අපේ ගමේ ජහුටා

ජහුටා යනු මා දන්නා තරමට වියළි කලාපීය ගම්වල ආරම්භවී දැන් දැන් ටිකෙන් ටික අභාවයට යන අපි විසින්ම පහත් කොට සැලකූ ජන කලාවකි. ජහුටා නමින් හැඳින්වෙන්නේ තරුණ කැලක් එකතුවී ඒ අතරින් තරමක් දැනුම් තේරුම් ඇති කෙනෙක් අධ්‍යක්ෂ කෙනෙකු වශයෙන් ක්‍රියා කරමින්, බෞද්ධ සාහිත්‍යයෙන් ගත් කතාවක් හෝ ජාතක කතාවක් පාදක කොටගෙන පන්සල්, මරණාධාර සමිති, තරුණ සමාජ වැනි ආයතන වල රාත්‍රියේ රඟ දැක්වූ වේදිකා නාට්‍ය වර්ගයකි. ජහුටා යන්නෙහි අපහාසාත්මක ස්වරයක් තිබුණද මම අන් තැනක කියවූයේ එය අපහාසාත්මක යෙදුමක් නොව ඉන්දියානු ප්‍රාන්තීය යෙදුමකින් කැඩී ආ වදනක් බවයි.

අපේ ගමේ (මහවිලච්චියේ) ප්‍රධාන ජහුටා කාරයින් තුන් දෙනෙක් සිටියෝය. එක්කෙනෙක් කෙරමිණියේ වෙදමහතාය. අනෙක් ජහුටාකාරයා රෝහණ ශාන්ත කුමාරය. තුන්වැන්නා අදටත් ඉඳහිට ජහුටා එකක් රඟ දක්වන “අමුඩ අනුර” ලෙස රටේත් යම් තරමකට ප්‍රසිද්ධ අමුඩ ඇඳගෙන දේශපාලන විරෝධතා දක්වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර අය්යාය.

මොවුන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා වූ කෙරමිණියේ වෙදමහතා දැනට ජීවතුන් අතර නැත. ඔහු එකල සිටි දහම් පාසල් ප්‍රධානාචාර්යවරයාද විය. ඔහු විසින් පුරුදු පුහුණු කළේ පැරණි ආකෘතියේ ජහුටාය. ඔහු ඒවා ලියා අධ්‍යක්ෂණය කරයි. ඔහු යොදාගත්තේ පැරණි හිංදි ගීතවල තනුවලට ලියූ සිංහල ගීතයි. දෙබස් බොහෝ පැරණි බස් වහරක් ගත්තේය. ඔහුම ප්‍රධාන චරිතවලට දෙබස් දෙමින් ගීත ගායනයද කළේය. ඔහුගේ ජහුටා තරමක් ශාස්ත්‍රීය ගතියක් ගත්තේය.

රෝහණ ශාන්ත කුමාර කරළියට පැමිණියේ කෙරමිණියේ වෙදමහතාගේ ගෝලයකු ලෙස වැඩකරමිනි. රෝහණ ශාන්ත කුමාර තරමක් තරුණයන්ට සංවේදී අකාරයට ජහුටා ආකෘතිය වෙනස්කර ගත්තේය. ඔහුටද ඉතා ඉහළ ගායන හැකියාවක් සහ දෙබස් කියවීමේ හැකියාවක් තිබුණි. ඔහුද බොහෝ දුරට යොදා ගත්තේ හිංදි ගී තනුවල සිංහල ගීතයි. ඔහුගේ ජහුටා ඉතා දිගු විය. ඒවා ඉවර වෙන්නේ පසුදා හිරු එළියත් වැටුණ විටය. ඔහුගේ දිගම ජහුටා එක “සත්‍යවාදී හරිස්චන්ද්‍රයි.”

අනුර අයියා බෙහෙවින්ම තරුණයන්ට සහ නව යොවුන් රසිකයන්ට ආමන්ත්‍රණය කළ ජහුටා අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ ජහුටා ජව සම්පන්නය. ගීතවත්ය. ජනප්‍රිය අංග රැසකින් යුක්තය. ඔහු ජහුටා අධ්‍යක්ෂණයෙන් නොනැවතී ඒවට දෙබස් දෙමින්, ගීත ගයමින් හා නටමින් තවමත් ජහුටා ඉදිරියට ගෙනයයි. පහුගිය වෙසක් පෝයටද, මීට ටික දිනකට පෙරද ඔහු ජහුටා නැටූ බව මට මහවිලච්චියේ යාළුවෙක් දුරකථනයෙන් පැවසීය. අනුර අයියා ජහුටා වලට පිවිසුණේ අඹගහවැවේ ඉස්කෝලෙ යද්දී බව මට පැවසුවේය. ඒ, පිටින් පැමිණි ජහුටා කණ්ඩායමක ජහුටාවක ජූජක බමුණාගෙ චරිතය රඟපෑමට ලැබීමත් සමගයි. එයින් පසු මහවිලච්චියට ඔහු පැමිණියේ නාඹර තරුණයකු ලෙසය. එහිදී ඔහුට කෙරමිණියේ වෙද මහත්තයාගේ සහ රෝහණ ශාන්ත කුමාරගේ ජහුටාවල රඟපෑමට ලැබිණි. ඉන් පසුව ඔහු තමන්ම ජහුටා අධ්‍යක්ෂණය කරන්නට පටන් ගත්තේය. මම දුටු ඔහුගේ හොඳම රංගනය දුටුවේ “සත්‍යවාදී හරිශ්චන්ද්‍ර” නාට්‍යයේ නපුරු, දුෂ්ට සෙනසුරාගේ චරිතයයි.

ජහුටා වල හිටි විශිෂ්ටතම රජතුමා පොළොන්නරු කඩේ හිච්චි අය්යා හෙවත් මහින්ද අයියාය. සුදුම සුදු, කෙට්ටු, එහෙත් රාජකීය ශරීරයත්, තඹපාටින් වැවී තිබුණ නිකටේ රැවුලත් ඔහු නියම බ්‍රහ්මදත්ත රජු කළේය. රජ බිසවුන් නම් නිතර නිතර මාරු උණේ කෙල්ලන් ඉක්මනටම කසාද බැඳ ජහුටාවලින් සමු ගන්නා නිසාය.

විහිළුකරුවාගේ චරිතය සාර්ථකවම රඟපෑවේ සිරි අයියාය. ඔහුට කවුරුත් බාහිරින් දෙබස් දෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඒ වෙලාවෙ කටට ආ හිනායන දෙබස් මුලු නාට්‍ය ශාලාවටම ඇහෙන්නට කියයි. ඒ දෙබස් අතර දෙපිට කැපෙන වචන අඩුවක් නැතිව තිබුණත් පොඩි හාමුදුරුවරුත් ඒවා බලාගෙන හිනා වුණි. එක ජහුටාවක් අතරේ හිටි ගමන් විහිළුකරුවා නැතුව ගියේය. ටික වෙලාවකින් පැතිරගිය ආරංචිය නම් පොලීසියෙන් පැමිණ කසිප්පු කේස් එකකට ඔහුව කුදලාගෙන ගිය බවයි.