සිත්තරු (Siththaru) – නවතම චිත්‍රකතා පත්තරය


Siththaru First Copy

Siththaru First Copy

කුඩා කළ සිටම චිත්‍රකතා වලට පෙම් බඳින්නකු ලෙස මම සිත්තරු චිත්‍රකතා පත්තරය වෙළඳපොළට පැමිණෙන තුරුම සිටියේ ඇඟිලි ගනිමින්. මීට මාස කීපයකට පෙර මේ ලෙසම උනන්දුවෙන් සිටියේ ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් චිත්‍රකතා පත්තරය පැමිණෙන විට. එහෙත් මම අනාවැකි පළකළ අයුරින්ම එය සති කිහිපයකින් නැවතුණා. සිත්තරු වලට එම ඉරණම අත් නොවේවායි අපි මුලින්ම පතමු.

සමස්තයක් ලෙස ගත්කල සිත්තරු අගය කළ ලක්ෂණ වලින් හෙබියි. දරාගත හැකි මිලකට වර්ණයෙන් පල කිරීම අගය කළ යුත්තක්. අනෙක් අතින් පුවත්පත් කලාවේ දැවැන්තයන් වන උපාලි නිවසින්ම එළි දකින නිසා ලාභ ලබනතුරු මාස කිහිපයක් ඇදගෙන යාමට ඔවුන්ට හැකි වේවි. චිත්‍රකතා ලෝකයේ පතළ චිත්‍රකතා ශිල්පීන් රාශියකගේ චිත්‍රකතා සිත්තරු තුළින් දැකගත හැකියි. මංගල කලාපයේ කවරයේ චිත්‍රය ගැනනම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. සියලුම කතා නියෝජනය වෙන අයුරින් එය සැලසුම් කළා නම් වඩා හොඳයි කියලා හිතෙනවා.

Promotional poster

Promotional poster

බන්ධුල හරිශ්චන්ද්‍රගේ “දඩයම” චිත්‍රකතාව කුතුහලය ගෙනදෙන ආරම්භයක් ගෙන දෙනවා. මෙතරම් වයසට ගියත් බන්ධුලගේ චිත්‍ර තවමත් උසස් මට්ටමක පැවතීම සතුටට කරුණක්. සුමතිපාල-ජෝතිපාල සුපුරුදු පරිදි ඔවුන්ටම අනන්‍ය වූ ශෛලියෙන් “ඉර හඳ පායන ලෝකේ” සහ “සුපුන්සරා” ඉදිරිපත් කරලා තියෙනවා. ඇන්ටන් බී. පෙරේරා සුපුරුදු බටහිර ශෛලියෙන් “කැලිබර් 7.62” සහ “වෘකයාගේ මිටියාවත” ඇඳලා තියෙනවා. හරින්ද්‍රගේ “පළායන මනාලී” ලස්සන ආරම්භයක් ගෙන දී තියෙනවා. ප්‍රගීත් අබේධීර “සමනලියක් දවසක්දා” එක්ක තරුණ තරුණියන්ටම ගැලපෙන කතාවක් ගෙන එනවා. අනුර ශ්‍රීනාත්ට කතා හතරක්ම ලබාදීම ගැන නම් මගේ පැහැදීමක් නැහැ. ආරම්භයේ නවමු අකාරයේ කතා ඇන්දත් දැන් ඔහුගේ කතා ඒකාකාරියි. සරත් මහින්ද සිරි කවදත් මගේ සිත්ගත් කලාකරුවෙක්. ඔහුගේ කතා නිර්මාණශීලියි. ටිකක් අමුතු විදිහේ ගෑනු මිනිස්සු ගැනයි ඔහු කතා කරන්නේ. “දාංගලේ”ත් ඒ වගේම කතාවක් වගෙයි. ඉන්ද්‍රජිත් රන්ජන්ගේ චිත්‍ර නම් සැහෙන්න පිරිහිලා. ඔහු ඉතාම ලස්සනට ගැමි ආදර කතා අඳින්න පුළුවන් කෙනෙක්. ඔහුගේ “Happy Birthday” කතාව රසිකයින් වැළඳ ගනියි කියල හිතනවා. ජනක රත්නායකගේ “රැල්ල” නම් කිසිම තේරුමක් නැතිව එක කොටසකින් අවසන් වෙන කතාවක්. දයා රාජපක්ෂ කවදත් වැඩකාරයා. ඔහුගේ “නොතිත් පවස” එක්ක රසවත් කතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිනෙත් බැද්දගේට නම් මම කිසිම දවසක කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුගේ කතාවට වඩා සිංහගේ “ටෝගා” ආවනම් හොඳයි කියලයි මගේ පෞද්ගලික අදහස. ආනන්ද දිසානායක “ජෝක්ස්” අඳින්නේ නැතුව පුරුදු විදිහට ආදර කතාවක් ඇන්දනම් හොඳයි. කාංචනාගේත් දිනිඳුගේත් ආදර කතාව වුණ “සඳකුමරි”ට අපි ඒ කාලේ කොච්චර ආදරය කළාද? කුමාර නම් පුරුදු විදිහටම නව යෞවනයන්ගේ ප්‍රේම කතාවක් විදිහට “පරිත්‍යාගය” ඇඳලා තියෙනවා.

Promotional poster

Promotional poster

සරත් මධු, කැමිලස්, අරවින්ද, ගාමිණි අබේකෝන්, ජානක ඉලුක්කුඹුර, බන්දුල කුමාර වගේ අයත් එකතු වෙනවනම් තමයි වඩාත්ම හොඳ. අනුර ශ්‍රීනාත්ට දීලා තියෙන වැඩිපුර පිටු අයට දෙන්න පුළුවන්. කිසිම ශිල්පියෙකුට ඒක පිටුවකට වඩා නොදී ඉන්න පුළුවන් නම් විවිධත්වය රැකෙනවා.

විවිධ පුවත්පත් ආයතනවල සේවය කරන ශිල්පීන් මේ විදිහට වෙනත් (උපාලි) පුවත්පත් ආයතනයක ප්‍රකාශනයකට චිත්‍රකතා අඳින්න අවසර දීපු එකම වටිනා වැඩක්. වාද භේද අමතක කරලා මෙවන් වටිනා පොදු අරමුණකට අත හිත දුන්න එක අගය කළ යුතුයි.

චිත්‍රකතා වලට අතහිත දෙන්න පත්තරේ ගන්න කියන එක වලංගු නැහැ. සිත්තරු දැනගත යුතුයි ආකර්ෂණීය නිර්මාණ හරහා ඉල්ලුමක් නිර්මාණය කර ගන්න. ඉස්සර චිත්‍රකතා බලපු අය විතරක් නෙවෙයි නව පරපුරේ යෞවන යෞවණියන්ගේත් ආකර්ෂණය දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ.

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් – අළුත් චිත්‍රකතා සඟරාව


ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් - අළුත් චිත්‍රකතා සඟරාව - පළමු කලාපය

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් – අළුත් චිත්‍රකතා සඟරාව – පළමු කලාපය

පත්තර කඩේ අළුත් අළුත් චිත්‍රකතා සඟරාවක් දකිද්දී පුදුම සන්තෝෂයක් දැනුණේ. ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් සඟරාව බලන්න වගේම ඒක පවත්වාගෙන යන අය දිරි ගන්වන්නත් එක්කමයි කොපියක් ගත්තේ. ඒත් පිටු පෙරළලා බලනකොට නම් බලා පොරොත්තු කඩවුණා. මුලින්ම සඟරාවේ නමම පාඨකයන් සඟරාවෙන් එළවන නමක්. මේකට මීට වඩා වැදගත් නමක් දාන්න තිබුණා. ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් කියපු ගමන්ම මේක දෙවන පන්තියට වැටෙනවා.

අනිත් එක තමයි මෙයාලා මතක තියා ගන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි චිත්‍රකතා වැඩියෙන්ම බලන්නේ ඒවගෙන් 70-80 වල සන්තෝෂ වුණ, දැන් අවුරුදු 30-40 ට එහා වයස් කාණ්ඩය කියන එක. අළුත් තරුණ පරපුරට චිත්‍රකතා වලට වඩා හිත ඇදිලා යන දේවල් කොච්චරවත් තියෙනවා. ඉතින් ඉහත කී කණ්ඩායම සන්තෝෂ කරන්න නම් එයාලා ආශා කරපු විදිහේ කතා ටිකක් අඳින්න ඕනේ. ඉතිං ඊට පස්සේ, යුනිකෝ, ටෝගා, ගජමෑන් වගේ ඒවා ඒ කාලේ නැගලා ගියා. ඊට ටිකක් හරි ළඟින් යන කතා ටිකක් මෙයාලාට අඳින්න තිබුණා. ඒත් මෙයාල අඳින්නේ කිසිම කතා රසයක්, කුතුහලයක් නැති කතා. හරියටම අද කාලේ ටෙලි නාට්‍ය වගේ. චිත්‍රකතා වල ටෙලි නාට්‍ය වලට වඩා කුතුහලයක් තිබ්බා. හැම කතාවකම අන්තිම කොටුවේ තිබ්බේ ඊළඟ සතියේ පත්තරේ ගන්නම හිතෙන විදිහේ හිතේ කුතුහලය උපරිමයට අවුස්සන දර්ශනයක්. ඒත් මේ චිත්‍රකතා සඟරාව දැක්කට පස්සේ මට ආයේ නම් ඒක ගන්න හිතුණේ නැහැ.

කාලයට අනුරූපව චිත්‍රකතා කලාව වෙනස් වෙන්න ඕනේ තමයි. ඒත් මූලිකම කරුණු අමතක කොට යන ගමනක් සාර්ථක වේ යයි සිතන්න බෑ. මම හිතන්නේ නැහැ මේ චිත්‍රකතා සඟරාව වෙනස් කර නොගත්තොත් වැඩි කල් පවතියි කියලා. මේක නතර වෙනවනම් අපරාධයක් තමයි. ඒත් මොනවා කරන්නද කරන්න දේවල් තියෙද්දී බොළඳ වැඩ කරනකොට?

සඟරාවක මිල රුපියල් 100යි. ඒකට නම් කරන්න දෙයක් නැහැ. වර්ණ පිටුත් මුද්‍රණය කරන නිසා ඊට අඩුවෙන් දෙන්න අමාරු ඇති.

එකම කතාව පිටු 3-4කට දුවනවා. ඒකත් අළුත් දෙයක් කියලා හිතමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ චිත්‍ර ඇඳලා තියෙන ආකාරය එච්චර සිත් ගන්නා සුළු නොවීම. ඉස්සර චිත්‍රයක් අඳිද්දී සිත්තරා මොන තරම් පරිස්සමෙන්ද චිත්‍රය ඇන්දේ? දැන් එහෙම දෙයක් දකින්න නෑ. ඉක්මනට ඉවර කරගන්න අඳිනවා වගෙයි. සමහර විට ගෙවීම් අඩු නිසා මෙහෙම කරනවාත් වෙන්න පුළුවන්.

කොහොමටත් චිත්‍රකතාවල අතීත ශ්‍රී විභූතිය ආපසු ගන්න බැරිවේවි. ඉඳලා හිටලා චිත්‍රකතා පත්තරයක් පළවෙලා කලාප කිහිපයකට පස්සේ වැහිලා යනවා. මේකටත් ඒකම වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒත් එහෙම නොවෙනවානම් තමයි හොඳ.

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් - අළුත් චිත්‍රකතා සඟරාව - දෙවන කලාපය

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් – අළුත් චිත්‍රකතා සඟරාව – දෙවන කලාපය