රෝහණ විජේවීර සහ ඔහුට ඉතිහාසයේ හිමිවිය යුතු තැන


rohana_wijeweera_1943-1989

බොහෝ දෙනෙක් රෝහණ විජේවීර දරුණු මිනීමරුවකු සහ තරුණ තරුණියන් දහස් ගණනක් අයාලේ ගෙන ගිය අපතයකු පමණක් බව ඔහුගේ පෙන්වන්නට මේ දිනවල ලොකු උත්සාහයක් ගනු පෙනෙන්නට තිබේ. (කුමක් හෝ හේතුවකට මෙයට වැඩියෙන්ම දායක වන්නේ විශ්‍රාම ගිය ජවිපෙ සාමාජිකත්වය සහ වැලේ වැල් නැති වාමාංශිකයන් වීම විශේෂයකි. අනෙක් අතට බලද්දී විජේවීරගේ අඩුපාඩු දකින්නට හැකි හොඳම අය ඔවුන් විය හැකිය.) වීජේවීරට ආයුධ සන්නද්ධ විප්ලවයක් කරන්නට (දෙවරක්ම) සිදුවුණේ පවතින තත්ත්වය යටතේ තිබුණ එකම සහ දුෂ්කරම මාර්ගය එය වූ නිසාය. ජරාජීර්ණ වූ පක්ෂ දේශපාලනය තුළින් තට්ටු මාරු ක්‍රමයට වලව්වේ හාමුලා සහ මැණිකෙලා තොග ගණනින් පත් කරගත් මෝඩ ජනතාවගේ ඡන්ද බලය ගැන කසිම විශ්වාසයක් විජේවීරට නොමැති වීම අහම්බයක් නොවේ. (අප කොතරම් පිළිගන්නට අකමැති වුවත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ගන්න තිබුණෙත් මේ මාර්ගයම පමණය. ඔහුගේ වැරැද්ද පීඩකයන්ට එරෙහිව සියලුම ජාතීන්ගේ සහය ලබාගන්නවා වෙනුවට දිගින් දිගටම පීඩනයට පත්වුණ සිංහල, මුස්ලිම් ජාතීන් මෙන්ම ඔවුන් විමුක්තිය උදාකර දෙනවායයි කියූ දෙමළ ජනතාවටත් එරෙහිව කළ අරගලයක් නිසාය.)

කෙසේ වුවත් අද අපි විජේවීර ගැන පමණක් කථා කරමු. ඔහු පරමාදර්ශී ආකර්ෂණීය නායකයකු නොවන බවත් ඉරිසියාකාර, කට ගඳ ගහන නායකයකු බවත් කිහිප තැනකම සඳහන් වී තිබිණ. මම 71 කැරැල්ලට පසු ඉපදුන කෙනෙක් නිසා ඒ ගැන දන්නේ පොත පත ඇසුරින් කියවූ දේවල් පමණය. 88-89 කැරැල්ල කාලයේදී සාමාන්‍ය පෙළ සිසුවකු වූ මට විජේවීර ආකර්ෂණීය නායකයකු සහ ඔහුගේ ව්‍යාපාරය බලාපොරොත්තු තබාගත හැකි යමක් ලෙස පෙනුණි. එහෙත් එයට සෘජුව සම්බන්ධ නොවීමට එකම හේතුව වූයේ සමාජවාදියකු වුවත් ඉතාම දැඩි මානව හිතවාදියකු වූ මගේ පියා අවිහිංසාවාදය ගැන මට කියාදුන් කරුණු නිසාය. මට තුවක්කුවක් නොගැලපෙන බවද මට හොඳින් වැටහෙන්නේ දැන්ය.

අද පරම්පරාව සහ ඔහුගේ සමකාලීනයන් විජේවීර අපතයකු ලෙස දකින්නේ ඔහුට දෙවරම විප්ලවය සාර්ථක කර ගැනීමට නොහැකි වූවා පමණක් නොව අමානුෂික ලෙස ඝාතනය වීමටද සිදුවූ නිසාය. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයන්ය. චේට, ෆිදෙල්ට, ලෙනින්ට, මාවෝට ඉතිහාසයේ වීරාඛ්‍යානයන් බවට පත් වන්නට හැකියාව ලැබුණේ ඔවුන් ජයග්‍රාහකයන් වූ නිසාය. මේ බොහෝ දෙනකු, සුරා සොඬන්, ස්ත්‍රී දූර්ථයන්, ඝාතකයන්, සල්ලාලයන් (තේරෙන භාෂාවෙන් කියනවානම් බේබද්දන්, බඩු කාරයන්, මිනීමරුවන්, පාදඩයන්) බව අද කවුරුත් කියන්නේ නැත. විජේවීර දත් මදිද්දීත් කට ගඳ ගැසූ අතර මාවෝ ජීවිතේට දත් නොමැදීම නිසා කට ගඳ ගැසුවත් මවෝගේ කට ගඳ කාටවත් ප්‍රශ්නයක් නොවේ.

විජේවීරට වැරදුන් තැන් බොහෝය. සමහරවිට ඔහුට හරි ගියානම් සහ විප්ලවීය ශ්‍රී ලංකා ජනරජයේ යාවජීව නායකයා වුවා නම් අද ඔහුගේ කතාව පෙර සඳහන් කළ වීරාඛ්‍යානයන්ගේ අතර රන් අකුරෙන් ලියවීමට හෝ විජේවීරගෙන් පසු ඔහුගේ බිරිඳගේ සහ දුවරුන්ගේත් පුතුන්ගේත් පාලනයකට (උතුරු කොරියාවේ මෙන්) රාෂ්ට්‍ර පාලනය බාරදී විජේවීර අද විමල් වීරවංශ මෙන් පීචං චරිතයක් වීමටද ඉඩ තිබිණි.

රෝහණ විජේවීර.jpg

විජේවීරගේ ප්‍රබලතා මෙන්ම දුබලතා ගැන ඕනෑ තරම් මට වඩා සුදුසුකම් ඇති අයගෙන් ලියවී ඇත. මම දේශපාලන බ්ලොග්කරුවකු නොවෙමි. මට හිතෙන දේ මේ අයුරින් අකුරු කළේ ඔහුට මට හැකි පමණින් යම් තරමක හෝ සාධාරණයක් ඉටු කිරීමටය. ඔහු අනිත් අයට කලින් අවදිවීම හුදු අහම්බයක් පමණක් නොවන බවට ඔබට මතක් කර දීමටය.

che-guevara

Castro

mao_zedong

v-i-lenin

Advertisements