ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු ආසන වෙන්දේසි කරමු.


මම දේශපාලනය ගැන යම් හෝ අදහසක් ඇතිකරගත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිටය. මා ඉපදුණේ 1972දී නිසාත් ජයවර්ධන මහතා අගමැති වූයේ 1977 නිසාත්, මහවිලච්චියේ “ගිනිපෙට්ටි පාලමේ” අදටත් දැකිය හැකි ජනතා විමුක්ති පෙරමුණෙන් 1982 ජනාධිපතිවරණ කාලයේ නොමැකෙන අයුරින් ලියන ලද බව සැළකෙන “මිනීමරු ජේ. ආර්. පන්නමු” යන වැකියත් නිසාත්, ගුවන් විදුලියෙන් සහ (පසු කලෙක රූපවාහිනියෙන්) නිරතුරුවම ඇසුණේ, දැක්කේ ජේ. ආර්. ගේ කතා සහ රුව නිසාත් ඔහු ගැන මට ඇත්තේ නොමැකෙන මතකයකි. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ධුරයේ සිටි නිසා මගේ හෝඩියේ පන්තියේ සිට අඹ යහළුවා වූ නවරත්න බණ්ඩා එකල හිතුවේ ජේ. ආර්. යනු පුද්ගලයෙක් නොව තනතුරක් බවය. 1982 ජනාධිපතිවරණය ආසන්නයේ ඔහු මගෙන් ඇහුවේ මේ සැරේ “ජේ. ආර්. කම” කාට යනු ඇතිද යන්නයි.

1982 සිට මේ වනතුරු විවිධ මැතිවරණ රාශියක් පැවැත්වුණ අයුරු මට හොඳින් මතකය. ජේ. ආර්. විසින් ඇතිකළ තක්කඩි පාලනය සහ දූෂිත මැතිවරණ ගැන මට හොඳින් මතකය. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ 1988 ජනාධිපතිවරණය කැරලිකාරී ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාවට තහනම් කළ අයුරු සහ මගේ උසස් පෙළ පන්තියේ මිතුරකු වූ කහටගස්දිගිලියේ හේමන්ත ඡන්ද බලයවත් නැති කොලුගැටයකුව සිටියදී, ජනාධිපත්වරණය දින වෙනත් ගමනක් යනවිට “දේශප්‍රේමී ජනතා පෙරමුණ” විසින් පනවා තිබූ “මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන දස දෙනාට වෙඩි තියනවා” යන මිනීමරු නීතිය නිසා වැදුණ වෙඩි පහරකින් අදටත් කකුලක් කොර ගහමින් යන හැටිද මතකය. අනුරාධපුරයේ සිටි යූ. එන්. පී. යේ තක්කඩි දේශපාලකයන් විසින් මැතිවරණ දිනවලදී මුදාහල භීෂණය නිසා කොතරම් මිනිසුන් වෙඩි පහරකා මිය ගියාද, තුවාල ලැබුවද යන සංඛ්‍යාලේඛන කොතැනක හෝ වාර්තාකර තිබේදැයි මම නොදනිමි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අකල් මරණයත් සමග පිං ජනාධිපතිකමක් ලැබුණ ඩී. බී. විජේතුංගගේ කාලයේදී බැරිම තැන යූ. එන්. පී මදකිපුණු අලියාට අන්තිමට චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරියේ දණනමන්නට සිදුවිය. “නෙළුම් කුමාරිය” සහ සාමයේ සංකේතය වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය වූ පසු වැඩි කලක් නොයාම පැවැත්වුණ කුප්‍රකට වයඹ මැතිවරණය නින්දිත ලෙස මහ දවල් කොල්ලකෑ හැටි ඔබට අමතක නැති යැයි සිතමි.

2005 දී දේශපාලනිකව ඉතාම අවාසි සහගතව තත්වයක සිටි එවකට අගමැති මහින්ද රාජපක්ෂ (කියන පරිදි කොටි ත්‍රස්තවාදීන් සමග ගිවිසුමක් ගසා හෝ) ඉතා සුළු බහිතරයකින් ජනාධිපති වූ ආකාරයත්, ඉතාම නිර්භීත ලෙස සහ මෝඩ ලෙස (වෙනම පැහැදිලි කළ යුතුය.) යුද්ධය දිනා ටික කලකින්ම ජනතාවට එපා වූ අයුරුත් ඔබට මතකය. සිය සෙල්ලක්කාර පුතුන්ගේ තුන් මෝඩ වික්‍රමයන් (adventures of the three idiots) සහ අඩුම තරමින් එක සහෝදරයකුගේ හෝ (කළ බව කියන) රාජ්‍ය දේපල කොල්ලකෑම සහ අසීමිත කොමිස් ගැසීම් නිසා වෙලාවටත් කලින් ගෙදර යාමට රාජපක්ෂ මහතාට සිදුවිණි. අන්තිමට දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සියල්ලම තමන්ට එදිරිව සිටියදී (against all odds) ඉතාමත් අපහසු ජනාධිපතිවරණයකින් ජයගෙන දැනට එම පදවිය දරයි.

මේ කෙටි ඉතිහාසය ඔබට මතක් කළේ වෙන කිසිවක නිසා නොව මගේ පහත දැක්වෙන කෙටි ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් ලෙස ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ භයානක කම ගැන මට තාර්කික උපදෙස් දුන් හිතවතියකගේ ප්‍රතිචාරයට මම ලියන්නට උත්සහ කළ පිළිතුර දුරදිග යාම නිසා වෙනම බ්ලොග් ලිපියක් පළකළ යුතුයැයි සිතුණ නිසාය. මෙන්න ඒ මගේ ෆේස්බුක් සටහන.

“මහවිලච්චියේ ප්‍රාදේශීය සභා ඡන්ද උණුසුම.

 

මේ මහවිලච්චියේ තාවකාලික දේශපාලන පක්ෂ කාර්යාල දෙකක්. තියෙන්නේ බෝගස් හන්දියේ. එකිනෙකට මුහුණලා තිබුණත් තවමනම් “අං පටලවාගෙන” නැහැ. (අපහාසයට ලියූවක් නොවේ “lock horns” යන ඉංග්‍රීසි යෙදුමේ සෘජු පරිවර්තනයකි. | no offense meant. Just the direct translation of the term “lock horns.”)

මේ පින්තූරවල ඉන්නා කිසිම කෙනෙක් මා හඳුනන්නේ නැත. හඳුනාගත්තත් ඔවුන්ට මගෙන් වැඩක් නැත. මම තවදුරටත් මහවිලච්චියේ ඡන්ද දායකයකු නොවෙමි. මම මහවිලච්චියේ ඡන්දදායකයකු වුවත් මම ඡන්දය පාවිච්චි නොකරමි. මා ඡන්දය පාවිච්චි කළ එකම අවස්ථාව 2005 ජනාධිපතිවරණයයි. විනාශකාරී යුද්ධය අවසන් කළ හැකි යයි සිතූ අපේක්ෂකයාට ඡන්දය දුන්නෙමි. ඔහු එය හොඳින් හෝ නරකින් ඉටු කළේය. ඊට පසු මගේ ඡන්දයෙන් කාටවත් පලක් නැති බව දැනගත් හෙයින් ඡන්දය දීමෙන් වැළකී සිටින්නෙමි.”

මීට එම මගේ හිතවතිය දුන් ඇයගේ ප්‍රතිචාරය මෙතන පලනොකරන්නේ ෆේස්බුක් යනු වැසුණ වපසරියක් (closed environment) තුළ සිදුවන ක්‍රියාවලියක් නිසාත්, එම වැසුණ වපසරිය තුළ ඇය තැබූ සටහන මෙහි පළකිරීම සදාචාර විරෝධී යයි හිතෙන නිසාත්ය.

කෙසේ හෝ, මම මුලින් ලියූ කෙටි මැතිවරණ ඉතිහාසය ඔබ හොඳින් විශ්ලේෂණය කළහොත් ඔබට දැනෙන්නේ මැතිවරණ වලදී ඡන්දදයකයන් ඒ සඳහා වැය කරන කාලය සහ රටක් ලෙස මැතිවරණ පැවැත්වීමට වැය කරන විශාල ධනස්කන්ධය සැබවින්ම බලාපොරොත්තු ප්‍රතිඵල ලබාදේදැයි සිතාබැලීම වටින බවයි.

ඔබ කැමති (හෝ අඩුවෙන්ම අකමැති) පුද්ගලයන් හෝ පක්ෂයන් බලයට පත්කළ පසු 1948 සිට මේ දක්වාම බලයට පත්වූ පුද්ගලයන් සහ පක්ෂ ජනතා කැමැත්ත හෝ මැතිවරණ පොරොන්දු ශත පහකට මායිම් නොකරන බව ඔබට පැහැදිලිවම දකින්නට පුළුවන. ජේ. ආර්. ජයවර්ධන වරක් පැවසුවේ “ මම මිනිසුන්ට ඇහුම්කන් දෙනවා, හැබැයි මම කරන්නේ මට ඕනේ දේ.” (I listen to people but I do what I want.) මෑත කාලයේදී නෙළුම් කුමාරියගේ සිට සුපිරිසිදු මහත්මයා (Mr. Clean) දක්වා අයත් ඊට පහළින් ඇමති, මැති, පළාත් සභිකයන් සහ ප්‍රාදේශීය සභිකයන් කරන්නෙත් මෙයම නොවේද?

මේ සියල්ල සලල්කිල්ලට ගත්කල මගේ සීමිත දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැනුමත් සැලකිල්ලට ගත් කළ මට හැඟෙන්නේ නිකං අපරාදේ ජනතා මුදල්, කාලය සහ සම්පත් විනාශකර මැතිවරණ පවත්වනවාට වඩා වඩාත් වැඩදායක වන්නේ පහළම මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා සියලු මැතිවරණ වෙනුවට එම සභිකයින්ගේ තනතුරු වෙන්දේසි කර වැඩිම ගණුම්කරුවාට ලබාදෙන එක වඩාත් වැඩදායී සහ කාලෝචිත බවයි. මෙය කියවන ඔබට තදවීමට පුළුවන. “ජනතා පරමාධිපත්‍ය” වෙන්දේසි කළ හැකිද යන්න ඔබ ප්‍රශ්න කළ හැක. ඒත් ඔබ මම දෙදෙනාම දන්නා කරුණ නම් එහෙම කෙහෙම්මලක් තිබුණානම් මහබැංකු කොල්ලය වැනි මගෝඩි වැඩ කරන විට ඔබට ඔවුන්ට දඬුවම් කිරීමට නොහැකිවුවත් ගෙදර යැවීමට වත් හැකි විය යුතුය. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී බලතල තිබෙන රටවල එහෙම වෙන බව ඔබ දන්නවා ඇත. මෙය recall election (also called a recall referendum or representative recall) ලෙස ස්විට්සර්ලන්තයේ හැඳින්වේ.

ඔබ පත්කරන ජනතා නියෝජිතයන් කරන්නේ ඔබේ කැමැත්ත හෝ අකමැත්තට ඉටුකිරීම පසෙක තබා ගමේ බෝක්කුවේ සිට මහා පරිමාණ ව්‍යපෘති දකවා සියලුම දේවල් ව්‍යාපාරික අරමුණුවලින් අනුව බව අපි දැන් හොඳින් පසක් කරගෙන සිටිමු. ඉතිං නැති ජනතා පරමාධිපත්‍යයක් ගැන කයිවාරු ගහනවා වෙනුවට මම යෝජනා කරන පරිදි ප්‍රසිද්ධ වෙදෙසියේ ඉහත තනතුරු වෙන්දේසි කර ඒ මුදල (කොල්ල කනබව දැන දැනත්) මහා භාණ්ඩාගාරයට යවා ඉහළ ලංසු තැබූ අයට බලය දී දැන් මේ ඉන්නවා වගේම බලාසිටිනු හැර අපට කළ හැකි යමක් තිබේද? ප්‍රසිද්ධ වෙන්දේසියේදී අනිවාර්යයෙන් මුදල් විසිකළ හැකි අය බලයට පත්වනු ඇත. ඔවුන් ව්‍යාපාරික අරමුණු අනුව රට පාලනය කරනු ඇත. දැන් සිදුවන්නේත් එයම නොවේද? ජනතා පරමාධිපත්‍යය නම් ටොෆි කොළය ඔතා අපිට දෙන්නේ තුට්ටු දෙකේ බුල්ටෝ එකක් නොවේද?

(මේ ලිපියේ සමහර තැන්වල වරහන් තුළ ඉංග්‍රීසි වචන යොදා ඇත්තේ එහි අදහස සිංහලෙන් හරියටම යෙදුවාදැයි මට සැකයක් ඇතිවුණ අවස්ථාවලදීය. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රාමාණික දැනුමක් මට නැතැයි සිතමි.)

මහවිලච්චියේ සූරියදමන පාර “රොබින් හුඩ්ගේ පාර”


මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya
මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya

මේ දැනට අලුත්වැඩියා කරගෙන යන මහවිලච්චියේ “හරමානිස් හන්දියේ සිට හැලඹෑව” දක්වා දිවෙන පාර. මේ පාරට සූරියදමන පාර කියලත් කියනවා. (හැබැයි අපේ සුමේධා අක්කා – ලොකු අයියාගේ නෝනා – නම් මේ පාරට කිව්වේ “රොබින් හුඩ්ගේ පාර” කියලා. ඒකට හේතුව තමයි කලකට පෙර මේ පාර ෂර්වුඩ් කැලයේ රොබින් හුඩ්ලා ගිය පාර වගේම කැලෑව මැදින් වැටීතිබුණ පුංචි අඩිපාරක් වීම නිසා.)

මේ පාර නම් ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ හදිසි සංවර්ධන ව්‍යාපෘතියක් නෙවෙයි. ඇත්තෙන්ම කිව්වොත් පසුගිය රජය සැලසුම් කරලා තිබුණේ මේ පාර 2015 පෙබරවාරි මාසයේ වැඩ අරඹන්න. ඒත් එම වසරේ හදිසි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනාට පසු මේ පාර අලුත්වැඩියාකිරීම අළුත් ආණ්ඩුව විසින් අතහැර දැමූ බවයි අපි දැනගත්තේ. ඒත් මීට අවුරුද්දකට විතර පෙර නව රජයේ මහාමාර්ග අමාත්‍යවරයා මේ පාර ආරම්භ කිරීමට මුල්ගල තැබුවා. ඒ උත්සවයේදී මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ කතාවේදී විශේෂයෙන් සඳහන් කළා පාර සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ ගෞරවයෙන් කොටසක් මහවිලච්චියේ අනුර බණ්ඩාර අයියාටත් යායුතුයි කියලා. කවුරුත් එයාට ආදරේට කියන්නේ “අඹුඩ අනුර අයියා” කියලා. ඒකට හේතුව තමා එයා ගමේ පොදු අවශ්‍යතාවයන් රජයන් මගහරිනවානම් අඹුඩයකින් පමණක් සැරසී අදාළ අකටයුත්ත වෙන තැනට ගිහින් උපවාස කිරීම. පාර හදන්න රජයට බලකරමින් අනුර අයියා කිහිපවතාවක්ම උද්ඝෝෂණය කළා. වරක් හිරේ ලගින්නත් වුණා ඒ නිසාම.

කොහොමහරි අළුත් ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා මුල්ගල තිබ්බත් (නැකත් නැති නිසාදෝ) පාරේ වැඩ ආරම්භ කිරීමට වසරකටත් වඩා කල්ගිහින් මේ මෑතකදී තමයි අලුත්වැඩියාව පටන්ගත්තේ. මේ ඡායාරූප කිහිපය ගත්තේ පසුගිය 14 වැනිදා.

මේ පාරෙන් මහවිලච්චියේ සිට අපේ අම්මගේ ගමට (අඹගහවැව) කිලෝමීටර 25කුත් අප්පච්චිගේ ගමට (රනෝරාව) කිලෝමීටර 20කුත් විතර තියෙනවා. ඔබ විශ්වාස කරනවද අවුරුදු 10කටත් අඩු වයසකදී මම (සහ මගේ සහෝදර සහෝදරියන්) අප්පච්චිත් එක්ක මේ සම්පූර්ණ දුර බොහෝවරක් වරක් පයින් ගිහිල්ලා තියෙනවා කිව්වම? ඒ කාලේ කලාතුරකින් වගේ හමුවුන ගොන් කරත්තයකින් සමහර විට ඉඩ තිබුණොත් පොඩි දුරක් වගේ ගිහිල්ලා දැම්මත් අපි වැඩියෙන්ම ගියේ පයින්. ඒක වෙහෙසකාරී ගමනක් වුවත් පාර දිගට හමුවෙන ලස්සන පුංචි වතුර වළවළුත්, කැලෑවත්, කරඹ, දිවුල්, පලු, වීර වගේ පළතුරුත්, පාර හරහා පනින නරි, මුගටි, වගේ සතුනුත්, සමහර විට වල් අලියෙක් දෙන්නෙකුත් දකින්න තියෙන නිසා ඉස්කෝලේ නිවාඩු දෙනකල් අපි බලන් සිටියේ අම්මාගේ හෝ අප්පච්චිගේ ගමේ ගිහින් කිරි අම්මලා හදන රස කෑම කන්නත්, කිරි අත්තලාගේ කතන්දර අහන්නත් වගේම නෑදෑයින්ගේ ළමයිනුත් එක්ක මාසයක් පුරාම සෙල්ලම් කරන්නත්. දැන් කාලේ වගේ ටුයිෂන් පන්ති නොතිබුණ නිසා නිවාඩුවට පහුවෙනිදා ගමට ගියාම අපහු එන්නේ අළුත් පාසල් වාරය පටන් ගන්නට ඉස්සරලා දවසේ. නිවාඩු මාසය පුරාම පොතක් පතක් අල්ලන්නේවත් නැතුව උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කළත් අපිටවත්, දෙමව්පියන්ටවත්, ගුරුවරුන්ටවත් ඒක කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ

සුන්දර මතකයන් ගොඩක් තියෙන සූරියදමන පාර හැදෙන එක ගැන සන්තෝෂ වුණත් “රොබින් හුඩ්ගේ පාර” අතුරුදහන් වෙන එක ගැනනම් ටිකක් දුකයි.