
ජගත් චමිල ජනාධිපතිතුමා හමුවීම

ජගත් චමිල ජනාධිපතිතුමා හමුවීම
ජගත් චමිල ගැන මේ වන විටත් බොහෝ දේ ලියැවී ඇත. ඒ නිසා මගේ මේ උත්සාහය ඔහුගේ සිනමා දිවියේ සමත්කම් ගැනවත් ඔහු පසුගියදා ලැබූ සම්මානය ගැනවත් ලිවීම නොවේ. මේ ලියන්නේ ඔහුට ජනාධිපතිතුමාගෙන් නව නිවසක් ලැබීම ගැනයි.
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගෙන් පොහොසත් කලාකරුවන් සිටින්නේ කිහිප දෙනෙක් පමණි. ජිප්සීස් සුනිල්, භාතිය සහ සන්තුෂ්, ඉරාජ්, රූකාන්ත වැන්නන්ට පසුව රිඟිං ටෝන් වැනි නව සංකල්ප නිසා පොහොසත් වූ කලාකරුවන් සිටිති. කලාකරුවන් අතරින් නළුවන්, ලේඛකයන්, ගීත රචකයන්, නාට්‍යකරුවන් වැන්නන් සිටින්නේ අතලොස්සකි. ඒ නිසාම ඔවුන්ට සිදුවන්නේ බොහෝවිට සමාජයට පෙනෙන්නට සුව පහසුව ජීවත් වෙනවා යයි පෙන්නා හැමදාමත් බිරින්දෑවරුන්ගෙන් කුණු බැණුම් අහ අහා ජීවත් වීමටයි. එසේත් නැතහොත් මල්ල අරන් කඩේ යාමටය.
කඩේ යාමද හැමෝටම කරන්නට බැරිය. එයටත් බොහෝ සුදුසුකම් සැපිරිය යුතුය. ජනමතයට බලපෑමක් කළ හැකි කලාකරුවකු විය යුතුය. මහා ප්‍රතිරූපයක් තිබිය යුතුය. එසේත් නැත්නම් කඩවසම් හෝ රූමත් විය යුතුය. තවත් මෙතන සඳහන් කිරීමට බැරි සුදුසුකම්ද තිබේ. කෙසේ හෝ හරි ක්‍රමයට කඩේ ගිය කලාකරුවන් අද කෝටිපතියන් වී සිටිති. ඊට අපේ ඉරිසියාවක්ද නැත. තමුසෙගෙ ඔය මහා ලොකු ප්‍රතිරූපය කන්නටදැයි සෙනෙහෙබර බිරින්දන් අසන විට ඔවුන් නිරුත්තර වන හැටි අපට මැවී පෙනෙන නිසාය.
ප්‍රතිරූපය රැක ගන්නට ගොස් අන්ත දුප්පත්ව මියගිය කලාකරුවන් රාශියකි. ඔවුන් රසිකයන්ගෙ ලොව වීරයන් ලෙස අදත් ජීවත් වුවත් කොපමණනම් වේල් ගණනක් ඔවුන්ගේ දරු මල්ලන් නිරාහාරව සිටියාදැයි දන්නේ ඔවුන් පමණය. සුගතපාල ද සිල්වා මේ අතරින් සිහියට නැඟෙන්නේ නිරායාශයෙන්ය. වාණිජකරණය වූ කලාකරුවන් වූ මොහිදීන් බෙග්, ප්‍රෙඩී සිල්වා වැන්නන්ද මැරී ගියේ අන්ත දුක් විඳය. සමහර කලාකරුවන් සල්ලි තියෙන කාලේ ඒවා අරක්කුවලට, ගෑනුන්ට වියදම් කර අන්තිමට නාකිවී බංකොලොත් වූ කළ ආණ්ඩුව අපට සැලකුවි නැතැයි දෙස් දෙවල් තියන්නට පටන් ගන්නවාද කොතෙකුත් පෙනෙන්නට තිබේ.
සමහර අය (මතක් වන්නේ ජයලත් මනෝරත්න පමණි) කඩේ යන්නේවත්, වාණිජකරණය වන්නේත් නැතිව කොන්දත් කෙළින් තියාගෙන ජීවත් වෙති. ඒකට නම් සෑහෙන ශක්තියක් තිබිය යුතුය. මනෝරත්න උපාධිධාරියෙකි, උගතෙකි, මා දන්නා තරමට රජයේ සේවකයෙකි. ඒ නිසා ඔහුට හොඳ බුද්ධි මට්ටමකුත් කොන්දකුත් ඇත. හැමෝටම මේවා නැත. ඒ නිසා කලාකරුවන් වෙළඳපොළ ආර්ථිකයටම භාර නොදී ඔවුන්ගේ සුබසාධනය සඳහා රජයද මැදිහත්විය යුතුය.
ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කොපමණ අඩුපාඩු තිබුණත් ඔහු කලාකරුවන් කෙරෙහි අතිශයින්ම සානුකම්පිත විය. රාජපක්ෂ ජනාධිපතිතුමාද එසේමය. කලාකරුවකු සම්මානයක් ලබා රතු පලසක් උඩින් වඩම්මවාගෙන මල් මාලා දමා පිළිගත්තද ඔවුන්ගේ සම්මානය නිකම්ම නිකං ලී කොට කැබැල්ලක් හෝ පිත්තල කැබැල්ලක් වන්නේ ඒත් සමග මුදල් පරිත්‍යාගයක්ද නැතිනම්ය. ගෙදර වාහෙට මල පනින්නේද එතකොටය. ඒ නිසා මේ ගැන ප්‍රායෝගික සිතා ක්‍රියා කළ යුතුය.
කලකට පෙර මටද එක්තරා විදියක සම්මානයක් ඇමරිකාවෙන් ලැබිණි. ඒත් සමග මට පුරා අවුරුදු තුනක් දක්වා මගේ මාසික වියදම් ආවරණය වන ලෙස දීමනාවක්ද ලැබිණි. ඒ සම්මානය මට වගේම ගෙදර උන්දෑටද වටින්නට වූයේ ඒ නිසාය.
ජගත් චමිලට ජනාධිපතිතුමාගෙන් ලැබුණ රුපියල් ලක්ෂ 5ත්, නව නිවසත් මම අගයන්නේ ඉහළ කී සන්දර්භයන් තුළය. ජගත්ට ඒ උපහාරය ලැබිය යුතුමය. ඔහුගේ ජයග්‍රහණය සුළුපටු එකක් නොවේ. එය ජාතියම සතුටු කළ අවස්ථාවකි. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය පිත්තල කැබැල්ලකින් නතර නොවිය යුතුමය.
මේ සියල්ල සමග ජගත් චමිලටත් මනෝරත්න මෙන්ම සුපිරි හැකියාවන් තවදුරටත් විහිදුවමින්, කඩේද නොයමින්, කොන්දද කෙළින් තියාගන්නට හැකියාව ලැබේවායි යන්න අපේ පැතුමයි.
6.931940
79.847780
Like this:
Like Loading...