ඉන්න බෑ – කොල්ලට විසේ


ඉහළ ශීර්ෂපාඨය මේ ලියවිල්ලට යොදන්න හිතුවේ පුංචි සිදුවීමක්. මම දවස් කීපයකට පෙර වවුනියාව සිට කොළඹ දක්වා යන රාත්‍රී බස් එකකට නැග්ගේ අනුරාධපුර, සාලියපුර කිට්ටුවෙන්. බස් එක අනුරාධපුරයෙන් නැවැත්තුවා මාකට් එක ළඟින්. මා සිටි ආසනයට ඉදිරියෙන් සිටි තරුණිය බස් එකෙන් බහිද්දී තවත් තරුණයෙක් (සමහර විට තරුණියගේ සහෝදරයෙක්, පෙම්වතා හෝ සැමියා වෙන්නැති) අර තරුණිය ළඟ වාඩිවී සිටි තරුණයාට තරවටු කළේ “දැන් දුන්නනේ උඹෙ ෆෝන් නම්බර් එක. කෝල් කරපන් එයාට උඹ චන්ඩියෙක්නම්. මීට පස්සෙ නම්බර් දුන්නොත් බලාගමු” වැන්නක් කියමින්. බස් එකේ සිටි තරුණයා කිසිවක් කරකියාගත නොහැකි නිසා නිහඬව සිටියා.

මගේ ප්‍රශ්නේ මේකයි. මේ තරුණයා ඒ තරුණියත් එක්ක කතා කරන්නත් ඇති. ෆෝන් නම්බර් එක දෙනකොට එයා ගන්නත් ඇති. (අනුමානකිරීම් පමණයි) ඒ අතරම තමන්ව එක්කන් යන්න ආව තරුණයාට මේ බව කියා කෙටි පණිවිඩයක් හෝ යවන්නත් ඇති. ඒත් ඒක තරවටු කරන්න තරම් නරක දෙයක්ද? තරුණ තරුණියන් හමුවූ විට මෙවැන්නක් සිදුවීම අතිශයින්ම සාමාන්‍යයි. තරුණිය අකමැති නම් නිහඩ වෙන්න පුළුවන්. තරුණයා සීමාව ඉක්මවලා යනවනම් බස් රතයේ කාට හරි නැත්නම් පොලීසියට හරි දන්වන්න පුළුවන්. නමුත් මිත්‍රත්වයක් ගොඩනගා ගන්න හදන අතිශයින්ම අහිංසක ක්‍රියාවලියකදී අයියාට හෝ පෙම්වතාට/සැමියාට කියා “ඉල්ලලා දෙන එක” අවශ්‍යද?

මම හිතන්නේ මේක අපේ රටේ  ගැහැනු ළමයින්ට කුඩා කළ සිටම ඇතිකරන නරක පෙළඹවීමක්. මා දැක තියෙනවා ප්‍රාතමික පන්තිවල ගැහැණු ළමුන්ට පවා පිරිමි ළමයෙක් අතිශයින්ම සාමාන්‍ය විහිළුවක් කළත් ප්‍රතික්‍රියා දක්වන්නේ, “ඉන්න බෑ. කොල්ලට විසේ” වැනි රළු ලෙසකින්. එහෙම නැතිව විහිළුවකට විහිළුවකින්ම පිළිතුරු දෙන්න මේ දරුවන්ට හුරු නොකරන්නේ ඇයි? මම මේ කියන්නේ සීමාව ඉක්මවා යන bullying (හිරිහැරකිරීම්) හෝ intimidation (තැතිගැන්වීම්) ගැන නෙවෙයි. අහිංසක සහ ගැටවර හෝ තරුණ වයසේ ඉතාම සාමාන්‍ය විහිළු තහළු ගැනයි.

සමහර විට මටත් මගේම දුවක් සිටියානම් මමත් බොහෝවිට අන් අය ලෙසින්ම හිතන්නටත් බැරි නැහැ.

Advertisements