T. M. G. චන්ද්‍රසේකර – රැවුලත් කැඳත් දෙකම බේරාගත් අපේ කාලයේ අපූරු මාධ්‍යවේදියා


T. M. G. චන්ද්‍රසේකර

මේ කෙටි සටහන තබන්නට සිතුවේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස සේවය කළ මෑතකදී විශ්‍රාම ගිය මාධ්‍යවේදියකු සිහිකිරීම සඳහා. නමින් T. M. G. චන්ද්‍රසේකර වුවත් අපි සැවොම ඔහුව හඳුනන්නේ TMG නමින්. රජයේ මාධ්‍ය ආයතනයක රැකියාව කරමින් රැකියාව සහ වෘත්තීය ගෞරවය දෙකම ආරක්ෂා කරගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් TMG මේ දෙකම සමබර කරගත්තේ ඇතැම්විට බොහෝ දේවල් අවදානමට තබමින්.

ඔහුව අපි මුලින්ම හඳුනාගත්තේ ජාතික රූපවාහිනිය හරහා. ඉනුත් ඔහුගේ රුව සහ හඬ අප අතර මතක සිටියේ සජීවී සාකච්ඡා තුළින්. මගේ මතකය නිවැරදිනම් TMG අප මුලින්ම දැක්කේ තොරතුරු තාක්ෂණය එතරම් රටේ ප්‍රචලිත නොවූ කළෙක “අන්තර්ජාලය ඔබේ නිවසට” නම් ඉතාම සරල බසකින් ඔහු ඉදිරිපත්කළ වැඩසටහනින්. එකළ අපි අන්තර්ජාලය ගැන කිසිම දැනුමක් නැතිව සිටි අවධියක්. ඔහු ඉහත කී වැඩසටහන ඉදිරිපත්කළ සරළ සහ මිත්‍රශීලී බව නිසාම තරුණ වියේ තොරතුරු පිපාසයෙන් සිටි අප වැන්නන් පමණක් නොව සමාජයේ විවිධ පැතිකඩවලට අන්තර්ජාලය සමීප කිරීමට ඔහු දායක වූයේ චානුක වත්තේගම ප්‍රධාන කතෘත්වය දැරූ “විජය පරිගණක” හා සමානව දායකත්වයක්.

ඉන් පසුව අපිට TMG නැවතත් හමුවන්නේ ඔහු ජාතික රූපවාහිනිය හරහා එවකට ජනාධිපතිණිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිහිපවරක්ම සම්මුඛ සාකච්ඡාවට භාජනය කිරීමෙන්. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මෙන්ම උපක්‍රමශීලී ලෙස මතභේදයට ලක්වුණු කරුණු සම්බන්ධයෙනුත් ඇයව ප්‍රශ්න කළ අවස්තාවන් තිබුණා. එවකට තිබුණු මාධ්‍ය නිදහසේ සීමාවන් තුළ රැඳෙමින්, රජයේ මාධ්‍ය ආයතනයක් වන ජාතික රූපවාහිනිය තුළින් එවැන්නක් කිරීම තරමක අභියෝගයක්.

මුලිනුත් කී පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතනයක දිගු කාලයක් රැකියාව සහ වෘත්තීය ගරුත්වය රැක ගැනීම අප වැනි රටවල මාධ්‍යකරුවන්ට බියකරු සිහිනයක් බව අළුතෙන් කියන්නට ඕන නැහැ. මෙහි භයානකත්වය TMG අත්වින්දේ නොහික්මුණු කැබිනට් ඇමතිවරයකු වූ මර්වින් සිල්වා රූපවාහිනී පරිශ්‍රයට ඔහුගේ මැරයන් සමග බලෙන් කඩාවැදී TMGට ඉතාම නිර්ලජ්ජිත ලෙස පහරදුන් අවස්තාවේ. ඔහුට පහරදීමට හේතු වූයේ ඇමතිවරයා දේශපාලන වේදිකාවකදී කළ නරුම කතාවක් ප්‍රවෘත්ති ප්‍රකාශය අතරදී විකාශය නොකළ නිසා. මාධ්‍ය සදාචාරය ඉහළින් සලකන ඔහු වැන්නෙකුට එවැනි කතා විකාශය නොකර සිටීමට ශුද්ධවූ අයිතියක් තිබුණා. එම නින්දිත ප්‍රහාරයේදී රූපවාහිනියේ ලොකු කුඩා සැවොම ඔහුගේ පාර්ශවය ගෙන අදාල ඇමතිවරයාට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඉන් ලැබිය හැකි භයානක ප්‍රතිපළද අමතක කරමින්.

TMG රූපවාහිනියට සම්බන්ධවුණේ 1995දී. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම ජනමාධ්‍ය සම්බන්ධ උසස් උපාධිදරයෙක් ලෙසත් අධ්‍යාපනය ලැබුවා. පසුව ඔහු ටෙලිවිෂන් මාධ්‍යයේ විවිධ අංශවල ඔහුගේ නිර්මාණාත්මක හැකියාවන් උරගා බැලුවා. අවුරුදු 24ක අඛණ්ඩ, විශිෂ්ට සේවයකින් පසු රූපවාහිනියෙන් විශ්‍රාම ගිය ඔහු මේ වන විට ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සන්නිවේදනය සඳහා උපායමාර්ග පිළිබඳ විශේෂඥයකු වශයෙන් සේවය කරනවා.

රූපවාහිනිය TMG චන්ද්‍රසේකර ගැන කළ විඩියෝ වැඩසටහනක්

මට TMGව හමුවුණේ ඔහු මම සහ මගේ සිසුසිසුවියන් කිහිප දෙනෙකු 2002දී ඔහු සමග කළ සජීවී රූපවාහිනී සාකච්ඡාවකදී. එහි වීඩියෝ දර්ශන කිහිපයක් පහත දැක්වෙනවා.

1. First Live TV Talk show by Horizon Lanka kids in 2003
2. First Live TV Talk Show of Horizon Lanka kids in 2003
3. First Live TV Talk show by Horizon Lanka kids in 2003
4. First Live TV Talk show by Horizon Lanka kids in 2003
5. First Live TV Talk show by Horizon Lanka kids in 2003
6. First Live TV Talk show by Horizon Lanka kids in 2003
7. First Live TV Talk show by Horizon Lanka kids in 2003
8. First Live TV Talk show by Horizon Lanka kids in 2003
9. First Live TV Talk show by Horizon Lanka kids in 2003
10. First Live TV Talk show by Horizon Lanka kids in 2003
12. First Live TV Talk show by Horizon Lanka kids in 2003
14. First Live TV Talk show by Horizon Lanka kids in 2003
15. First Live TV Talk show by Horizon Lanka kids in 2003
17. First Live TV Talk show by Horizon Lanka kids in 2003

18. First Live TV Talk show by Horizon Lanka kids in 2003

9.20ට පෙන්වූ 9.05 හෙවත් හේම නලින් නොමරා මැරීම


හේම නලින් කරුණාරත්න

මසකට වරක් පමණ කාර් බැටරියෙන් ආරෝපණය කළ යුතුවූ කළු සුදු රූපවාහිනියක් 80 දශකයේදී අපේ ආලින්දයට පැමිණීමට පෙර අපේ ප්‍රධානම දැනුම සහ විනෝදය සපයන්නා වූයේ ටෝච් බැටරිවලින් වැඩකළ ගුවන් විදුලියයි. බොහෝ සෙයින් ගීතවලට සවන්දීම, ප්‍රවෘත්ති වලට සවන්දීම, සහ නාට්‍යවලට සවන්දීම සහ 7.30ට අප්පච්චී නිසාම කවදාවත් අමතක නොකර සවන්දුන් විදෙස් පුවත් වලට සවන්දීම පමණකට සීමාව තිබූ ගුවන් විදුලිය එකල පාසල් සිසුන්වූ අපව අලුත්ම ලොවකට රැගෙන ගියේ ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙයවූ “සැරිසර” පුවත් සඟරාවයි.”

කාර් බැටරිය ආරෝපණය කරගැනීමට තිබුණ අපහසුව නිසාම – එකල කාර් බැටරිය ගමේ වෑන් කාරයා වූ චුට්ටේ අයියාට නොවඳිනා වැඳුම් වැඳ අනුරාධපුරය නගරයට යැවීමට සහ ගෙන්වා ගැනීමට තිබුණ කරදරකාරී සහ සංකීර්ණ මෙහෙයුම නිසා – සාමාන්‍යයෙන් අපි රූපවාහිනිය නැරඹුවේ දිනකට ඉතාමත්ම සීමිත වෙලාවක් පමණි.

මොකක්දෝ හේතුවකට එදා රෑ 9.00 පහුවෙනකල්ම (පොඩි අයියාට හොරෙන්) රූපවාහිනිය නරඹමින් සිටි අපට ඉතාමත්ම අපූරු තේමා වාදනයක් ඇසුණ නිසා රූපවාහිනියෙන් ඇස ඉවත ගැනීමට නොහැකිවිය.

ඒ තේමා වාදනයත් සමගම තිරයට පැමිණියේ සුන්දර සිනහවකින් මුව සරසාගත් ඉතාමත්ම ප්‍රියජනක තරුණයකුගේ රුවයි. ඒ වෙනවිට රූපවහිනියේ නිවේදකයන් අනුගමනය කරමින් සිටියේ දැඩි සංයමයකින් සහ ඒකාකාරී බවකින් යුක්තවූ කෘත්‍රිම භාෂා විලාසයකි. ඉන් බැහැරවූ ඉතාමත්ම සිත්ගන්නාසුළු සැහැල්ලු විලාසයකින් කතාකළ මේ තරුණයාගේ නම හේම නලින් කරුණාරත්න බව අප දැනගත් අතර ඔහු එක රැයෙකින් “තරුවක්” බවට පත්වුණි. ඔහු මෙහයවූ වැඩසටහන සඟරාමය වැඩසටහනක් වූ අතර එය නම්කර තිබුණේද ඒ වනවිට අමුතු නමක් වූ “9.05” නමිනි.

9.05 සඳහා තෝරාගෙන තිබුණු තේමා සංගීතය ඉතා මියුරු මෙන්ම අමුතු වූයෙන් මම බොහෝ කලක් එම මුල් සංගීත ඛණ්ඩය සෙවූ අතර පසුව අහම්බයෙන් නැරඹූ Barry Levinson අධ්‍යක්ෂණය කළ, ඔස්කාර් සම්මාන උළෙලේදී, Dustin Hoffman හොඳම නළුවා කළ, Tom Cruiseගේ මුල් යුගයේ චිත්‍රපටයක් වූ “Rain Man” චිත්‍රපටයේ බව සොයාගතිමි.

එක රැයකින් 9.05 කොතරම් ජනප්‍රිය වුණාද කිවහොත් සති දෙක තුනක් යනවිට 9.05 පටන් ගත් වෙලාව 9.05, 9.10, 9.15 සහ 9.20 දක්වාම දික්ගැස්සුණේ වැඩසටහන වටා රොක්වූ අධික රසිකයන් පිරිස නිසා වැඩසටහනට පෙර රූපවාහිනී බලධාරීන් අසීමිත වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් බලෙන් එබ්බවූ නිසාය. හේම නලින් මේ ගැණ සිටියේ නුරුස්සන ස්වාබවයකින් බව අපට දැනුණෙ එක වැඩසටහනක් අතරතුරදී ඔහු “දැන් අපිට වැඩසටහනේ නම 9.05 වෙනුවට 9.20 ලෙස වෙනස් කරන්නට වෙයිද දන්නේ නැහැ” කියා සුපුරුදු සිනාමුසු මුහුණෙන් කියූ බැවිනි. සජීවී නොවූ, පෙර පටිගත කළ වැඩසටහනක් වූ වැඩසටහන එදා පමණක් හරියටම 9.05ට ප්‍රචාරය කරමින් (එකල සාමන්‍යයෙන් නොකළ ආකාරයට ) තිරයේ උඩින්ම 9.05 ලෙස වෙලාව සඳහන් කළේ හේම නලින්ට කෝචොක් එකක් දැමීමටය. එහෙත් කෝචොක් වූයේ රූපවාහිනියම බව අපට පසක් කළේ ඊළඟ සතියේ සිට ඔවුන් නැවතත් 9.05, 9.20ට (රෙදිත් ඇඳගෙනම ) ප්‍රචාරය කළ නිසාය.

දිගින් දිගටම සිදුවූ මෙවැනි සහ වෙනත් කෙනිහිලිවල ප්‍රතිඵලයක් ලෙස හේම නලින්ට රූපවාහිනියට ආයුබෝවන් කියා එතරම් ජනප්‍රිය නොවූ ස්වර්ණවාහිනිය වැනි වැදගැම්මකට නැති නාලිකාවක් ළඟ නැවතීමට සිදුවිය. මේ නිර්මනාත්මක මිනිසාට ස්වර්ණවාහිනියේ කරන්නට ඉටිගෙඩියක් නොවූ නිසා ඔහුගේම චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක් වූ Heritage TV (HTV) නාලිකාවට සේන්දු වීමට සිදුවිය. මේ වනතුරුත් චන්ද්‍රිකා රූපවාහිනී නැරඹීමට හැකිවී තිබෙන්නේ රූපවාහිනී නරඹන්නන්ගේ ඉතා සීමිත පිරිසකට නිසා හේම නලින් වැන්නකුගේ දක්ෂතා ඉතාමත්ම සුළුපිරිසකට පමණකට සීමා විය.

මම පහත සිද්ධිය කෙටියෙන් සඳහන් කරන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන් හඳුනනවා කියා පෙන්වීමට (namedropping) සඳහා නොවේ. මම ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවයේ අධ්‍යාපන නාලිකාවක් වූ “නැණස” රූපවාහිනියේ උපදේශකයකු (consultant) ලෙස සේවය කළ කාලයේ හේම නලින් “නැණසේ” ඓතිහාසික වැදසටහන් නිපදවීම සඳහා යොදාගත හැකිදැයි සොයා බැලීම සඳහා මූලික සාකච්ඡාවක් සඳහා ඔහුට ඩයලොග් ආයතනයට ආරාධනය කළ පසු ඔහුත් සමඟ මිතුරුකමක් ගොඩනගා ගත්තේ ඔහු මගේ පාසල් කාලයේ සිට වීරයකු වූ නිසාය. (කෙසේ හෝ “නැණස” රූපවාහිනිය සමග මගේ සේවා ගිවිසුම හිතුවාටත් කලින් අවසන් වූ නිසා – වඩාත් නිවැරදිව කිවහොත් නැණස නාලිකාවට මම මෙලෝ වැඩකට නැති මිනිහෙකු බව වැඩි කලක් යාමට මත්තෙන් වැටහුණ නිසා – හේම නලින්ගේ වටිනා සේවය නැනසට ලබාගැනීමට නොහැකි වීමටත් වඩා ඔහු වැන්නකු සමග වැඩ කිරීමෙන් අලුතින් යමක් ඉගෙන ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මම අතිශයින්ම කණගාටු වීමි.)

හේම නලින් මියයාමට සති කිහිපයකට පෙර මම ඔහුව දුරකථනයෙන් ඇමතුවේ ඩයලොග් ආසියාටා ආයතනය සහ BOV Capital ආයතනය එකතුවී ආරම්භ කළ ශ්‍රී ලාංකික venture capital ආයතනයක් වන Digital Innovation Fund මගින් නිර්මාණත්මක වැඩක් හේම නලින්ට සැලසුම් කළ හැකි නේදැයි යෝජනා කිරීමටයි. සුපුරුදු සිනහවෙන්ම මට ස්තූති කළ හේම නලින් ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සැකසීමට බලපොරොත්තුවෙන් සිටියේය. එහෙත් ඔහු සමග සමග වැඩකිරීමෙන් අළුත් යමක් ඉගෙන ගැනීමට තිබුණ දෙවන (සහ අවසාන) අවස්ථාවත් අවාසනාවන්ත ලෙස මගෙන් ගිලිහුණි.

ජාතික රූපවාහිනිය පළ නොකියා පලා බෙදුවේ හේම නලින්ට පමණක් නොවේ. මා හිතන ආකාරයට බර්ට්‍රම් නිහාල්, ජයන්ත චන්ද්‍රසිරි, සද්ධා මංගල වැනි නිර්මාණශීලී මිනිසුන්ටද වෙන්නට ඇත්තේ මේ සංගදියම විය හැකිය.

මේ සියල්ලන්ම හිතුවක්කාරයන් බව මම පුද්ගලිකවම දනිමි. ජයන්ත චන්ද්‍රසිරි කිසිම දිනක මට හමු නොවුණත් ඔහුගේ නිර්මාණවලිනුත් ඔහු හිතුවක්කාරයකු බව සිතාගත හැකිය. මොවුන් සමග වැඩකිරීමට රාජ්‍යය ආයතන ප්‍රධානීන්ට පහසු නොවුවාට කිසිම සැකයක් නැත. මමත් රාජ්‍යය සේවයට අවුරුදු දෙකකින් ආයුබෝවන් කීවේ මමත් නහයට අහන්නේ නැති හිතුවක්කාරයකු වූ නිසාය. (මියයනතුරුම කිසිමදාක මගේ හිතුවක්කාරකම් අඩු කිරීමට මගේ බලාපොරොත්තුවක්ද නැත.) නමුත් ඔබ අවබෝධ කරගතයුතු වන්නේ ලෝකය නිතරම වෙනස් කළේ හිතුවක්කාරයන් බවය.

හිතුවක්කාරයන් ජාතික රූපවාහිනිය වැනි රාජ්‍යය ආයතනයන්ට දිරවන්නේ නැත.

ජාතික රූපවාහිනිය දැන් නිර්මාපකයන් වෙනුවට නිර්මා පකයන් බිහිකරන්නේ මේ නිසා විය හැක.