නන්දගේ කොලම – 3 – හදවත රත්තරන් ජෝති ගැයූ අර්තාපල් ප්‍රවර්ධන ගීතය


ජෝතිපාල මියගොස් දශක තුනහමාරක් කිට්ටු වී ඇතත් ඔහුගේ ජනප්‍රියත්වය බිඳකුදු අඩු වී නැති බව අවිවාදිතය. මා උගන්වන නව යොවුන් වයසේ ගැටයන් ගැටිස්සියන් පමණක් නොව ප්‍රාථමික පංතිවල පැංචන් පැංචියන්ද ඉංග්‍රීසි පාඩම් අතර තුරදී මම ජෝතිපාලගේ ගීතයක් Zoom හරහා විකාශය කළ විට ඊළඟ දිනයෙත් “ඒ මාමාගේ සිංදුවක්ම” ඉල්ලා පංති වර්ජනය කරති.

හදවත රත්තරන් ජෝති

ජෝති ජීවත්ව සිටි කාලයේදී ඔහු හින්දි ගී තනුවලට තේරුමක් නැති ගී ගයන පීචං ගායකයකු බවට “හෙළ සංගීත කෙතේ පහළ වූ ගාන්ධර්වයන්” විසින් අවලාද නගනු ලැබිණි. ජෝති ඒවා අධෝ වාතයක් තරම්වත් මායිම් නොකොට මියයන තුරුම මිහිරි ගීම ගැයීය.

හින්දි ගී තනු වලට “සිරියා මේ සාරා නැගේවි හද මෝරා” වැනි මෙලෝ තේරුමක් නැති එහෙත් නොනටා සිටිය නොහැකි මනහර ගීත මෙන්ම පුදුමාකාර ගායන ප්‍රතිභාවක් පෙන්වූ (මා දන්නා පරිදි) original තනුවලට නිර්මාණය කළ “රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ,” “මා ප්‍රාර්ථනා ආශාවෝ,” “පාට පොදක් තිලකෙ ලා” වැනි අනර්ඝ ගීතද ගැයීය.

ජෝතිපාලගේ ගායන ප්‍රතිභාවට ආසන්නයේ හෝ තැබිය හැකි අනෙක් ගායකයෙක් ලෝකයේ කොහේ හෝ සිටියේ නම් ඒ මෑතක දී කොරෝනා විසින් අපෙන් උදුරාගත් අසහාය ඉන්දීය ගායක S. P. බාලසුබ්‍රමානියම් පමණි.

ජෝති ආදර ගීත, විරහ ගීත, දේශාභිමානී ගීත, විකට ගීත මෙන්ම බොදු බැති ගීතද කොතරම් ගැයුවත් ඔහු කෘෂිකාර්මික ගීතද ගයා ඇතැයි කීවොත් ඔබ පුදුම විය හැක.

ඇත්තෙන්ම ජෝතිගේ ගීතවල එකදු වචනයක් වත් නොතේරුණත් ජෝතිට වැඩියෙන්ම ආදරය කරන්නේ නුවර එළියේ, බදුල්ලේ සහ යාපනයේ අර්තාපල් ගොවියන්‍ ය. මා දීර්ඝ කාලයක් මේ දිස්ත්‍රික්ක තුනේම ජීවත් වී ඇති නිසා අර්තාපල් ගොවියන් ජෝතිට ඇති ජාති, අගම් වලට එහා ගිය මේ අසීමිත ආදරය හොඳින්ම දනිමි.

ශ්‍රී ලාංකික අර්තාපල්

ඒ කොන්දේසි විරහිත ආදරය (unconditional love) ඇතිවී ඇත්තේ අර්තාපල් පරිභෝජනය ප්‍රවර්ධනය කරමින් Rekha O Rekha හින්දි ගීතයේ තනුවට ජෝති ගැයූ පහත ගීතය නිසාය.

සරත් ද අල්විස් – “ලංකාවෙ බප්පි ලහිරි”


A drawing by Mahinda Pathirage. Special thanks for sharing the picture goes to Kumudini Gunawardhana.

මම සංගීතය ඉගෙනගන්න පටන් ගත්තේ රූපවාහිනියෙන් සරත් ද අල්විස්ගේ ඕගන් වාදනය දැකලා. මම සරත්ගේ හැම ඕගන් අනුවාදන කැසට් පටයක්ම මිලදී ගෙන සිය දහස් වර ඇහුවා. ඇත්තටම සරත් ඉපදෙන්න තිබ්බේ ඉන්දියාවේ. ඉන්දියාවෙ බප්පි ලහිරි ඩිස්කෝ සංගීතයෙන් කළ වෙනස ලංකාවෙදි කළේ සරත්.

මම හිතුවේ (සහ අනෙත් අය කිව්වෙත්) මට සංගීතයනම් හරියන්නේ නැති බවයි. ඒත් අපේ සිංහල ගුරුතුමා නැසීගිය ආනන්ද විජය සිරිවර්ධන මහතා මට මුලින්ම මෙලෝඩිකාවකිනුත් දෙවනුව සර්පිනාවකිනුත් සංගීතය ඉගැන්නුවා. ඊට කලින් ලොකු අයියා ඉලෙක්ට්‍රොනික් ඕගන් එකක් ගෙනල්ල තිබුණත් ඒක මම වයනකොට ආවෙ “කතී වෙණ මීයන” සංගීතයක් විතරයි.

කොහොම කොහොම හරි වසර 2000 අගෝස්තුවේ ඉල්ලාගත් ඕගන් දෙකකින් පැය 3ක සජීවී සංදර්ශනයකට සංගීතය සැපයුවා. ගායන, නර්තන ඉදිරිපත් කළේ මහවිලච්චිය හොරයිසන් අකැඩමියේ ළමයින්.

දී මම වසර 2000දී ඇමරිකානු සංචාරයෙන් පස්සේ ඉතුරු කරගත් මුදලින් පිටකොටුවෙන් Yamaha organඑකක් රුපියල් 10,000කට මිලදී ගත්තා. ඊට පස්සේ හැම අවුරුද්දෙම පැය 3ක සජීවී සංදර්ශනයක් මහවිලච්චියේ ළමයින් එක්ක කළා. මේ සඳහා ආශාව ඇතිවුණේ සරත්ගේ ඕගන් වාදන දැකීම සහ ඇසීම. (හැබැයි පහුගිය වසර 14 පුරාම නැවත ඕගන් වාදනය කළේ නැහැ.)

සරත් ට හැකියාව තියෙනවා සම්පූර්ණ සංගීත කණ්ඩායමක කාර්‍යය තනියම කරන්න. ඒක එයා අද තරම් සංගීතයට පරිගණක යොදා නොගන්නා කාලයේ සිටම කළා. ඉතාම සංකීර්ණ හින්දි ගීත ඔහු වාදනය කළේ පුදුම හිතෙන තරම් නිවැරදිව. ඔහු බටහිර සංගීතය ගීතවලට යොදා ගන්න බොහොම දක්ෂයි. මේ නිසාම වෙනත් සංගීත අධ්‍යක්ෂවරුන් සංගීතය සැපයූ කසෙට් පටවල පවා ගීතයක් හෝ කිහිපයකට සරත් දායක වුණේ කසෙට් නිෂ්පාදාකයන් ඔහුගේ මේ විශේෂ හැකියාව දන්න නිසා වෙන්නැති.

H. R. ජෝතිපාල සරත්ට හමුවෙන්නෙ ජෝතිගෙ අවසාන කාලයෙදි. හරියටම බප්පි ලහිරිට කිෂෝර් කුමාර්ව හමුවෙන්නේ කිෂෝර්ගෙ අවසාන කාලෙදි වගේ. ජෝතිපාල-සරත් එකතුවී කරපු අගනාම ගීතයක් තමයි නිදි නැති රෑ යාමේ ගීතය. මෙය හින්දි ගීතයක තනුවට ගැයුනත් සරත්ගේ ඩිස්කෝ සංගීතය ගීතයට කදිමට ගැලපුනා. ජෝති තව ටික කලක් සිටියානම් අපිට ජෝතිගෙ හඬ බටහිර ඩිස්කෝ සංගීතයට මිශ්‍ර වෙන හැටි අපට අහන්න තිබුණා. සරත්-ජෝති සුසං‍යෝගය වැඩිපුර කියවීම සඳහා http://archives.sarasaviya.lk/2013/07/04/?fn=sa13070416 කියවන්න.

සරත්ගෙන් පස්සේ නැවතත් ඕගන් වාදනයට ආශාව අළුත් වුණේ ඇමරිකාවේ සිට Nuwan Samaranayake එවූ යන්නි Yanniගේ ඕගන් වාදන සංගීත සංදර්ශන DVD වලින් දැක්කට පස්සේ. ඊළඟට A. R. Rahumanගේ ඕගන් වාදන සජීවී සංදර්ශන DVD වලින් දැක්කට පස්සේ.

මට සරත් ද අල්විස්ගේ ඕගන් වාදන අහපු/දැකපු දවසේ ඉඳලම ඕනේ වුණේ ඔහු වගේම වෘත්තීය වාදකයකු වෙන්න. දැන් ඒකට මම නාකි වැඩිද දන්නේ නෑ.