පියසේන කහඳගමගේ ලියූ “බින්තැන්නේ විත්ති” මම ඉතා ආශාවෙන් කියවූ කෘතියකි. මම කිහිප වතාවක්ම දඹානට ගොස් වැදි ජනතාව සහ වැදි නායක ඌරුවරිගේ වන්නියා නායක ඇත්තන්ව හමුවී ඇති නිසා මෙම පොතේ තිබූ කරුණු වඩාත් ලෙහෙසියෙන් අවබෝධ කර ගැනීමට පහසු විය. එසේ වූයේ කාලයත් සමග වැදි ජනතාව භෞතික වශයෙන් කොපමණ වෙනස් වුවත් ඔවුන් අධ්‍යාත්මික වශයෙන් ඔවුන්ගේ ඇදහිලි ක්‍රම සහ සංස්කෘතිය තවමත් පවත්වාගෙන යන හෙයිනැයි මට සිතේ.
මේ පොතේ කතුවරයා වන කහඳගමගේ මහතා 1968 සිට 1983 දක්වා අවුරුදු 15ක් ම වැදි ගෝත්‍ර සහිත ප්‍රදේශවල ගුරු වෘත්තියේ යෙදෙමින් ලද අත්දැකීම් වලින් ලැබුණ පන්නරය මත පොත ලියවී ඇත. වැද්දන්ගේ යාදිනි, මන්තර, කවි හා වැදි ගී මෙම කෘතියට අයත්ය. එමෙන්ම වැද්දන් වීම නිසාම ඔවුන්ට මුහණ පෑමට සිදුවූ අනේකවිධ අතවරයන් සහ අසාධාරණයන් ගැනද කතුවරයාගේ අනුකම්පාව මොනවට පෙන්නුම් කරයි.
වරෙක නවකතාවක් මෙන් රසවත් මෙම කෘතිය තවත් වරෙක පර්යේෂණ ග්රන්ථයකි. තවත් වරෙක එය ඉතිහාස කතාවකි. එමෙන්ම එය මානව විද්‍යා (anthropology) ග්රන්ථයකි.
වැදි ජනතාව දකිනවිට ඔබට සිතෙන්නේ ඔවුන් ඉතාම ගොරහැඩි රෞද්‍ර ගෝත්‍රිකයන් පිරිසක් ලෙසය. එහෙත් ඔබ ඔවුන් සමග මද වෙලාවක් ගතකරන විට ඔවුන්ගේ භයංකර කෙස්වැටි වලට සහ රවුල්වලට යටින් ඔබ කෙරෙහි ඔවුන්ගේ ඇති ලෙන්ගතුකම මතුවෙයි. කහඳගමගේ මහතා බොහෝ කාලයක් පුරා වැද්දන් නිරීක්ෂණය කළ වැද්දන්ගේ සැබෑ මිතුරෙකි.
ශීඝ්‍ර වෙනසකට භාජනය වන මානව හැසිරීම සහ සිතුම් පැතුම් වැදි ජනතාවට ඒ වේගයෙන්ම නොපැමිණේ. ඔවුන්ගේ වෙනස ඉතා සෙමින්ය. එහෙත් සෙමින් වුණත් ඔවුන් වෙනස් වෙමින් සිටින්නේ වෙනසට සංවේදී නොවන ජීවීන් සොබාදහම විසින් ප්‍රතික්ෂේප කරන බව ඔවුන්ට වැටහී ඇති නිසා විය හැක. දඹානේ ගුරුකුඹුර ප්‍රාථමික විදුහල සහ දඹාන මහ විදුහල මේ වෙනසේ පෙරගමන්කරුවන් කරුවන් වී ඇතිවාට කිසිම සැකයක් නැත. නාගරීකරණය සහ වැදිගම්මාණය සංචාරක ආකර්ෂණයට ලක්වීමද මේ වෙනසට දායක වී ඇත. ඒ සියලුම වෙනස්කම් මධ්‍යයේ අතීතයේ වැද්දන් ජීවත් වූ අයුරු කහඳගමගේ විසින් මෙසේ වාර්තාගත කිරීම ගැන අපි සැවොම ඔහුට කෘතඥ විය යුතුය.