ඒ ජෝසෆ් ස්ටාලින් සහ මේ ජෝසෆ් ස්ටාලින්


ජෝසෆ් ස්ටාලින් සහ ජෝසෆ් ස්ටාලින්

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් තම පුතුන්ට දැමීම බොහෝ කලක සිට දෙමාව්පියන්ගේ සිරිතකි. ට්‍රෝජන් යුද්ධයේ වීරයා වූ ක්‍රිස්තු පූර්ව 300ටත් එහා සිටියා යයි සැලකෙන ඇකිලිස්ගේ නමින් ග්‍රීක දරුවන් තවමත් නම් කෙරේ. කලකට පෙර ක්‍රිකට් ලොව ලෝක පූජිත පිතිකරුවන් පවා අසරණ කළ වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් දෙදෙනාගේ නම් ශ්‍රී ලංකාවේ එකම පවුලේ නිවුන් මුස්ලිම් දරුවන් දෙදෙනෙකුට දමා තිබුණු බව මට මතකය. සනත් ජයසූරිය දිගට හරහට පොල් අඩි ගැසූ කාලයේදී ඉන්දියානු දරුවන් ජයසූරිය නමින් නම් කළ බව එකල අසන්නට ලැබිණි. මේ අයුරින්ම ජෝන් වෙයින්ගේ, රජිනිකාන්ත්ගේ, දිලිප් කුමාර්ගේ නම්ද දෙමව්පියන් තම පුතුන්ට දැමූහ.

සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින් කොමියුනිස්ට්කාරයන්ට පවා තිත්ත වූ නායකයෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ ජෝසෆ් ස්ටාලින්ගේ පියා ඔහුගේ පුතාට ජෝසෆ් ස්ටාලින්ගේ නම දැම්මේය. ජෝසෆ්ගේ පියාද වෘත්තීය සමිති සටන් කරුවෙක් බව කියැවේ. මෙය පුදුමවීමට කරුණක් නොවේ. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නම පවා තම පුතුන්ට දැමූ ජර්මානු පියවරු සිටි බව කියැවේ.

Winston Churchill, Franklin Roosevelt and Joseph Stalin (Courtesy BBC News)

මම දැන් කියන්නට යන්නේ ශ්‍රී ලංකා ගුරු සංගම් ක්ෂේත්‍රයේ රොක් තරුව (rock star) වන ශ්‍රී ලංකාවෙ ජෝසෆ් ස්ටාලින් ගැනය. ගුරු සංගම් හැටහුටහමාරක් තිබ්බත් ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වර්තමාන icon එක ජෝසෆ්ය. අනෙක් ගුරු වෘත්තීය සමිති නායකයන් හුදෙක් also-ransලා පමණය. වෘත්තීය සමිති නායකයෙක් ලෙස ජෝසෆ්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් මට වඩා කදිමට අජිත් පැරකුම් ජයසිංහ ලියා ඇත. කැමති නම් කියවන්න. (කාලකණ්ණි ගැන වැඩිදුර සාකච්ඡා)

සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් අතිශයින්ම කෲර පාලකයෙකි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් අතිශයින්ම මානව හිතවාදී කුරා කුහුඹුවෙකුට වත් අනතුරක් කිරීමට අකමැති අවිහිංසාවාදියෙකි. සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින් දැඩි මර්දනකාරී පාලනයක් ගෙනගිය පාලකයෙකි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගුරුවරුන් වෙනුවෙන් ගුරු සටන් මෙහෙයවන නායකයෙකි. සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් තම පුද්ගලික වාසිය සඳහා සමාජවාදී ප්‍රතිපත්ති තුට්ටුවකට මායිම් නොකර පුද්ගලවාදී ප්‍රතිපත්ති ගෙනගිය නායකයෙකි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් තුවක්කුවක් ඔළුවට එල්ල කළත් තම ප්‍රතිපත්ති පාවා නොදෙන නායකයෙකි. සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් මහජන මුදල් කොල්ල කෑවා දැයි මම නොදනිමි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් කිසිදු විටෙක මහජන මුදල් කොල්ල නොකන බව මම තදින්ම විශ්වාස කරමි.

ජෝසෆ් ස්ටාලින් මට හමුවූයේ අහම්බෙනි. මට මතක හැටියට ඒ මීට වසර විස්සකටත් පෙර මම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මුලින්ම ඉගැන්වූ පාසලේ මට යම්කිසි අසාධාරණයක් වුණ බව ඔහු අහම්බෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්‍යාලයේදී කාගෙන් හෝ දැනගත් විටදීය. එදා කලාප අධ්‍යාපන කාර්යාලයට මම ගියේ ගුරු වෘත්තිය ගැන හොඳටම කලකිරී මගේ ඉල්ලා අස්වීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට භාර දීමටය. ඒ වනවිට මම දැන සිටි එකම ජෝසෆ් ස්ටාලින් සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් පමණි.

ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන සිටි මේ අරුම පුදුම නමක් ඇති මිත්‍රශීලී තරුණයා, ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින්, ඔහුව හඳුන්වා දී අවශ්‍ය නම් මගේ ප්‍රශ්නයට මැදිහත් වීමට හැකි යැයි පැවසූ නමුත් ඒ සඳහා ඔහු නියෝජනය කළ ලංකා ගුරු සංගමයට බැඳෙන ලෙස මගෙන් කප්පම් ඉල්ලුවේ නැත. මම ඔහුගේ මැදිහත්වීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේ වෘත්තීය සමිතිවලට අකමැති නිසාත්, කිසිදු ගුරු වර්ජනයකට එකදු දිනක් හෝ මම සහභාගි වී නොමැති නිසාත්ය. ඊට පසු මම කැමතිනම් රාවය පුවත්පතට හෝ BBC සිංහල සේවයට හෝ මගේ ප්‍රශ්නය ඉදිරිපත්පත් කිරීමට මග සලසා දීමට හැකි බව ඔහු පැවසුවේය. ඒත් මම එයත් ප්‍රතික්ෂේප කළේ මට අවශ්‍ය වුණේ මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වීමට වඩා ඉල්ලා අස්වීම බාරදී ගෙදර ගොස් කුඹුරු කෙටීම ඊට වඩා යහපත් බව හැඟුණ නිසාය. (ඒ වනවිට කිසිදු ජනමාධ්‍යක මා ගැන සදහනක් නොතිබූ නිසා ප්‍රසිද්ධියට කෑදර වූයේ නම් ජෝසෆ් ලබාදුන් මේ අවස්ථාවන් දෙකම දෑතින්ම බදාගැනීමට මට හැකියාව තිබිණි.)

Joseph Stalin being given a forcible bus ride to a Corvid Quarantine Center

ඉන් පසුව බොහෝ වරක් මට ජෝසෆ් හමුවිය. ඔහු වැඩ කළ මගේ ගමට ආසන්නයේ ඇති වන්නි හැලඹෑව විදුහලට ද ඉන්පසු ඔහු වැඩ කළ සඳසිරි දුනුවිල නම් සුන්දර කඳුකර ගම්මානයේ පාසලටද මම ඔහු සමඟ ගොස් ඇත. කොළඹ දී ද ඔහු හමුවී ඇත. ඔහුත් සමග ප්ලේන් ටී බී ඇත. දිනක් ගුරු සංගම් කාර්‍යාලය කිට්ටුව පෙට්ටි කඩයක් තුළදී එකම බත් මුල බෙදාගෙන කෑවාද මතකය. එක් රාත්‍රියකදී මහවිලච්චියේ ගුරු යුවලකගේ ගෙදරදී ෂොට් එකකුත් දමා ඇත.

නමුත් මම කිසිම දිනක කිසිදු ගුරු සංගමයකට බැඳී නැත. ගුරු සංගම් වලට විරුද්ධද නැත. ගුරුවරුන් අනෙකුත් වෘත්තිකයන් මෙන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගත්තාට මට ඇති රුදාවක්ද නැත.

මම ජෝසෆ් ගැන මෙසේ ලියන්නේ ජෝසෆ් මම පුද්ගලිකවම අඳුනන නිසා “මෑන් අපේ එකෙක්, අපි ඌව රකින්න ඕන” කියන බොළඳ මානසිකත්වයෙන් නොවේ. මගේ ගමේ වූ නිසා, මගේ පාසලේ නිසා, මගේ කල්ලියේ නිසා ඕනෑම පාදඩයෙක් රැකියයුතුයි කියන මතයේ සිටීමට මට ඇවැසි නැත. සමහරවිට මගේ ඊළඟ ලිපියකදී ජෝසෆ්ගේ සමහර ක්‍රියාකලාපයන් විවේචනය වියහැක. එවන් ලිපියක් ලියවුණත් ජෝසෆ් බඩ අල්ලාගෙන සිනාවෙනවා මිස ඔහු නිවැරදියැයි සිතන ඔහුගේ ක්‍රියාකලාපයන් කිසිවක් වෙනස් කරන්නේද නැත.

මම දෙවරක්ම ජෝසෆ් සමග අං පටලවාගෙන (lock horns) ඇත. ඕනෙමනම් ඉදිරියේදීත් එසේ කළහැක. එහෙත් අපේ මිත්‍රත්වය එයින් පලුදු නොවනු ඇත. ඔහුත් මාත් දෙදෙනාම පැටලෙනවානම් පැටලෙන්නේ තාර්කික සහ ප්‍රායෝගික කරුණු මූලික කොටගෙන මිස “අරූ මට කෙළියා. මාත් ඌට හොඳ කෙලවිල්ලක් කෙළවන්නම්” යන අරමුණින් නොවන නිසාය.

මම ගුරු සංගම් වලට සම්බන්ධ නොවීම සහ වර්ජනය නොකිරීම මගේ පුද්ගලික තීරණයකි. මම වඩාත් සතුටු වන්නේ මගේ සිසු දරු දැරියන් සමඟ හැකි වැඩිම කාලයක් ගත කිරීමෙනි. එය මා සතු අයිතියකි. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල දරු දැරියන්ට උගන්වා ඇති මම දැන් වුණත් ශ්‍රී ලංකා පාසලක ඉගැන්වීම්ට කැමැත්තෙමි. එයට හේතුව මම තාමත් විශ්වාස කරන්නේ වැඩිම පිරිසකට ඉගැන්වීමට තිබෙන හොඳම ස්ථානය වන්නේ රජයේ පාසල බවය. විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත ඈත ගමක දරුවන්ට නැවතත් ගහක් යට ඉගැන්වීමට මම තවමත් සිහින දකිමි. නමුත් මේ වන විට එය කළ නොහැක්කකි. ඒ ගැන යම් කණගාටුවක් දැනුනත් මා රජයේ පාසල් දෙකක අවුරුදු හතරක් තුළ කළ රැකියාව සම්බන්ධයෙන් මට බොහෝ සතුටුවිය හැක.

මම දැන්නම් කොහොමත් වර්ජනය නොකරමි. මීට වසර විස්සකට පමණ පෙර මා රජයේ ගුරු වෘත්තියෙන් ඉවත්වූ නිසා මම ඔළුවෙන් හිටගෙන වර්ජනය කළත් කාටවත් දැනෙන්නේවත්, වැඩක් ඇත්තේවත් නැත.

Good old days of my teaching to the children in Mahawilachchiya

පැය හතක් බලා සිට අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ටිකට් එක කපා ගතිමි.


hospital-visitors

මුලින්ම කිවයුත්තේ මේ ලිපිය ලිව්වා කියා කිසිම වැඩක් නොවෙන බවය. මේ ලිපිය ලියනවාට වඩා ඒ වෙනුවට ඒ වෙලාවේ වෙනත් වැඩක් නැත්නම් යු ටියුබ් එකෙන් රාජිත සේනාරත්නගේ කතාවක් ඇසුවානම් හොඳය.

මම ගිය සෙනසුරාදා රෝහල්ගත වූයේ සති පහක් තිස්සේ පැවතුන උණ රෝගය නිසාය. පස් වතාවක්ම රජයේ රෝහල්වල OPD වලින් බෙහෙත් ගත්තත් සුව නොවුන නිසා මහවිලච්චියේ ග්‍රාමීය රෝහලට ඇතුළත් වුණෙමි. එහි සිටි වෛද්‍යවරිය කාරුණිකව පැවසුවේ මහවිලච්චිය රෝහලේ රුධිර පරීක්ෂණ පහසුකම් නැති නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාව යැවීමට සිදුවිය හැකි බවයි. අපෙන්ම  එකතු කරන බදු මුදලින් මෙවැනි සරල පහසුකමක්වත් සැපයීමට ග්‍රාමීය රෝහලකට පහසුකම් ලබා නොදුන්නත් මැති ඇමතිවරුන්ට (xx) අමාරුවටත් සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් සුපිරි පෞද්ගලික රෝහලට යවා ජනාධිපති අරමුදලින් බිල් ගෙවීම ගැන මමනම් මොකුත් නොකියන්නේ එතුමන්ලාට අපිට මෙන් රස්තියාදුවීමට හෝ ජනතා සේවය අනතුරට හෙළා එතුමන්ලාගේ සෞඛ්‍යයය සමග සෙල්ලම් කිරීමට බැරි බවහොඳින්ම දන්නා බැවිනි. (සෙල්ලම් කරනවානම් සෙල්ලම් කල හැක්කේ ජනතාවගේ සෞඛ්‍ය සමග අප තේරුම්ගෙන බොහෝ කල්ය.)

මහවිලච්චිය රෝහලේ වෛද්‍යවරිය පැවසූ පරිදිම තවත් උණ රෝගියකු සමග ගිලන් රථයකින් මාව අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවිණි. අනුරාධපුරයට යෑමට මගේ කිසිම කැමැත්තක් නොතිබුණේ මින් පෙර කිහිපවරක්ම මෙලෙසම අනුරාධපුරයට යැවුණත් එහිදී ලැබුණ නොසැලකිලිමත් ප්‍රතිචාර සහ ප්‍රතිකාර නිසා සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව ගෙදර යාමේ සුන්දර අත්දැකීම් තිබුණ නිසාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවකට මාව ඇතුල්කල නමුදු මට ඇඳක් හෝ ඉඳගැනීමට පුටුවක් හෝ නොතිබුණි. මටත් වඩා අපහසුවෙන් සිටි දුබල සහ  වයසක රෝගීන් බිම වාඩිවී හෝ වැතිර සිටිද්දී මට ආසනයක් බලාපොරොත්තු වීම වැරදිය. ඇවැසි නම් හඳුනන වෛද්‍යවරයකුගේ, හෙදියකගේ හෝ රෝහල් කාර්යමණ්ඩලයේ කෙනෙකුට ඇමතුමක් දී මට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබා ගැනීමට හැකියාවක් තිබුණත් එවැන්නක් කිරීමට හිත හදාගැනීමට බැරිවීම මගේ පුද්ගලික දුර්වලතාවයක් විය හැක.

සුපුරුදු පරිදි පැයකට වඩා බලාසිටිමුත් රෝහල් කාර්යමණ්ඩලයේ කිසිවකු මා වෙත පැමිණියේ නැත. (හදිසි අනතුරු වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයන් මෙසේ නොවනු ඇතැයි සිතමි.) පැයකට පමණ පසු වෛද්‍යවරයකු මා කැඳවා මගේ රෝග ස්වභාවය සඳහන් කරගනිමින් ඇවැසි පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහන් කළේය. තවත් කාරුණික රෝගියකු ඔහුත් සමග ඔහුගේ රෝහල් ඇඳ මා හා බෙදාගැනීමට ආරාධනා කළේය. මෙතැන් සිට සිදුවූ කියාවලිය විස්තර කරමින් ඔබගේ මෙන්ම මගේද කාලය නාස්ති කිරීමට නොයන්නෙමි.

සඳුදා පැමිණි විශේෂඥ වෛද්‍යවරයා මගේ පරීක්ෂණ ප්‍රතිඵල බලා මම සුව වූ බව තීරණය කර රෝහලින් බැහැර කළයුතු රෝගියකු ලෙස නම් කර මට ගෙදර යාහැකි බව කීවේය. මම නැවතත් ඔහුගෙන් විමසා එය තහවුරු කරගත්තේ ඔහු මොනවා කීවත් ඔහුගේ කණිෂ්ඨ වෛද්‍යවරුන් පිස්සු කෙළිය හැකි බව මම අත්දැකීමෙන් දන්නා නිසාය. ඔහු මගේ ඇස් පරීක්ෂණය සඳහා අක්ෂි වෛද්‍යවරයකුට යොමුකළ හැකි බව කිව්වත් මම එක හෙළාම එය ප්‍රතික්ෂේප කළේ හැකි ඉක්මනින් රෝහලෙන් පිටවී “මගේ සෞඛ්‍ය මමම බලාගත යුතු බව” මට හොඳින් වැටහී තිබුණ නිසාය.

සාමාන්‍යයෙන් “ටිකට් කැපීමේ මහා පින්කමට” රෝහල පැය දෙක තුනක් ගන්නා නිසා මම නැවතත් සුපුරුදු පරිදි පොතක් කියවමින් සිටියෙමි. නමුත් පැය 6ක් ගතවීත් මගේ “ටිකට්” නොකැපූ නිසා මම ප්‍රධාන හෙද නිලධාරියාගෙන් ඒ ගැන විමසීමි. ඔහු කිව්වේ ඒ වන විට සේවයේ නියුතු වෛද්‍යවරියන් දෙදෙනාම අලුත් නිසා වෙනදාට වඩා වැඩි වෙලාවක් යන බැවින් මගේ වාරය පැමිණෙන තෙක් වාඩිවී සිටින ලෙසයි. එහෙත් වෛද්‍යවරියන් දෙදෙනා කොපමණ අළුත් වුවත් ඔවුන් “අකුරු දන්නේනම්” පැය 6ක් යනතුරු මා රස්තියාදු නොකරන බවට මට මඳ හෝ විශ්වාසයක් තිබුණ බැවින්, මම හෙද නිලධාරිවරයාගෙන් කාරුණිකව ඇසුවේ අඩුම තරමින් මගේ “ටිකට් එක” වෛද්‍ය වරියන්ගේ මේසය මත තිබෙනවාද නැද්ද යන්නවත් මට සැකහැර දන්වන ලෙසයි.

මම හිතුවා හරියටම හරිය. වෛද්‍යවරියන් ළඟ මගේ “ටිකට් එක” නොතිබුණි. හෙද නිලධරයා එය ජයග්‍රාහී ලෙස ඔහුගේ මහා පොත් රාජයාගෙන් එළියට ගත්තේ ඔහුගේ අතපසුවීම සම්බන්ධයෙන් නිකමට හෝ සමාව අයදීමක් තියා කනගාටුව පළකිරීමක් හෝ නොකොටය. එය වෛද්යවරියන්ගේ මේසයට යැවිණි. එකිනෙකාට මීටර කිහිපයක් ඉදිරියෙන් සිටින අනෙකාගේ මේසයට “ටිකට් එක” පැය 6ක් නොගියේ ඇයි වැනි මෝඩ ප්‍රශ්න ඔබ නොඇසිය යුතුය. පැය 6ක් තිස්සේ මේසයෙන් මේසයට යන්නට පෙරුම් පුරමින් සිටි මගේ “ටිකට් එක” වෛද්‍යවරිය විසින් තවත් පැයක් පමාකර ජයග්‍රාහී පැය 7ක ප්‍රමාදයකින් පසු අවැසි රාජකාරී කර මට ගෙදර යාමට අවසර ලැබුණි. (ඒ වන විට රාත්‍රී 8.00ටත් ආසන්න වී තිබුණි.)

රජයේ රෝහල්වල ඇති සේවක හිගය අපට අවබෝධ කරගත හැකිය. ඒ නිසා ඔවුන්ට වැඩ අතපසු විය හැක. වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට, තාක්ෂණික හා කාර්මික ශිල්පීන්ට මෙන්ම සුළු සේවකයන්ටත් දරාගත නොහැකි වැඩ ප්‍රමාණයක් ඇති බව බැලූ බැල්මට පෙනේ. එහෙත් මේ කිසිම සේවක වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවකදී, උද්ඝෝෂණයකදී, වර්ජනයකදී සේවක හිඟය ගැන මේ කිසිවකු කතා කරනවා මම දැක නැත. (මා වැරදි නම් නිවැරදි කරන්න.) අලුතින් සේවකයන් බඳවා ගැනීමට ඇති විකල්ප ක්‍රම සහ සේවකයින්ගේ වෘත්තීය ශක්‍යතා දියුණු කරන අටියෙන් රජයයන් ගෙන ආ ක්‍රමවලට විරෝධය දක්වන්නේ මොවුන්මය. ඉතින් අපිත් (බදුත් ගෙවා) පැය 7ක් නොව දින 7ක් වුවත් ප්‍රමාදවී “නිදහස් වෛද්‍ය සේවයේ” ස්වර්ණමය පල විඳිමු.

(මේ ලිපියෙන් ඉතා අපහසු තත්ත්ව යටතේ බොහෝ කැපවීමෙන් සේවය කරන කිනම් මට්ටමක හෝ සේවකයකුට හෝ වෘත්තිකයකුට රිදවීම මගේ අරමුණ නොවේ.)

My earlier posts about government hospitals.

  1. Sri Lankan Government Hospitals Online

 

ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු ආසන වෙන්දේසි කරමු.


මම දේශපාලනය ගැන යම් හෝ අදහසක් ඇතිකරගත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිටය. මා ඉපදුණේ 1972දී නිසාත් ජයවර්ධන මහතා අගමැති වූයේ 1977 නිසාත්, මහවිලච්චියේ “ගිනිපෙට්ටි පාලමේ” අදටත් දැකිය හැකි ජනතා විමුක්ති පෙරමුණෙන් 1982 ජනාධිපතිවරණ කාලයේ නොමැකෙන අයුරින් ලියන ලද බව සැළකෙන “මිනීමරු ජේ. ආර්. පන්නමු” යන වැකියත් නිසාත්, ගුවන් විදුලියෙන් සහ (පසු කලෙක රූපවාහිනියෙන්) නිරතුරුවම ඇසුණේ, දැක්කේ ජේ. ආර්. ගේ කතා සහ රුව නිසාත් ඔහු ගැන මට ඇත්තේ නොමැකෙන මතකයකි. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ධුරයේ සිටි නිසා මගේ හෝඩියේ පන්තියේ සිට අඹ යහළුවා වූ නවරත්න බණ්ඩා එකල හිතුවේ ජේ. ආර්. යනු පුද්ගලයෙක් නොව තනතුරක් බවය. 1982 ජනාධිපතිවරණය ආසන්නයේ ඔහු මගෙන් ඇහුවේ මේ සැරේ “ජේ. ආර්. කම” කාට යනු ඇතිද යන්නයි.

1982 සිට මේ වනතුරු විවිධ මැතිවරණ රාශියක් පැවැත්වුණ අයුරු මට හොඳින් මතකය. ජේ. ආර්. විසින් ඇතිකළ තක්කඩි පාලනය සහ දූෂිත මැතිවරණ ගැන මට හොඳින් මතකය. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ 1988 ජනාධිපතිවරණය කැරලිකාරී ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාවට තහනම් කළ අයුරු සහ මගේ උසස් පෙළ පන්තියේ මිතුරකු වූ කහටගස්දිගිලියේ හේමන්ත ඡන්ද බලයවත් නැති කොලුගැටයකුව සිටියදී, ජනාධිපත්වරණය දින වෙනත් ගමනක් යනවිට “දේශප්‍රේමී ජනතා පෙරමුණ” විසින් පනවා තිබූ “මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන දස දෙනාට වෙඩි තියනවා” යන මිනීමරු නීතිය නිසා වැදුණ වෙඩි පහරකින් අදටත් කකුලක් කොර ගහමින් යන හැටිද මතකය. අනුරාධපුරයේ සිටි යූ. එන්. පී. යේ තක්කඩි දේශපාලකයන් විසින් මැතිවරණ දිනවලදී මුදාහල භීෂණය නිසා කොතරම් මිනිසුන් වෙඩි පහරකා මිය ගියාද, තුවාල ලැබුවද යන සංඛ්‍යාලේඛන කොතැනක හෝ වාර්තාකර තිබේදැයි මම නොදනිමි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අකල් මරණයත් සමග පිං ජනාධිපතිකමක් ලැබුණ ඩී. බී. විජේතුංගගේ කාලයේදී බැරිම තැන යූ. එන්. පී මදකිපුණු අලියාට අන්තිමට චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරියේ දණනමන්නට සිදුවිය. “නෙළුම් කුමාරිය” සහ සාමයේ සංකේතය වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය වූ පසු වැඩි කලක් නොයාම පැවැත්වුණ කුප්‍රකට වයඹ මැතිවරණය නින්දිත ලෙස මහ දවල් කොල්ලකෑ හැටි ඔබට අමතක නැති යැයි සිතමි.

2005 දී දේශපාලනිකව ඉතාම අවාසි සහගතව තත්වයක සිටි එවකට අගමැති මහින්ද රාජපක්ෂ (කියන පරිදි කොටි ත්‍රස්තවාදීන් සමග ගිවිසුමක් ගසා හෝ) ඉතා සුළු බහිතරයකින් ජනාධිපති වූ ආකාරයත්, ඉතාම නිර්භීත ලෙස සහ මෝඩ ලෙස (වෙනම පැහැදිලි කළ යුතුය.) යුද්ධය දිනා ටික කලකින්ම ජනතාවට එපා වූ අයුරුත් ඔබට මතකය. සිය සෙල්ලක්කාර පුතුන්ගේ තුන් මෝඩ වික්‍රමයන් (adventures of the three idiots) සහ අඩුම තරමින් එක සහෝදරයකුගේ හෝ (කළ බව කියන) රාජ්‍ය දේපල කොල්ලකෑම සහ අසීමිත කොමිස් ගැසීම් නිසා වෙලාවටත් කලින් ගෙදර යාමට රාජපක්ෂ මහතාට සිදුවිණි. අන්තිමට දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සියල්ලම තමන්ට එදිරිව සිටියදී (against all odds) ඉතාමත් අපහසු ජනාධිපතිවරණයකින් ජයගෙන දැනට එම පදවිය දරයි.

මේ කෙටි ඉතිහාසය ඔබට මතක් කළේ වෙන කිසිවක නිසා නොව මගේ පහත දැක්වෙන කෙටි ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් ලෙස ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ භයානක කම ගැන මට තාර්කික උපදෙස් දුන් හිතවතියකගේ ප්‍රතිචාරයට මම ලියන්නට උත්සහ කළ පිළිතුර දුරදිග යාම නිසා වෙනම බ්ලොග් ලිපියක් පළකළ යුතුයැයි සිතුණ නිසාය. මෙන්න ඒ මගේ ෆේස්බුක් සටහන.

“මහවිලච්චියේ ප්‍රාදේශීය සභා ඡන්ද උණුසුම.

 

මේ මහවිලච්චියේ තාවකාලික දේශපාලන පක්ෂ කාර්යාල දෙකක්. තියෙන්නේ බෝගස් හන්දියේ. එකිනෙකට මුහුණලා තිබුණත් තවමනම් “අං පටලවාගෙන” නැහැ. (අපහාසයට ලියූවක් නොවේ “lock horns” යන ඉංග්‍රීසි යෙදුමේ සෘජු පරිවර්තනයකි. | no offense meant. Just the direct translation of the term “lock horns.”)

මේ පින්තූරවල ඉන්නා කිසිම කෙනෙක් මා හඳුනන්නේ නැත. හඳුනාගත්තත් ඔවුන්ට මගෙන් වැඩක් නැත. මම තවදුරටත් මහවිලච්චියේ ඡන්ද දායකයකු නොවෙමි. මම මහවිලච්චියේ ඡන්දදායකයකු වුවත් මම ඡන්දය පාවිච්චි නොකරමි. මා ඡන්දය පාවිච්චි කළ එකම අවස්ථාව 2005 ජනාධිපතිවරණයයි. විනාශකාරී යුද්ධය අවසන් කළ හැකි යයි සිතූ අපේක්ෂකයාට ඡන්දය දුන්නෙමි. ඔහු එය හොඳින් හෝ නරකින් ඉටු කළේය. ඊට පසු මගේ ඡන්දයෙන් කාටවත් පලක් නැති බව දැනගත් හෙයින් ඡන්දය දීමෙන් වැළකී සිටින්නෙමි.”

මීට එම මගේ හිතවතිය දුන් ඇයගේ ප්‍රතිචාරය මෙතන පලනොකරන්නේ ෆේස්බුක් යනු වැසුණ වපසරියක් (closed environment) තුළ සිදුවන ක්‍රියාවලියක් නිසාත්, එම වැසුණ වපසරිය තුළ ඇය තැබූ සටහන මෙහි පළකිරීම සදාචාර විරෝධී යයි හිතෙන නිසාත්ය.

කෙසේ හෝ, මම මුලින් ලියූ කෙටි මැතිවරණ ඉතිහාසය ඔබ හොඳින් විශ්ලේෂණය කළහොත් ඔබට දැනෙන්නේ මැතිවරණ වලදී ඡන්දදයකයන් ඒ සඳහා වැය කරන කාලය සහ රටක් ලෙස මැතිවරණ පැවැත්වීමට වැය කරන විශාල ධනස්කන්ධය සැබවින්ම බලාපොරොත්තු ප්‍රතිඵල ලබාදේදැයි සිතාබැලීම වටින බවයි.

ඔබ කැමති (හෝ අඩුවෙන්ම අකමැති) පුද්ගලයන් හෝ පක්ෂයන් බලයට පත්කළ පසු 1948 සිට මේ දක්වාම බලයට පත්වූ පුද්ගලයන් සහ පක්ෂ ජනතා කැමැත්ත හෝ මැතිවරණ පොරොන්දු ශත පහකට මායිම් නොකරන බව ඔබට පැහැදිලිවම දකින්නට පුළුවන. ජේ. ආර්. ජයවර්ධන වරක් පැවසුවේ “ මම මිනිසුන්ට ඇහුම්කන් දෙනවා, හැබැයි මම කරන්නේ මට ඕනේ දේ.” (I listen to people but I do what I want.) මෑත කාලයේදී නෙළුම් කුමාරියගේ සිට සුපිරිසිදු මහත්මයා (Mr. Clean) දක්වා අයත් ඊට පහළින් ඇමති, මැති, පළාත් සභිකයන් සහ ප්‍රාදේශීය සභිකයන් කරන්නෙත් මෙයම නොවේද?

මේ සියල්ල සලල්කිල්ලට ගත්කල මගේ සීමිත දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැනුමත් සැලකිල්ලට ගත් කළ මට හැඟෙන්නේ නිකං අපරාදේ ජනතා මුදල්, කාලය සහ සම්පත් විනාශකර මැතිවරණ පවත්වනවාට වඩා වඩාත් වැඩදායක වන්නේ පහළම මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා සියලු මැතිවරණ වෙනුවට එම සභිකයින්ගේ තනතුරු වෙන්දේසි කර වැඩිම ගණුම්කරුවාට ලබාදෙන එක වඩාත් වැඩදායී සහ කාලෝචිත බවයි. මෙය කියවන ඔබට තදවීමට පුළුවන. “ජනතා පරමාධිපත්‍ය” වෙන්දේසි කළ හැකිද යන්න ඔබ ප්‍රශ්න කළ හැක. ඒත් ඔබ මම දෙදෙනාම දන්නා කරුණ නම් එහෙම කෙහෙම්මලක් තිබුණානම් මහබැංකු කොල්ලය වැනි මගෝඩි වැඩ කරන විට ඔබට ඔවුන්ට දඬුවම් කිරීමට නොහැකිවුවත් ගෙදර යැවීමට වත් හැකි විය යුතුය. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී බලතල තිබෙන රටවල එහෙම වෙන බව ඔබ දන්නවා ඇත. මෙය recall election (also called a recall referendum or representative recall) ලෙස ස්විට්සර්ලන්තයේ හැඳින්වේ.

ඔබ පත්කරන ජනතා නියෝජිතයන් කරන්නේ ඔබේ කැමැත්ත හෝ අකමැත්තට ඉටුකිරීම පසෙක තබා ගමේ බෝක්කුවේ සිට මහා පරිමාණ ව්‍යපෘති දකවා සියලුම දේවල් ව්‍යාපාරික අරමුණුවලින් අනුව බව අපි දැන් හොඳින් පසක් කරගෙන සිටිමු. ඉතිං නැති ජනතා පරමාධිපත්‍යයක් ගැන කයිවාරු ගහනවා වෙනුවට මම යෝජනා කරන පරිදි ප්‍රසිද්ධ වෙදෙසියේ ඉහත තනතුරු වෙන්දේසි කර ඒ මුදල (කොල්ල කනබව දැන දැනත්) මහා භාණ්ඩාගාරයට යවා ඉහළ ලංසු තැබූ අයට බලය දී දැන් මේ ඉන්නවා වගේම බලාසිටිනු හැර අපට කළ හැකි යමක් තිබේද? ප්‍රසිද්ධ වෙන්දේසියේදී අනිවාර්යයෙන් මුදල් විසිකළ හැකි අය බලයට පත්වනු ඇත. ඔවුන් ව්‍යාපාරික අරමුණු අනුව රට පාලනය කරනු ඇත. දැන් සිදුවන්නේත් එයම නොවේද? ජනතා පරමාධිපත්‍යය නම් ටොෆි කොළය ඔතා අපිට දෙන්නේ තුට්ටු දෙකේ බුල්ටෝ එකක් නොවේද?

(මේ ලිපියේ සමහර තැන්වල වරහන් තුළ ඉංග්‍රීසි වචන යොදා ඇත්තේ එහි අදහස සිංහලෙන් හරියටම යෙදුවාදැයි මට සැකයක් ඇතිවුණ අවස්ථාවලදීය. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රාමාණික දැනුමක් මට නැතැයි සිතමි.)

මහවිලච්චියේ සූරියදමන පාර “රොබින් හුඩ්ගේ පාර”


මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya
මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya

මේ දැනට අලුත්වැඩියා කරගෙන යන මහවිලච්චියේ “හරමානිස් හන්දියේ සිට හැලඹෑව” දක්වා දිවෙන පාර. මේ පාරට සූරියදමන පාර කියලත් කියනවා. (හැබැයි අපේ සුමේධා අක්කා – ලොකු අයියාගේ නෝනා – නම් මේ පාරට කිව්වේ “රොබින් හුඩ්ගේ පාර” කියලා. ඒකට හේතුව තමයි කලකට පෙර මේ පාර ෂර්වුඩ් කැලයේ රොබින් හුඩ්ලා ගිය පාර වගේම කැලෑව මැදින් වැටීතිබුණ පුංචි අඩිපාරක් වීම නිසා.)

මේ පාර නම් ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ හදිසි සංවර්ධන ව්‍යාපෘතියක් නෙවෙයි. ඇත්තෙන්ම කිව්වොත් පසුගිය රජය සැලසුම් කරලා තිබුණේ මේ පාර 2015 පෙබරවාරි මාසයේ වැඩ අරඹන්න. ඒත් එම වසරේ හදිසි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනාට පසු මේ පාර අලුත්වැඩියාකිරීම අළුත් ආණ්ඩුව විසින් අතහැර දැමූ බවයි අපි දැනගත්තේ. ඒත් මීට අවුරුද්දකට විතර පෙර නව රජයේ මහාමාර්ග අමාත්‍යවරයා මේ පාර ආරම්භ කිරීමට මුල්ගල තැබුවා. ඒ උත්සවයේදී මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ කතාවේදී විශේෂයෙන් සඳහන් කළා පාර සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ ගෞරවයෙන් කොටසක් මහවිලච්චියේ අනුර බණ්ඩාර අයියාටත් යායුතුයි කියලා. කවුරුත් එයාට ආදරේට කියන්නේ “අඹුඩ අනුර අයියා” කියලා. ඒකට හේතුව තමා එයා ගමේ පොදු අවශ්‍යතාවයන් රජයන් මගහරිනවානම් අඹුඩයකින් පමණක් සැරසී අදාළ අකටයුත්ත වෙන තැනට ගිහින් උපවාස කිරීම. පාර හදන්න රජයට බලකරමින් අනුර අයියා කිහිපවතාවක්ම උද්ඝෝෂණය කළා. වරක් හිරේ ලගින්නත් වුණා ඒ නිසාම.

කොහොමහරි අළුත් ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා මුල්ගල තිබ්බත් (නැකත් නැති නිසාදෝ) පාරේ වැඩ ආරම්භ කිරීමට වසරකටත් වඩා කල්ගිහින් මේ මෑතකදී තමයි අලුත්වැඩියාව පටන්ගත්තේ. මේ ඡායාරූප කිහිපය ගත්තේ පසුගිය 14 වැනිදා.

මේ පාරෙන් මහවිලච්චියේ සිට අපේ අම්මගේ ගමට (අඹගහවැව) කිලෝමීටර 25කුත් අප්පච්චිගේ ගමට (රනෝරාව) කිලෝමීටර 20කුත් විතර තියෙනවා. ඔබ විශ්වාස කරනවද අවුරුදු 10කටත් අඩු වයසකදී මම (සහ මගේ සහෝදර සහෝදරියන්) අප්පච්චිත් එක්ක මේ සම්පූර්ණ දුර බොහෝවරක් වරක් පයින් ගිහිල්ලා තියෙනවා කිව්වම? ඒ කාලේ කලාතුරකින් වගේ හමුවුන ගොන් කරත්තයකින් සමහර විට ඉඩ තිබුණොත් පොඩි දුරක් වගේ ගිහිල්ලා දැම්මත් අපි වැඩියෙන්ම ගියේ පයින්. ඒක වෙහෙසකාරී ගමනක් වුවත් පාර දිගට හමුවෙන ලස්සන පුංචි වතුර වළවළුත්, කැලෑවත්, කරඹ, දිවුල්, පලු, වීර වගේ පළතුරුත්, පාර හරහා පනින නරි, මුගටි, වගේ සතුනුත්, සමහර විට වල් අලියෙක් දෙන්නෙකුත් දකින්න තියෙන නිසා ඉස්කෝලේ නිවාඩු දෙනකල් අපි බලන් සිටියේ අම්මාගේ හෝ අප්පච්චිගේ ගමේ ගිහින් කිරි අම්මලා හදන රස කෑම කන්නත්, කිරි අත්තලාගේ කතන්දර අහන්නත් වගේම නෑදෑයින්ගේ ළමයිනුත් එක්ක මාසයක් පුරාම සෙල්ලම් කරන්නත්. දැන් කාලේ වගේ ටුයිෂන් පන්ති නොතිබුණ නිසා නිවාඩුවට පහුවෙනිදා ගමට ගියාම අපහු එන්නේ අළුත් පාසල් වාරය පටන් ගන්නට ඉස්සරලා දවසේ. නිවාඩු මාසය පුරාම පොතක් පතක් අල්ලන්නේවත් නැතුව උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කළත් අපිටවත්, දෙමව්පියන්ටවත්, ගුරුවරුන්ටවත් ඒක කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ

සුන්දර මතකයන් ගොඩක් තියෙන සූරියදමන පාර හැදෙන එක ගැන සන්තෝෂ වුණත් “රොබින් හුඩ්ගේ පාර” අතුරුදහන් වෙන එක ගැනනම් ටිකක් දුකයි.

මහවිලච්චියට මහ රෑ මුලින්ම කොටි ගහපුදා….


දෙමළ ත්‍රස්තවාදීන්ගේ අඩවියට මායිම් වූ ගම්වලට ත්‍රස්තවාදීන් ඒ දවස්වල පහරදෙන්නට පටන් අරන් තිබුණත්, කෙළින්ම එකම දෙමළ ගමකටවත් මායිම් නොවුන නිසා (මහවිලච්චිය තුන් පැත්තකින්ම අදටත් වටවී තියෙන්නේ විල්පත්තු කැලයෙනි.) අපි හිතුවෙ අපිටනම් කොටි ගහන එකක් නැතැයි කියාය. හිත රවටාගන්නට එහෙම හිතාගෙන සිටියත්, රෑ උණාට පස්සෙ නම් ගහක අත්තක් කඩා වැටුණත්, කැලයේ මොනරු කෑගහනවා ඇහුනත්, හරකෙක් ගේට්ටුවට ඇන වත්තට ඇතුළුවුණත්, මේ නම් කොටිම තමයි සිතා නිදි වර්ජිතව ටික වේලාවක් හරි සිටින්නේ සැක හැර ගන්නටය.

1985 සැප්තැම්බර් 27 දින පාන්දර 2-3 පමණ මට ඇහැරුණේ වෙඩි සද්දත්, බෝම්බ සද්දත් එක දිගටම ඇහෙන්න වුණ නිසාය. මම කෝකටත් කියා සැක හැරගන්නට මිදුලට ගිහින් බැලුවෙමි. බෝම්බ හඬවල් මින් පෙර අසා නොතිබුණත් මේවානම් අනිවාර්යයෙන්ම බෝම්බ ශබ්ද යැයි මම වටහා ගනිමි.

මම වහාම ආපසු ගේ ඇතුළට ගොස් අම්මාට කතා කළෙමි. ඊට පසු අම්මා අනිත් අයත් ඇහැරවාගත් නමුත් රත්නේ අයියා ඇහැරවන එක නම් අමාරු කාරියකි. මම ඔහුට ඇහැරවා කොටි ගහන බවත් ඉක්මනට දුවන්නට වෙන බවත් කිව්වත් ඔහු “කට වහගෙන නිදා ගන්න” යැයි කියා අනෙක් පසට හැරී නිදා ගන්නට විය. කෙසේ හෝ පොඩි අයියා ඔහුවද නැගිටුවාගෙන අපි ඔක්කොම වත්ත පිටුපස පිහිටා ඇති විශාල සියඹලා ගස යටට රැගෙන ගියේය.

ඉස්සරහා ගෙදර වසන්තලාගේ ගෙදර සියලුම දෙනාද අපේ සියඹලා ගහ යටටම පැමිණියේ හරියට අපේ සියඹලා ගහ බංකරයක් මෙන් සිතා ගෙනදෝයි නොදනිමි. සමහරවිට මරබිය නිසා කාගේ හෝ සංගමය වඩා හොඳ යැයි ඔවුන්ට සිතෙන්නට ඇති.

සියඹලා ගහ යට ටිකක් වෙලා හිටියත් වෙඩි ශබ්දත්, බෝම්බ ශබ්දත් වැඩි වුණා මිස අඩු වුණේ නැත. අපි සියල්ලෝම මීයට පිම්බාක් මෙන් සිටියත් ලොකු අක්කාගේ පුංචි ජීවනී දුව (අවුරුදු 4-5ක් වයසැති) සිංදු කියමින් සිටියාය. ඇයව නිහඬ කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ දිනවල බෙහෙවින් ජනප්‍රියව තිබු DISCO DANCER හින්දි චිත්‍රපටයේ ගීත අටම ඇයට කටපාඩම්ව තිබුණේ අසල්වැසි ගෙදරක සිටි උදයන්ති අක්කා මල්වරවීම නිසා දින කිහිපයක්ම තිබුණ උත්සවය නිසා ඇයගේ ගෙදර අය ලවුඩ්ස්පීකර් ගස් බැඳ එම කැසට්පටය දිවා රෑ වාදනය කළ නිසාය.) 

 

ටික වෙලාවකින් හෙලිකොප්ටර දෙකක්ද ගුවනේ කරැකැවෙමින් ඉහළ සිට පහළට වෙඩි තබන්නට විණි. මෙය ඉතා අනතුරුදායකය. ගස් යට හිටි අපටද සතුරන් යයි සිතා වෙඩි තබන්නට පුළුවන. ඒ නිසා අපි නැවතත් ගෙදර ගියෙමු. ගෙවල් වලට ගුවන් හමුදාව වෙඩි තබන්නේ නැත. එහෙත් කොටින් ගෙවල් වලට පැන අපව කපා කොටා දැමුවහොත්? එහෙත් වෙන කරන්නට දෙයක් නැත. ගෙයි සිටීම එකම තාර්කික විකල්පයයි.

දැන් නිදිමත එන්නේ නැත. මම ලාම්පුවක් පත්තු කරගෙන ඉස්කොලේ බිත්ති පුවත් පතට පෙරදා ලියමින් සිටි විද්‍යා ලිපියට අඳිමින් සිටි චිත්‍රය නිම කරන්නට වීමි. මට මතක හැටියටනම් ලිපියේ නම “සෑම හඳක්ම රවුම් නැතිලු” යන්නය.) වෙඩි හඬ, බෝම්බ හඬ ඇහෙද්දිත් චිත්‍රය ඇඳීමට පුළුවන් වූයේ කෙසේදැයි දැන් මට සිතාගත නොහැක. අද මගේ එකම පුතු අභිලාෂ් මෙන්ම ඒ කාලයේ අභ්‍යවකාශය සම්බන්ධයෙන් මටද තිබුණේ දැඩි ආසාවකි.

එළිය වැටුණ පසු බෝම්බ හඬත් වෙඩි හඬත් අඩුවී ගියේය. ඒත් සමගම ගමේ “රොයිටර්,” ලියන මහත්තයා විසින් උණුසුම් පුවත බෙදා හැරියේය. ඔහු මරබියටත් වඩා ප්‍රවෘත්ති සැපයීමෙන් සතුටක් ලද ගැමියෙකි. එනිසා ඔහු සියල්ලන්ටම පෙර පොලිසියට ගොස් සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බලා ඇත. පොලීසියට කොටි ගසා ඇති බවත්, කොටින් පිරිසක් මිය ගොස් ඇති බවත් පුවතින් කියවිණි. අපිද කොල්ලන් සමග පයින්ම පොලීසියට ගියෙමු. එහි ගමේම සෙනග එකතුවී සිටියහ. තැන තැන කොටි තරුණයන් කෑලි වලට කැඩී මිය ගොස්ය. පොලීසියට සීරීම් තුවාලයක්වත් නොමැත. මළ සිරුරු හත අටක් තිබුණි. පොලීසිය විසින් තුවාල ලත් එක් කොටියෙක් පණපිටින් අල්ලාගෙන ප්‍රශ්න කරමින් සිටියහ. ඔහුව රැගෙන මළ සිරුරු හඳුනා ගන්නට ගිය විටදී ඔහු එක මළ සිරුරක් බදාගෙන හඬන්නට වූ බව කියැවිණි. ඒ මළ සිරුර අජිත් නම් නුවර සිංහල තරුණයකුගේ බවත් සංවිධානයට ලොකු සේවාවක් කළ අයකු බවත් කියවිණි.

ඉතිරි වූ කොටි පිරිස පලාගොස් තිබුණේ තන්තිරිමලේ හරහාය. එහිදී ඔවුන් යුද හමුදාවේ පහරදීමට හසුවී තවත් කොටින් 10ක් පමණ මියගියහ. කොටි ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. (තන්තිරිමලේදී ත්‍රස්තවාදීන් පලායන මාර්ගය ඔස්සේ ගොස් පහරදුන්නේ එවකට අනුරාධපුර සාලියපුර ගජබා මූලස්ථාන කඳවුරේ සිටි මේජර් ගෝඨාභය රාජපක්ෂ මෙහෙයවූ හමුදා භට කණ්ඩායමක් බව මම දැනගත්තේ ඉතාම මෑතකදීය.)

මෙම ත්‍රස්තවාදී මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට හේතුව දවල් වන විට ආරංචි විය. පැමිණ සිටියේ එල්. ටී. ටී. ඊ. කොටින් නොවේ. ඔවුන් එකල පැවති වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමකි. ඔවුන් මහ රෑ කැලයෙන් පොලීසිය දෙසට පැමිණෙන විට කසිප්පු පෙරන ගැමියන් දෙදෙනෙක් හමුවී තිබිණි. ඔවුන්වත් අල්ලාගෙන ත්‍රස්තවාදීන් හොඳට කසිප්පුද බී තිබිණි. (මෙය සැබෑවක්ද දන්නේ එම ගැමියන් දෙදෙනා පමණය.) පසුව තමන්ව පොලීසියේ පිටුපස වැට දෙසට ගෙන යන්න යැයි ත්‍රස්තවාදීන් ගැමියන් දෙදෙනාට කියා තිබේ. ඔවුන් ඒ වෙනුවට ත්‍රස්තවාදීන් පොලීසියේ ඉදිරිපසට ගෙන ගොස් තිබිණි. ඉතින් සටන සිදුවූයේ මුහුණට මුහුණලාය. සටන ආරම්භ කිරීමට පෙර ත්‍රස්තවාදීන් අටවමින් සිටි බෝම්බයක් වෙරිමත නිසා ඔවුන්ටම පත්තු වූ බවද කියැවිණි. ගැමියන් දෙදෙනා සටන අස්සේම පැන ගත්හ. කොහොමටත් ඒ දිනවල ඕනෑම මොහොතකදී සටනකට සූදානම්ව සිටි පොලීසිය විසින් හොඳින් ඉලක්ක අල්ලමින් කොටින්ට දිගට හරහට වෙඩි තබන්නටත්, පොලීසිය විසින් කල්තියා වළලා තිබූ බෝම්බ පුපුරවන්නටත් වූ බවත් ත්‍රස්තවාදීන් අන්ත පරාජයක් ලැබුවේ මෙම ගැමියන් දෙදෙනාගේ නුවණ නිසා බවත් පසුව හෙළිවින.