නාගදීප සංචාරය – ආයෙත් නම් එපා


නාගදීප විහාරය

මම ජීවිතයේ මුල්ම වරට පසුගිය සෙනසුරාදා යාපනයේ නාගදීප දූපත නැරඹීමට ගියෙමි. දීර්ඝ සති අන්තයක් බැවින්දෝ බෝට්ටුවකට නැගගැනීමට බලාපොරොත්තුවෙන් දහස් ගණනක් වන්දනාකරුවෝ සහ දෙස් විදෙස් සංචාරකයෝ කුරික්කට්ටුවාන් ජැටියේ පෝලිමටවී සිටියහ.

අවිධිමත් පෝලිමේ අව්වේ කරවෙන බැතිමතුන්

(2015දී සිවලෝගනාදන් විද්‍යා (Sivaloganathan Vithiya) නම් පාසල් දැරිය සමූහ දූෂනය කර මරා දැම්මේද මේ කුරික්කට්ටුවාන් දූපතේදීය. ඇය ඉගෙනගත් පාසල අපේ රියදුරු පෙන්වූ විට මොහොතකට මගේ හදවත නතරවින)

පෝලිමේ කිසිම විනයක් නොතිබිණි. එක්කෙනෙක් දෙන්නෙක් නොව විශාල පිරිස් පෝලිම කඩාගෙන ගොස් බෝට්ටුවලට නැගීමට පොරකෑහ. ඔවුන් මෙහෙයවීමට කිසිම සාධනීය වැඩපිළිවෙළක් නොතිබිණි. නාවික හමුදා භටයන් සිටියදීත් කිසිම පාලනයක් නොමැතිව මෙවැනි දේ සිදුවීම ගැන මම පුදුම වූයේ සාමන්‍යයෙන් ඔවුන් බොහෝවිට මෙවන් අවස්ථාවන් ප්‍රශස්ත මට්ටමකින් පාලනය කරන නිසාය. බැරිම තැන මම ඔවුන් ළගට ගොස් මෙතැන කිසිම පාලනයක් නොමැතිව තියෙද්දීත් ඔවුන් ඒ ගැන කිසිවක් නොකරන්නේ මන්දැයි විමසුවෙමි. එවිට ඔවුන් කිව්වේ “මෙතන දහස් ගණනක් සෙනග එනවා. අපි ඉන්නේ දෙතුන් දෙනයි. ඉතින් අපි මොනවා කරන්නද?” කියායි. ඔවුන්ගේ පිළිතුර සාධාරණ නිසා මම ඉන් එහාට කිසිවක් නොකිව්වෙමි.

ආසන සංඛ්‍යාවට වඩා වැඩි මගී සංඛ්‍යාව

ඊළඟට ප්‍රශ්නය තිබුණේ බෝට්ටුවට නැගගත් පසුය. මගී බස්‍ රථවල මෙන්ම පොල් පටවන්නා සේ සෙනග පැටව්වේ “සියලුම මගීන් ආසනවල ඉඳ්දගෙන යා යුතුය” වැනි අනතුරු හැඟවීම්ද ප්‍රදර්ශනය කර තිබියදීය.

නාගදීපයේ හින්දු කෝවිල ඉදිරිපිට

බෝට්ටුවලට අය කරන්නේ ඉතාම සුළු මුදලකි. (එක පැත්තකට රුපියල් 60ක් පමණි.) මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඒ නිසා අයකරන ගාස්තුව වැඩිකර හෝ සෑම මගියකුටම ආසනයක් දිය යුතුය. නොමිලේ මගීන් ප්‍රවාහනය කරන ෆෙරි සේවාවක්ද තිබෙන නමුත් මගීන් බොහොමයක් කැමති බෝට්ටුවලින් යාමටය.

නාගදීප පන්සලේ ඇති පහසුකම්ද ඉතාම දුර්වල තත්වයක පවතී. වැසිකිළිවල වතුර බසින්නේ නැත. පන්සල් දොරටුවෙන් එහාට සෙරප්පු දමා යා නොහැක. ඒ නිසා වැසිකිළි යා යුත්තේ සෙරප්පු නැතිවය. මේවා කාගේ නීතිදැයි මටනම් නොතේරේ. බොරු භක්තියට වඩා ප්‍රායෝගික අවශ්‍යතාවන් ගැන සැලකිලිවත් වෙන හැටි බලන්නනම් තන්තිරිමලේ පූජා භූමියට ගොස් බලන්න. එහි ඇවිදින්නට සිදුවන්නේ ගිනියම් වූ ගල් පර්වත උඩ නිසා ලොකු හාමුදුරුවෝ පැමිණෙන සියල්ලන්ටම සෙරප්පු දමාගෙන පන්සලේ ඇවිදින්නට ඉඩ සලසා ඇත.

නාගදීපයට ගිය පසු මම තීරණය කළේ ආයෙනම් කිසිදිනක එහි යෑම වැනි ගොං වැඩක් නොකරන බවය.