍රියාවලියක් නිසාත්, එම වැසුණ වපසරිය තුළ ඇය තැබූ සටහන මෙහි පළකිරීම සදාචාර විරෝධී යයි හිතෙන නිසාත්ය.

කෙසේ හෝ, මම මුලින් ලියූ කෙටි මැතිවරණ ඉතිහාසය ඔබ හොඳින් විශ්ලේෂණය කළහොත් ඔබට දැනෙන්නේ මැතිවරණ වලදී ඡන්දදයකයන් ඒ සඳහා වැය කරන කාලය සහ රටක් ලෙස මැතිවරණ පැවැත්වීමට වැය කරන විශාල ධනස්කන්ධය සැබවින්ම බලාපොරොත්තු ප්‍රතිඵල ලබාදේදැයි සිතාබැලීම වටින බවයි.

ඔබ කැමති (හෝ අඩුවෙන්ම අකමැති) පුද්ගලයන් හෝ පක්ෂයන් බලයට පත්කළ පසු 1948 සිට මේ දක්වාම බලයට පත්වූ පුද්ගලයන් සහ පක්ෂ ජනතා කැමැත්ත හෝ මැතිවරණ පොරොන්දු ශත පහකට මායිම් නොකරන බව ඔබට පැහැදිලිවම දකින්නට පුළුවන. ජේ. ආර්. ජයවර්ධන වරක් පැවසුවේ “ මම මිනිසුන්ට ඇහුම්කන් දෙනවා, හැබැයි මම කරන්නේ මට ඕනේ දේ.” (I listen to people but I do what I want.) මෑත කාලයේදී නෙළුම් කුමාරියගේ සිට සුපිරිසිදු මහත්මයා (Mr. Clean) දක්වා අයත් ඊට පහළින් ඇමති, මැති, පළාත් සභිකයන් සහ ප්‍රාදේශීය සභිකයන් කරන්නෙත් මෙයම නොවේද?

මේ සියල්ල සලල්කිල්ලට ගත්කල මගේ සීමිත දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැනුමත් සැලකිල්ලට ගත් කළ මට හැඟෙන්නේ නිකං අපරාදේ ජනතා මුදල්, කාලය සහ සම්පත් විනාශකර මැතිවරණ පවත්වනවාට වඩා වඩාත් වැඩදායක වන්නේ පහළම මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා සියලු මැතිවරණ වෙනුවට එම සභිකයින්ගේ තනතුරු වෙන්දේසි කර වැඩිම ගණුම්කරුවාට ලබාදෙන එක වඩාත් වැඩදායී සහ කාලෝචිත බවයි. මෙය කියවන ඔබට තදවීමට පුළුවන. “ජනතා පරමාධිපත්‍ය” වෙන්දේසි කළ හැකිද යන්න ඔබ ප්‍රශ්න කළ හැක. ඒත් ඔබ මම දෙදෙනාම දන්නා කරුණ නම් එහෙම කෙහෙම්මලක් තිබුණානම් මහබැංකු කොල්ලය වැනි මගෝඩි වැඩ කරන විට ඔබට ඔවුන්ට දඬුවම් කිරීමට නොහැකිවුවත් ගෙදර යැවීමට වත් හැකි විය යුතුය. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී බලතල තිබෙන රටවල එහෙම වෙන බව ඔබ දන්නවා ඇත. මෙය recall election (also called a recall referendum or representative recall) ලෙස ස්විට්සර්ලන්තයේ හැඳින්වේ.

ඔබ පත්කරන ජනතා නියෝජිතයන් කරන්නේ ඔබේ කැමැත්ත හෝ අකමැත්තට ඉටුකිරීම පසෙක තබා ගමේ බෝක්කුවේ සිට මහා පරිමාණ ව්‍යපෘති දකවා සියලුම දේවල් ව්‍යාපාරික අරමුණුවලින් අනුව බව අපි දැන් හොඳින් පසක් කරගෙන සිටිමු. ඉතිං නැති ජනතා පරමාධිපත්‍යයක් ගැන කයිවාරු ගහනවා වෙනුවට මම යෝජනා කරන පරිදි ප්‍රසිද්ධ වෙදෙසියේ ඉහත තනතුරු වෙන්දේසි කර ඒ මුදල (කොල්ල කනබව දැන දැනත්) මහා භාණ්ඩාගාරයට යවා ඉහළ ලංසු තැබූ අයට බලය දී දැන් මේ ඉන්නවා වගේම බලාසිටිනු හැර අපට කළ හැකි යමක් තිබේද? ප්‍රසිද්ධ වෙන්දේසියේදී අනිවාර්යයෙන් මුදල් විසිකළ හැකි අය බලයට පත්වනු ඇත. ඔවුන් ව්‍යාපාරික අරමුණු අනුව රට පාලනය කරනු ඇත. දැන් සිදුවන්නේත් එයම නොවේද? ජනතා පරමාධිපත්‍යය නම් ටොෆි කොළය ඔතා අපිට දෙන්නේ තුට්ටු දෙකේ බුල්ටෝ එකක් නොවේද?

(මේ ලිපියේ සමහර තැන්වල වරහන් තුළ ඉංග්‍රීසි වචන යොදා ඇත්තේ එහි අදහස සිංහලෙන් හරියටම යෙදුවාදැයි මට සැකයක් ඇතිවුණ අවස්ථාවලදීය. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රාමාණික දැනුමක් මට නැතැයි සිතමි.)

Advertisements

නැත්ත වෙනුවට ඇත්ත – විමල් වීරවංශ


Image

විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” කියවීමට ලැබුණා. මේක උසාවි නියෝගයක් මත අලෙවිය තහනම් වුවත් තහනම් කළ අලුතම මට හමුවූයේ සලාකා එක ළඟ පොත් විකුණන මනුස්සයකුගෙන්. මේක කියවීමෙන් මම නීතිය කඩ කළාද දන්නෙත් නැහැ.

පොතේ තියෙන්නේ වීරවංශ 2008දී ජවිපෙන් අයින් කළ විගසම වගේ හදීසියේ සංස්කරණය කළ ලිපි කිහිපයක් සමග ඔහු ජවිපෙත් සමග විරසකයක් වීමට හේතු වූ කරුණුයි. මමත් හිතන්නේ නම් වීරවංශ ඒ වෙලාවේ දරපු මතය හරි කියලයි. අලුත පත්වූ ආණ්ඩුවේ ඇමතිකම් කිහිපයක් අරගෙන ආණ්ඩුවේ සහකාරයන් විදියට තව කාලයක් හිටියනම් ජවිපෙට මීට වඩා දුරක් යන්නත්, ආණ්ඩුවේ කටයුතු මේ තරම් නරකට යා නොදී යම් දුරකට පාලනය කරන්නත් තිබුණා. පසු කාලෙක ජවිපෙ අගමැතිවරයකු පත් කර ගැනීම දක්වාත් යන්න තිබුණා, ආණ්ඩුවත් එක්කම සහයෝගයෙන්. ඒත් ජවිපෙ කාගේ මතයකට හෝ ඒ වෙලාවෙ අන්තවාදී විදිහට හැසිරීමෙන් ඒ ස්වර්ණමය අවස්ථාව අහිමි වුණා. ජවිපෙ උපායශීලීව කටයුතු කළානම් හිට්ලර් ජර්මනියෙ චාන්සලර් වුණ ක්‍රමයටම බලයට එන්නත් තිබුණා.

මම කියන්නේ නැහැ ජවිපෙ සර්ව සම්පූර්ණ පක්ෂයක් කියල. ඒ ගොල්ලන්ගෙත් ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒත් තරමක් හෝ දූෂණය අඩු, තරුණ බුද්ධිමතුන් හිටි පක්ෂයක්. ඒත් එයාලගේ මුග්ධ තීරණ නිසා පක්ෂය සීසීකඩ විසිරිලා ගියා.

තව පොඩ්ඩෙන් පොත ගැන කතා කරන්න අමතක වෙනවා. පොතේ තියෙන්නේ වීරවංශ පක්ෂ අභ්‍යන්තරයත් එක්ක ගනුදෙනු කළ ලිපි රාශියක්. සාමන්‍යයෙන් ජේවීපී එකේ ලියවිලි වෙහෙසකර ලෙස දිගයි. මේ පොතේ තියෙන්නෙත් ඒ වගේම දීර්ඝ ලියැවිලි.

මම දන්න තරමට නම් මේ පොත සම්බන්ධ නඩුව තවම නිමවී නැහැ. ඒත් ඉතින් තව දුරටත් ඔකෙ නඩු කියලා හංගන්න දෙයකුත් නැහැනේ. එළිවෙන්න ඔනේ දෙවල් ඔක්කොම වීරවංශයි, පෙරටුගාමියොයි, සන්ඩේ ලීඩරුයි, ඉරුදිනයි එළි කරලා ඉවරනේ.