ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු ආසන වෙන්දේසි කරමු.


මම දේශපාලනය ගැන යම් හෝ අදහසක් ඇතිකරගත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිටය. මා ඉපදුණේ 1972දී නිසාත් ජයවර්ධන මහතා අගමැති වූයේ 1977 නිසාත්, මහවිලච්චියේ “ගිනිපෙට්ටි පාලමේ” අදටත් දැකිය හැකි ජනතා විමුක්ති පෙරමුණෙන් 1982 ජනාධිපතිවරණ කාලයේ නොමැකෙන අයුරින් ලියන ලද බව සැළකෙන “මිනීමරු ජේ. ආර්. පන්නමු” යන වැකියත් නිසාත්, ගුවන් විදුලියෙන් සහ (පසු කලෙක රූපවාහිනියෙන්) නිරතුරුවම ඇසුණේ, දැක්කේ ජේ. ආර්. ගේ කතා සහ රුව නිසාත් ඔහු ගැන මට ඇත්තේ නොමැකෙන මතකයකි. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ධුරයේ සිටි නිසා මගේ හෝඩියේ පන්තියේ සිට අඹ යහළුවා වූ නවරත්න බණ්ඩා එකල හිතුවේ ජේ. ආර්. යනු පුද්ගලයෙක් නොව තනතුරක් බවය. 1982 ජනාධිපතිවරණය ආසන්නයේ ඔහු මගෙන් ඇහුවේ මේ සැරේ “ජේ. ආර්. කම” කාට යනු ඇතිද යන්නයි.

1982 සිට මේ වනතුරු විවිධ මැතිවරණ රාශියක් පැවැත්වුණ අයුරු මට හොඳින් මතකය. ජේ. ආර්. විසින් ඇතිකළ තක්කඩි පාලනය සහ දූෂිත මැතිවරණ ගැන මට හොඳින් මතකය. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ 1988 ජනාධිපතිවරණය කැරලිකාරී ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාවට තහනම් කළ අයුරු සහ මගේ උසස් පෙළ පන්තියේ මිතුරකු වූ කහටගස්දිගිලියේ හේමන්ත ඡන්ද බලයවත් නැති කොලුගැටයකුව සිටියදී, ජනාධිපත්වරණය දින වෙනත් ගමනක් යනවිට “දේශප්‍රේමී ජනතා පෙරමුණ” විසින් පනවා තිබූ “මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන දස දෙනාට වෙඩි තියනවා” යන මිනීමරු නීතිය නිසා වැදුණ වෙඩි පහරකින් අදටත් කකුලක් කොර ගහමින් යන හැටිද මතකය. අනුරාධපුරයේ සිටි යූ. එන්. පී. යේ තක්කඩි දේශපාලකයන් විසින් මැතිවරණ දිනවලදී මුදාහල භීෂණය නිසා කොතරම් මිනිසුන් වෙඩි පහරකා මිය ගියාද, තුවාල ලැබුවද යන සංඛ්‍යාලේඛන කොතැනක හෝ වාර්තාකර තිබේදැයි මම නොදනිමි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අකල් මරණයත් සමග පිං ජනාධිපතිකමක් ලැබුණ ඩී. බී. විජේතුංගගේ කාලයේදී බැරිම තැන යූ. එන්. පී මදකිපුණු අලියාට අන්තිමට චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරියේ දණනමන්නට සිදුවිය. “නෙළුම් කුමාරිය” සහ සාමයේ සංකේතය වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය වූ පසු වැඩි කලක් නොයාම පැවැත්වුණ කුප්‍රකට වයඹ මැතිවරණය නින්දිත ලෙස මහ දවල් කොල්ලකෑ හැටි ඔබට අමතක නැති යැයි සිතමි.

2005 දී දේශපාලනිකව ඉතාම අවාසි සහගතව තත්වයක සිටි එවකට අගමැති මහින්ද රාජපක්ෂ (කියන පරිදි කොටි ත්‍රස්තවාදීන් සමග ගිවිසුමක් ගසා හෝ) ඉතා සුළු බහිතරයකින් ජනාධිපති වූ ආකාරයත්, ඉතාම නිර්භීත ලෙස සහ මෝඩ ලෙස (වෙනම පැහැදිලි කළ යුතුය.) යුද්ධය දිනා ටික කලකින්ම ජනතාවට එපා වූ අයුරුත් ඔබට මතකය. සිය සෙල්ලක්කාර පුතුන්ගේ තුන් මෝඩ වික්‍රමයන් (adventures of the three idiots) සහ අඩුම තරමින් එක සහෝදරයකුගේ හෝ (කළ බව කියන) රාජ්‍ය දේපල කොල්ලකෑම සහ අසීමිත කොමිස් ගැසීම් නිසා වෙලාවටත් කලින් ගෙදර යාමට රාජපක්ෂ මහතාට සිදුවිණි. අන්තිමට දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සියල්ලම තමන්ට එදිරිව සිටියදී (against all odds) ඉතාමත් අපහසු ජනාධිපතිවරණයකින් ජයගෙන දැනට එම පදවිය දරයි.

මේ කෙටි ඉතිහාසය ඔබට මතක් කළේ වෙන කිසිවක නිසා නොව මගේ පහත දැක්වෙන කෙටි ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් ලෙස ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ භයානක කම ගැන මට තාර්කික උපදෙස් දුන් හිතවතියකගේ ප්‍රතිචාරයට මම ලියන්නට උත්සහ කළ පිළිතුර දුරදිග යාම නිසා වෙනම බ්ලොග් ලිපියක් පළකළ යුතුයැයි සිතුණ නිසාය. මෙන්න ඒ මගේ ෆේස්බුක් සටහන.

“මහවිලච්චියේ ප්‍රාදේශීය සභා ඡන්ද උණුසුම.

 

මේ මහවිලච්චියේ තාවකාලික දේශපාලන පක්ෂ කාර්යාල දෙකක්. තියෙන්නේ බෝගස් හන්දියේ. එකිනෙකට මුහුණලා තිබුණත් තවමනම් “අං පටලවාගෙන” නැහැ. (අපහාසයට ලියූවක් නොවේ “lock horns” යන ඉංග්‍රීසි යෙදුමේ සෘජු පරිවර්තනයකි. | no offense meant. Just the direct translation of the term “lock horns.”)

මේ පින්තූරවල ඉන්නා කිසිම කෙනෙක් මා හඳුනන්නේ නැත. හඳුනාගත්තත් ඔවුන්ට මගෙන් වැඩක් නැත. මම තවදුරටත් මහවිලච්චියේ ඡන්ද දායකයකු නොවෙමි. මම මහවිලච්චියේ ඡන්දදායකයකු වුවත් මම ඡන්දය පාවිච්චි නොකරමි. මා ඡන්දය පාවිච්චි කළ එකම අවස්ථාව 2005 ජනාධිපතිවරණයයි. විනාශකාරී යුද්ධය අවසන් කළ හැකි යයි සිතූ අපේක්ෂකයාට ඡන්දය දුන්නෙමි. ඔහු එය හොඳින් හෝ නරකින් ඉටු කළේය. ඊට පසු මගේ ඡන්දයෙන් කාටවත් පලක් නැති බව දැනගත් හෙයින් ඡන්දය දීමෙන් වැළකී සිටින්නෙමි.”

මීට එම මගේ හිතවතිය දුන් ඇයගේ ප්‍රතිචාරය මෙතන පලනොකරන්නේ ෆේස්බුක් යනු වැසුණ වපසරියක් (closed environment) තුළ සිදුවන ක්‍රියාවලියක් නිසාත්, එම වැසුණ වපසරිය තුළ ඇය තැබූ සටහන මෙහි පළකිරීම සදාචාර විරෝධී යයි හිතෙන නිසාත්ය.

කෙසේ හෝ, මම මුලින් ලියූ කෙටි මැතිවරණ ඉතිහාසය ඔබ හොඳින් විශ්ලේෂණය කළහොත් ඔබට දැනෙන්නේ මැතිවරණ වලදී ඡන්දදයකයන් ඒ සඳහා වැය කරන කාලය සහ රටක් ලෙස මැතිවරණ පැවැත්වීමට වැය කරන විශාල ධනස්කන්ධය සැබවින්ම බලාපොරොත්තු ප්‍රතිඵල ලබාදේදැයි සිතාබැලීම වටින බවයි.

ඔබ කැමති (හෝ අඩුවෙන්ම අකමැති) පුද්ගලයන් හෝ පක්ෂයන් බලයට පත්කළ පසු 1948 සිට මේ දක්වාම බලයට පත්වූ පුද්ගලයන් සහ පක්ෂ ජනතා කැමැත්ත හෝ මැතිවරණ පොරොන්දු ශත පහකට මායිම් නොකරන බව ඔබට පැහැදිලිවම දකින්නට පුළුවන. ජේ. ආර්. ජයවර්ධන වරක් පැවසුවේ “ මම මිනිසුන්ට ඇහුම්කන් දෙනවා, හැබැයි මම කරන්නේ මට ඕනේ දේ.” (I listen to people but I do what I want.) මෑත කාලයේදී නෙළුම් කුමාරියගේ සිට සුපිරිසිදු මහත්මයා (Mr. Clean) දක්වා අයත් ඊට පහළින් ඇමති, මැති, පළාත් සභිකයන් සහ ප්‍රාදේශීය සභිකයන් කරන්නෙත් මෙයම නොවේද?

මේ සියල්ල සලල්කිල්ලට ගත්කල මගේ සීමිත දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැනුමත් සැලකිල්ලට ගත් කළ මට හැඟෙන්නේ නිකං අපරාදේ ජනතා මුදල්, කාලය සහ සම්පත් විනාශකර මැතිවරණ පවත්වනවාට වඩා වඩාත් වැඩදායක වන්නේ පහළම මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා සියලු මැතිවරණ වෙනුවට එම සභිකයින්ගේ තනතුරු වෙන්දේසි කර වැඩිම ගණුම්කරුවාට ලබාදෙන එක වඩාත් වැඩදායී සහ කාලෝචිත බවයි. මෙය කියවන ඔබට තදවීමට පුළුවන. “ජනතා පරමාධිපත්‍ය” වෙන්දේසි කළ හැකිද යන්න ඔබ ප්‍රශ්න කළ හැක. ඒත් ඔබ මම දෙදෙනාම දන්නා කරුණ නම් එහෙම කෙහෙම්මලක් තිබුණානම් මහබැංකු කොල්ලය වැනි මගෝඩි වැඩ කරන විට ඔබට ඔවුන්ට දඬුවම් කිරීමට නොහැකිවුවත් ගෙදර යැවීමට වත් හැකි විය යුතුය. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී බලතල තිබෙන රටවල එහෙම වෙන බව ඔබ දන්නවා ඇත. මෙය recall election (also called a recall referendum or representative recall) ලෙස ස්විට්සර්ලන්තයේ හැඳින්වේ.

ඔබ පත්කරන ජනතා නියෝජිතයන් කරන්නේ ඔබේ කැමැත්ත හෝ අකමැත්තට ඉටුකිරීම පසෙක තබා ගමේ බෝක්කුවේ සිට මහා පරිමාණ ව්‍යපෘති දකවා සියලුම දේවල් ව්‍යාපාරික අරමුණුවලින් අනුව බව අපි දැන් හොඳින් පසක් කරගෙන සිටිමු. ඉතිං නැති ජනතා පරමාධිපත්‍යයක් ගැන කයිවාරු ගහනවා වෙනුවට මම යෝජනා කරන පරිදි ප්‍රසිද්ධ වෙදෙසියේ ඉහත තනතුරු වෙන්දේසි කර ඒ මුදල (කොල්ල කනබව දැන දැනත්) මහා භාණ්ඩාගාරයට යවා ඉහළ ලංසු තැබූ අයට බලය දී දැන් මේ ඉන්නවා වගේම බලාසිටිනු හැර අපට කළ හැකි යමක් තිබේද? ප්‍රසිද්ධ වෙන්දේසියේදී අනිවාර්යයෙන් මුදල් විසිකළ හැකි අය බලයට පත්වනු ඇත. ඔවුන් ව්‍යාපාරික අරමුණු අනුව රට පාලනය කරනු ඇත. දැන් සිදුවන්නේත් එයම නොවේද? ජනතා පරමාධිපත්‍යය නම් ටොෆි කොළය ඔතා අපිට දෙන්නේ තුට්ටු දෙකේ බුල්ටෝ එකක් නොවේද?

(මේ ලිපියේ සමහර තැන්වල වරහන් තුළ ඉංග්‍රීසි වචන යොදා ඇත්තේ එහි අදහස සිංහලෙන් හරියටම යෙදුවාදැයි මට සැකයක් ඇතිවුණ අවස්ථාවලදීය. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රාමාණික දැනුමක් මට නැතැයි සිතමි.)

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් මල් මිටක්


මුල්වරට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගැන ධනාත්මක පුවතක් අද දිවයින පුවත්පතෙන් කියෙව්වෙමි. අප නිතරම අසන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් ගැන ජුගුප්සාජනක පුවත් නිසා මෙම පුවතට පුංචි තල්ලුවක් දැමීම වටී. අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්. කේ. කේ. බුලත්සිංහල මහතා ඉතා ඥානවන්ත සහ නිර්භීත ක්‍රියාවක් කරමින් කිරි දරුවන් දෙදෙනෙකුගේ සංඥාවක් තේරුම් ගනිමින් ගඟක ගසාගෙන යමින් සිටි පියවරුන් දෙදෙනෙකුගේ ජීවිත දෙකක් බේරාගෙන තිබේ. මනා පුහුණුවක් ලද පිහිණුම්කරුවෙකුටවත් ගසා යන ජලයේදී එකවර ජීවිත දෙකක් බේරගැනීම ඉතාමත් අපහසු ක්‍රියාවකි. බුලත්සිංහල මහතාට අපගේ ප්‍රණාමය. සත්‍යවශයෙන්ම ඔහු මෙහිදී ක්‍රියා කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස නොවේ. වගකිවයුතු පුරවැසියකු ලෙසිනි.

දැන් අප බොහෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් සෘණාත්මක සිද්ධීන් සඳහා ප්‍රසිද්ධවීමට හේතු සලකා බලමු. ප්‍රධානතම හේතුවක් නම් ඔවුන්ගෙ වැටුප ඉතා සුළු මුදලක් වීමයි. ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 5000ක් පමණි. සමහර ප්‍රාදේශීය සභාවලනම් වෙනත් වියදම්ද එකතුකොට (ප්‍රාදෙශීය සභා ආදායම් ආදියෙන්) තවත් රුපියල් 5000ක් ලැබෙයි. මෙය සෑම ප්‍රාදේශීය සභාවකම ක්‍රියාත්මක නොවේ. බොහෝවිට ලැබෙන්නේ රුපියල් 5000ක් දීමනාව හා සභාවාරයකට සහභාගී වනවාට ලැබෙන සොච්චම් මුදලක් පමණි.  වාහනය ලැබෙන්නේ ප්‍රාදේශීය සභා සභාපතිට පමණි.

රුපියල් 5000න් ඔවුන්ගෙ මාසික ගමන් බිමන් සඳහා මෝටර්බයිසිකලයට පෙට්‍රල් ගසා ගැනීමටවත් බැරිය. රාජකාරී ගමන්, නොයෙකුත් රැස්වීම්, ඡන්දදායකයන්ගේ උත්සව, මඟුල් ගෙවල්, මලගෙවල්, කොටහළු ගෙවල් වලට යාමේදී කුමක් හෝ තෑග්ගකුත් ගෙනයාම සිරිතක් වී තිබේ. මේ සෑම දේටත්, මන්ත්‍රීවරයකු ලෙස හැඳ පැළඳ යාම සඳහාද තවත් මුදලක් වෙන්කළ යුතුය. ඊට අමතරව ඔහුට ඉහළින් සිටින දේශපාලකයන් හමුවීමට යාමේදීද, ඔවුන් ඔහුව බලන්නට පැමිණේමීදීද ඔවුන්ට පඬුරු පාක්කුඩම්, දඩමස්, අරක්කු සැපයිය යුතුය. මේ සියල්ලට ඔහුට ලැබෙන්නේ රුපියල් 5,000කට මඳක් වැඩි සොච්චමකි.

ඔවුන් මන්ත්‍රී ධුරය ලබාගන්නා මැතිවරණවලදී විශාල මුදලක් වියදම් කිරීමට සිදුවේ. ඒ මුදල් නැවත උපයාගත යුතුය. මැතිවරණ කටයුතු වලට මිතුරන්, ව්‍යාපාරිකයන්, නෑදෑයන්, ඡන්ද දායකයන් කළ උපකාරවලට ප්‍රති උපකාර කළ යුතුය. නැත්නම් ඊළඟ ඡන්දය පරදී. මේ සියල්ල කිරීමට මුදල් වුවමනා කෙරේ. රුපියල් පන්දාහෙන් මේවා කිරීමට බැරිය. ඒ නිසාය ප්‍රාදේශීය සභාවට බෙදාදෙන ලබන මුදල් වලින් කෙරෙන කොන්ත්‍රාත් කටයුතු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් බෙදා ගැනීමට සිදුවන්නේ. ඒ කොන්ත්‍රාත් වැඩ වලින් මුදල් සොයා ගැනීමට නම් අනිවාර්යයෙන්ම තත්වයෙන් බාල ඉදිකිරීම් සිදු කිරීමට සිදුවේ. කොමිස් ගැසීමට සිදුවේ. අයථා මාර්ග වලින් මුදල් රැස් කිරීමට සිදුවේ. ඒවා නැවත්වීමට එන ප්‍රාදේශීය ලේකම්ට, පොලිස් නිලධාරීන්ට ගැසීමට සිදුවේ. සත්‍යය මෙයයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනට ඊළඟට ඇති ප්‍රශ්නය නම් සීමිත බලයයි. ඔවුන්ට ඇත්තේ ඉතා සොච්චම් බලයකි. එහෙත් ඡන්දදායකයා ඔහුගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙයි. රැකියා, ඉඩම්, පොළෙන් හෝ වෙළඳ සංකීර්ණයෙන් තුට්ටු දෙකට කඩ කෑල්ලක් ආදී මෙකී නොකී දේවල් සියල්ල තම මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වේ. මේවා කිරීමට ප්‍රාදේශීය දේශපාලකයන් සතුව ඇත්තේ සීමිත බල පරාසයකි. ඒ නිසාම ඔවුන් නැති බලය පෙන්වීමට රාජ්‍ය නිලධාරීන්ට අඩම්තේට්ටම් කිරීම, පොලීසියට බාධා කිරීම, පහරදීම්, ස්ත්‍රීදූෂණ, මිනීමැරීම් කිරීමට පෙළඹෙති. ඒවා කිරීමෙන් පසු ඔවුන්ගේ ආණ්ඩු පක්ෂවලින් ඔවුන් බේරා ගන්නා නිසා ඔවුන් නැවත නැවතත් මෙම අපරාධ කිරීමෙන් තමන්ට නැති බලයක් ඇති බව පෙන්නති.

මේ හේතු දෙකට අමතරව ඇති තවත් ප්‍රධාන හේතුවකි කිසිම නිවැරදි පටිපාටියකින් තොරව අපරාධකරුවන්ටද ඒ ඒ දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා ලබාදීම සහ ඔවුන් අපරාධකරුවන් බව දැන දැනත් ජනතාව විසින් නැවත නැවතත් ඔවුන් ප්‍රාදේශීය සභාවලට තෝරා පත් කර ගැනීම.

කෙසේ හෝ මේවාට පිළිතුරුද ඇත. නිසැකවම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනට සාධාරණ වැටුපක් ගෙවිය යුතුය. ඔවුන්ට කොන්ද කෙළින් තබාගෙන වැඩකළ හැක්කේ එවිටය. එමෙන්ම ඔවුනට රජය ගණනේ අඩුම තරමින් මෝටර් බයිසිකලයක් වත් ලබා දිය යුතුය. අද පවතින දේශපාලනය තුළ ඔවුන්ගෙන් නිවැරදි සේවය ලබා නොගත්තත් මෙ මහජන ඡන්දයෙන් පත්වුණ, තම ගම් පළාත් දියුණු කිරීමට කැපවී සිටින වගකිවයුතු පිරිසකි. ඔවුනට නිවැරදි වැටුප් සහ පහසුකම් නොමැතිව ඔවුන්ගෙන් ඵලදායී සේවයක් බලාපොරොත්තු විය නොහැක.

අනෙක් කරුණනම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනට තම ප්‍රදේශ පාලනය සඳහා අවශ්‍ය තරමේ බලයක්ද පැවතිය යුතුය. එහෙත් එම බලය අද පැවරී තිබෙන්නේ ගමට පිටින් පත්වන ප්‍රදේශීය ලේකම් වරයා අතය. (බොහෝ ප්‍රාදේශීය ලේකම්වරු ඉතා අගනා සේවයක් කරන නීතිගරුක නිලධාරීන් බව මෙහිදී කිවයුතුය.) නමුත් ප්‍රදේශය දියුණුකර ගැනීමට, ප්‍රදේශවාසීන්ටත් තමන්ගේ නියෝජිතයන්ටත් අවශ්‍ය බලය තිබිය යුතුය. තමන්ගේ ගමේ අවශ්‍යතා මොනවාදැයි හරියටම දන්නේත්, ගම ගැන කැක්කුමක් ඇත්තේත් ගැමියන්ටමය. ඔවුන්ගේ නියෝජිතයන්ටය.