ෆිදෙල් කස්ත්‍රෝගෙන් දක්ෂිනාංෂික ජේ. ආර්. ට හවානා සුරුට්ටු, වාමාංශික අපේ අප්පච්චිට ගමේ කඩෙන් වැනිලා සුරුට්ටු


අපේ පවුලම වාමාංශික අදහස් තිබුණු අය. අප්පච්චි ගොවියෙක් වුණත් ගමේ හිටපු කමියුනිස්ට්කාරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් නිසා (අනිත් එක්කෙනා මුදියන්සේ මාමා) අපේ ගෙදරත් ඒ කාලෙ බර්නාර්ඩ් සොයිසා, K. P. සිල්වා වගේ අය ආවම රෑ දෙගොඩහරි ජාමෙ වෙනකං ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් විප්ලවය සැලසුම් කරනවා. අම්මා යටිහිතිං බැණ බැණ මේ කයිවාරුකාරයන්ට උණු කෝපි හදන්න ඕනෑ.

අපේ අප්පච්චි කොච්චර කමියුනිස්ට්ද කිව්වොත් නරක බව දැනදැනම කස්ත්‍රෝ වගේ සුරුට්ටුවකුත් බිව්වා. ඒත් කස්ත්‍රෝ මාසිකව හවානා සුරුට්ටු එව්වේ දක්ෂිණාංශික ජේ. ආර්.ට. අපේ අප්පච්චිත් ඇරියේ නෑ. වැනිලා සුරුට්ටු ගණන් අඩු නිසා හාල් සේරුවක්, පාන් රාත්තලක් ගන්න ගෙදර සල්ලි නැති වුණත් අම්මගෙන් බැණුම් අහගෙන වැනිලා සුරුට්ටුවක් කස්ත්‍රෝ වගේ උජාරුවට ඉරුවා. ආන්න එහෙමයි හොඳ කමියුනිස්ට් කාරයෝ.

සමහරවිට මමත් බටහිර රටවල ඉතාම කෙටිකාලයක් හෝ ගතනොකළානම් තවදුරටත් වාමාංශික අදහස්වල ඉන්න තිබුණා. රටින් පිට ඉද්දි දකින ආකර්ෂණීය දේවලට වඩා හිත යන්නේ අසීමිත ලෙස නව දැනුමට විවෘත වෙන එක.

ඉස්සර අපි පරම දැනුම විදිහට හිතාගෙන හිටියේ දිවයින, මනහර සහ රාවය වැනි ප්‍රකාශනවලින් ඔවුන්ගේ කතු මඬුල්ලේ සිතැඟිවලට අනුකූලව තෝරාබේරාදුන් දේවල් විතරයි.

ඒත් නිදහස් මතවාද වලට නිරාවරණය වුණාමයි තේරෙන්නෙ අපි මෙච්චරකල් ලෝක දැනුම ලබාගත්තා කියලා හිතාගෙන ගෙදර තියෙන ලුණු පොල්කට්ට වටේ විතරයි ගිහින් තියෙන්නේ කියලා.