බජාජ් පල්සර් සමග මගේ ප්‍රථම ප්‍රේමය දෙදරා යමින් පවතී……..


පල්සර් ඩිජිටල් පෙට්‍රල් මීටරය

පල්සර් ඩිජිටල් පෙට්‍රල් මීටරය

මම මෙතෙක් මිලදී ගෙන ඇත්තේ බජාජ් මොටර්සයිකල් පමණි. මුලින්ම පල්සර් 200 එකක් මිලදී ගත්තෙමි. දෙවනුව පල්සර් 150 එකක් පසුගිය නොවැම්බරයේ මිලදී ගත්තෙමි. මීට පෙර මම ලිව්වෙ බජාජ් පල්සර් මෝටර්සයිකල් වල හොඳ පැත්තය. ඒත් අද නම් යන්නේ බජාජ් පල්සර් මෝටර්සයිකල් වලට බැටේ දෙන්නටය. බජාජ් පල්සර් සමග මගේ ප්‍රථම ප්‍රේමය මේවන විට දෙදරා යමින් පවතී.

පළමු මොටර්සයිකල්  එකේ ඩිජිටල් පෙට්‍රල් මීටරය හරියට වැඩකලේ නැත. ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගැසූ විට පෙට්‍රල් සීරො පෙන්වය්. පෙට්‍රල් සීරො උන විටදි ෆුල් ටෑන්ක් පෙන්වයි. එය කීප වරක්ම රෙපෙයාර් කළත් කිසිම වැඩක් වුනේ නැත. අන්තිමට මෝටර්සයිකලය විකුනා දැම්මේද ප්‍රධාන වශයෙන්ම මේ නිසාමය.

මම මුලින් සිතුවේ ඩිජිටල් පෙට්‍රල් මීටරය අකර්මණ්‍ය වූයේ මගේ අවාසනාවට කියාය. ඒ ගැන නැවතත් දෙවරක් නොසිතා අලුත් පල්සර් 150 බයික් එකක් මිලදී ගත්තේ නැවුම් බලාපොරොත්තු ඇතිවය. නමුත් ගත්තු දාම බයිසිකලය ගෙදරට පැද ගෙන ඒමේදී රබර් ෆුට් රෙස්ට් එක බුරුල්වී ගැලවී ගියේය. ඒත් එක්කම ඩිජිටල් පෙට්‍රල් මීටරයේ ප්‍රශ්නයද මතු විය. බජාජ් සර්විස් සෙන්ටර් එකකදී එය රෙපෙයාර් කර අලුත් කෑලි දැමුවද කිසිම පළක් නොවීය. පසුව දැනගත්තේ බජාජ් පල්සර් වලට එන ඩිජිටල් පෙට්‍රල් මීටරය තවම පර්ෆෙක්ට් නොකල තාක්ෂණයක් බවයි. එහෙනම් ඔවුන් ඩිජිටල් පෙට්‍රල් මීටරය සවි කර  වෙළඳ පොලට නිකුත් කලේ මොන මළ මඟුලකටද?

තවමත් ශ්‍රී ලංකාවේ අලෙවිවන බයික් අතරින් සුන්දරම නිමාව ඇත්තේ බජාජ් පල්සර් 150 සහ 180 මොඩලයන්ටය. බයික් එක හරිම හුරුබුහුටිය. ඒත් ඒ සුන්දරත්වයට යටින් ඇත්තේ එතරම් හොඳ කොලිටි එකක් නොවේ.

මෙසේ ලියන මම සමහර විට ඊලඟටද පල්සර් එකක්ම මිලදීගත හැකිය. ඒ පල්සර් හොඳ නිසා නොව, බජාජ් සර්විස් සෙන්ටර්ස් හැමතැනම ඇති නිසාය.