මහරජ ගැමුණු නැරඹුවෙමි.


maharaja gemunu

කොහොමටත් මම මහරජ ගැමුණු බලන්න ගියේ වැඩි බලාපොරොත්තු තබාගෙන නෙවෙයි. බිරිඳටත් දරුවටත් චිත්‍රපටයක් පෙන්වන්න වුවමනාව තිබුණු නිසාත්, ළඟම තිබුණු සිනමා හලේ තිබුණේ මහරජ ගැමුණු නිසාත් වෙන විකල්පයක් තිබුණේ නැහැ. මහරජ ගැමුණු චිත්‍රපටයේ කොටස් රූපවාහිනියෙන් දුටුවිටම මෙය දුර්වල නිර්මාණයක් බව හැඟී ගියා.

මම ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නිදාහය ඉතාමත් ආශාවෙන් බැලුවා. එය අතිශයින්ම විශිෂ්ට නිර්මාණයක්. ඈත යුගයක ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික පසුබිම මොනවට පිළිබිඹු වුණා අග්නිදාහයෙන්. ඒ වගේම තමයි නළු නිළියන්ගේ රඟපෑම් සහ සංගීතය. මහරජ ගැමුණු, අග්නිදාහය අහලකින්වත් යන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපට දෙකම කළේ එකම අධ්‍යක්ෂවරයාද කියල හිතෙන තරමට මහරජ ගැමුණු දුර්වලයි.

මෙම චිත්‍රපටය නිර්මාණය කළේ බොහෝ පර්යේෂණ කර බව අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි කොතරම් පුන පුනා කීවත් චිත්‍රපටයේ එවන් පර්යේෂණයක සේයාවක්වත් දකින්නට නැහැ. කතා පිටපත අතිශයින්ම දුරවලයි. මීට වැඩි නිර්මාණශීලී පිවිසුමක් ජයන්ත වගේ අධ්‍යක්ෂවරයෙක්ගෙන් රසිකයින් බලාපොරොත්තු වෙනවා.  නිකන්ම නිකන් මුල ඉඳලා අගට කතන්දර කියන්න නම් චිත්‍රපටයක්ම ඕනේ නැහැනේ. එක පොතකින් වුණත් කරන්න පුළුවන්.

ඒ වගේම තමයි නළු නිළියන් හැසිරවීම. කිසිම නළු නිලියෙක්ගේ අපූර්වත්වයක් නැහැ. අඩුම තරමින් ජැක්සන් ඇන්තනීවත් සුපුරුදු රංගනයට එළඹ නැහැ. මෙවන් චිත්‍රපටයකට ගැලපෙන නළු නිළියන්ගේ හිඟකම අධ්‍යක්ෂවරයාගේ වරදක්මත් නෙවෙයි. හැකියාවන් තිබුණ අය එක්කෝ වයසට ගිහින්. නැත්නම් මිය ගිහින්. ඉතිරිවෙලා ඉන්නේ ටෙලිනාට්‍යවලින් දිනපතා දකින කිසිම ප්‍රතිභාවක් නැති පියරු බබ්බු ටික විතරයි. ගැමුණු වගේ ප්‍රතාපවත් චරිතයකට පණ දෙන්න උද්ධික ප්‍රේමරත්නට වඩා පෞරුෂයක් තියෙන නළුවෙක් හොයාගන්න නැති එක ඛේදනීය තත්ත්වයක්. පළපුරුදු නළු නිළියන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, කුසුම් රේණු වැන්නන්ගෙනුත් චිත්‍රපටයට සාධාරණයක් ඉෂ්ට වෙලා නැති බවයි පෙනී යන්නේ. තත්ත්වය එහෙමනම් ආධුනික නළු නිළියන් ගැන කවර කතාද?

චිත්‍රපටයේ විරාමය පසුවීත් ටිකක් දුර යනතෙක් ආසනයෙන් නැගිට යන්නම සිතුනත් බිරිඳගේත්, දරුවාගේත් සතුටට බාධා නොකිරීමට බැරි නිසාම ඉතා අපහසුවෙන් සිනමා ශාලාවේ රැඳී සිටින්න වුණා. තනියම ආවානම් අනිවාර්යයෙන්ම නැගිට යනවා. ඒ තරම්ම චිත්‍රපටය සමස්තයක් ලෙස දුර්වලයි.

එක හොඳකට තියෙන්නේ සටන් ජවනිකා ටික ශ්‍රී ලාංකික සිනමාවේ මට්ටමෙන් ගත් කල තරමක් අගය කළ හැකියි. සටන් ජවනිකා කුස පබා, සිරි පැරකුම් වැනි චිත්‍රපට වලට වඩා ඉදිරියෙන් තිබුණා. එත් ටිකක් විතර ට්‍රෝයි චිත්‍රපටය අනුගමනය හෝ කොපි කළ බවක් සටන් ජවනිකා වල කැමරා කෝණ වලින් පෙනුණා. ඒක ලොකු වැරද්දකුත් නෙවෙයි. දුටුගැමුණු එළාර සටන මීට වඩා උද්වේගකරවත්, දීර්ඝවත් තිබිය යුතුව තිබුණා. එය කලින්ම නිම කිරීම ප්‍රේක්ෂකයන්ට කරන ලද අසාධාරණයක් වගේම එළාර රජුටත් කළ අපහාසයක්.

ජයන්ත චන්ද්‍රසිරි නම් මේ චිත්‍රපටය ගැන මාධ්‍ය සමග කතා කරන්නේ බොහොම උජාරුවෙන්. ඔහුගේත් සුනිල් ආරියරත්නගේත්, සෝමරත්න දිසානායකගෙත් අධ්‍යක්ෂණ හැකියාවන්වල වැඩි වෙනසක් මේ චිත්‍රපටය තුළින් මමනම් දකින්නේ නැහැ. ජයන්ත වැනි අපිට සිටින සුළු දක්ෂ අධ්‍යක්ෂවරුණුත් මේ විදියට බොළඳ නිර්මාණ කරනවානම් සිංහල සිනමාව ගැන වැඩි බලාපොරොත්තු තියා නොගත්තාට කමක් නැහැ.

අහෝ! සිරි පැරකුම්…..


සිරි පැරකුම් චිත්‍රපටයේ දර්ශනයක්

සිරි පැරකුම් චිත්‍රපටයේ දර්ශනයක්

සිරි පැරකුම් නැරඹුවෙමි. මෙවැනි අවර ගණයේ චිත්රපටියක් වෙනුවෙන්  බ්ලොග් පෝස්ට් එකක් ලිවීමද කාළය නාස්ති කිරීමකි. එහෙත් චිත්‍රපටය බලන්නට පෙරම බ්ලොග් පෝස්ට් එකක් ලිවීමට සිතාගෙන සිටි නිසා ලියන්නෙමි.

මට ලොකුම ප්‍රශ්නය ඇත්තේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදිකා දෙදෙනාම මෙය “අති දැවැන්ත” චිත්‍රපටයක් ලෙස නම් කිරීමත්, ඒ නිසාම පිටපත් වැඩි ගණනක් පෙන්වීමට උවමනා බවත් කීමය. මෙහි ඇති අති දැවන්ත බවක් චිත්‍රපටයේ කිසිම තැනක නොපෙනේ. එසේම මෙයට විශාල මුදලක් වියදම් වූ බවක්ද නොපෙනේ. ඉතාම දුර්වල පසුතල පාවිච්චි කරමින්, දුර්වල හඬ පරිපාලනයක් සහිතව, දුර්වල කතා පිටපතක් ඔස්සේ නිමවා ඇති මෙහි අති දැවැන්ත කිසිම දෙයක් මටනම් නොපෙනේ.

මුලින්ම අහේනියට ලක්වූ රජ මැඳුරත්, රජතුමාගේ බංකොලොත් අන්තඃපුරයත් පෙන්වයි. අන්තඃපුරයට ළඳුන් තෝරන විට සෝමරත්න දිසානායක එක්කො චිත්‍රපටයේ වියදම් අඩු කර ගැනීමට අවලස්සන ගෑනුන් යොදාගත්තා විය යුතුය. එසේත් නැතිනම් ඔහු අසිහියෙන් සිටියාදැයි සැක සිතේ.  අප්‍රිකානු ගෝත්‍රික රජ කෙනෙකුට වුවත් මීට වඩා සුන්දර ලලනාවන්ගෙන් යුතු අන්තඃපුර තිබේ. හවසට ගාමන්ට් එකක් ඇරෙන තැනක සිටියානම් සෝමරත්න දිසානායකට මීට වඩා ලස්සන යුවතියන් පිරිසක් සොයාගත ගැකිව තිබිණි.

චිත්‍රපටයේ ඇති එකම ගුණාත්මක දෙයනම් කුඩා ළමයාගේ (ප්‍රමුදිත උදයකුමාර) ආකර්ෂණීය පෙනුමත්, පෞරුෂයත්, කුඩා ළමයා හා සම්බන්ධ දර්ශනවල ඇති අලංකාරත්වයත් පමණි. මෙම කුඩා ළමයාගෙන් එහාට හෝ මෙහාට චිත්‍රපටයේ කිසිම සුන්දරත්වයක්, නිර්මාණශීලී ගුණයක් දක්නට නැත. චිත්‍රපටය තවදුරටත් “ඇදගෙන යාමට” අවශ්‍ය නම් මෙම දරුවා තව දුරටත් කාලයක් යොදා ගැනීමට තිබුණි. මැදින් බලෙන් එබ්බවූ කොලු ගැටයා (සචින් චතුරංග) ළාබාල පරාක්‍රමබාහුට කිසිම නෑකමක් දකින්නට නැති, කාල වර්ණ කොලුවෙකි. අව්වට පිච්චුනත් අර හුරතල් කොලුවා මේ තරම්ම කළු විය නොහැක.

පාලිත සිල්වා රජතුමාගේ චරිතයට රඟපෑවත් එහි කිසිම විශේෂ ගුණයක් නොමැත. ටෙලිනාට්‍යවලදි ඔහු මීට වඩා හොඳට රඟපායි. රජ වාසල අනෙකුත් අයද නිකම්ම නිකම් විහිළුකාරයන් පිරිසක් වැනිය. චාන්දනී සෙනෙවිරත්න වැනි පළපුරුදු නිළියකගෙන්වත් හරියට වැඩක් ගෙන නැත.

ජැක්සන්ගේ පුතා (අකිල ධනුද්දර) ද චිත්‍රපටය තුළ විශේෂ යමක් නොකරයි. තාත්තාගෙන් ඔහුට තවම ලැබී ඇත්තේ ඒ ගාම්භීර කටහඬ (දැන් කඩේ යාමට පාවිච්චි කළත්) පමණි. සෙනාලි ෆොන්සේකා සිරිමල් එතනාගෙ චරිතයට මටසිළුටු වැඩි ගතියක් පෙනේ. ඇයගෙන්ද චිත්‍රපටයට ලැබෙන්නේ අතිශයින්ම සාමාන්‍ය දායකත්වයකි.

සන්තෝශ් ෂිවාන්ගේ “අශෝක” වැනි චිත්‍රපටියක් අපට අපේ අධ්‍යක්ෂවරුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. එහෙත්මෙවැනිම වූ කතාවක් ජයන්ත චන්ද්‍රසිරි “අග්නි දාහය” හරහා කළ අපූර්වත්වය මෙනෙහි කරන්න. එම කාලයේ පාවිච්චි කරන්නට ඇතැයි සැලකුණු භාෂා ව්‍යවහාරය, සංස්කෘතිය, ඇඳුම් පැළඳුම් වැනිදෑ ඔහු නිර්මාණය කර තිබුණේ බොහෝ පර්යේෂණ කොට බව බැලූ බැල්මටම පෙනේ. එහෙත් සෝමරත්න දිසානායකත්, රේණුකා බාලසූරියත් කර ඇත්තේ කොහෙන්දෝ ගත් කතාවකට සුන්දර ළමා චරිත කිහිපයක් හඳුන්වා දී ඔවුන්ගේ පිහිටෙන් ගොඩ යාමය. කථාවේ ගුණාත්මකභාවයටවත්, විශ්වසනීයත්වයටත් කුමක් වන්නේදැයි මොවුන් කිසිම තැනකදී කරදර වූවා යැයි නොපෙනේ.