ස‍රත් කුසුම් – බුද්ධික ගජපාල


සරත් කුසුම් පිටකවරය

බුද්ධික ගජපාලගේ “ස‍රත් කුසුම්” නවකතාව කියවීමට අහඹු අවස්ථාවක් ලැබුණේ මම සිංහල නවකථා කියවීම සම්පූර්ණයෙන්ම පාහේ අතහැර දමා සිටියදී කීවොත් නිවැරදිය. මුල් පරිච්ඡේදය කියවූ සැනින්ම මම ගජපාලගෙ නවකතාවට වශී වූවා යැයි කිවහොත් නිවැරදියි. ඇමරිකානු පරිගණක ඉංජිනේරුවකු වුවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගජපාල සිංහල පොත් දිගින් දිගටම කියවන්නකු වුවත් ඔහු නවකතාකරුවකු වී ඇත්තේ මෙම නවකතාව සමගයි. මුල්ම නවකතාවම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට ගජපාල සමත්වී සිටින බව මගේ පුද්ගලික හැඟීමයි. නැවතත් සිංහල නවකථා කියවීමට උනන්දු කිරීම සම්බන්ධයෙන් ගජපාලට මගේ ස්තුතිය මුලින්ම පිරිනමමි.

මගේ මතකය දිවයන පරාසය තුළ සිංහල නවකතාවෙ ප්‍රධාන යුග කිහිපයකට බෙදා දැක්විය හැකිය. ඔබට මීට එක් කිරීමට හා මෙයින් ඉවත් කිරීමට යුගයන් තිබෙන්නට පුළුවන. මේ පුද්ගලිකවම මම හිතන යුගයන්ය. (පරිවර්තන නවකථා මෙම ලැයිස්තුවෙන් ඉවත් කළේ හිතාමතාමය. ඒ ගැන පසුව වෙනම කතාකළ යුත්තකි.)

  1. කරුණාසේන ජයලත් යුගය
  2. කුමාර කරුණාරත්න යුගය
  3. ජයසේන ජයකොඩි යුගය
  4. සුජීව ප්‍රසන්න ආරච්චි යුගය
  5. මොහාන් රාජ් මඩවල යුගය

මෙයින් සිංහල නවකතාවේ අප්‍රසන්නම, අවාසනාවන්තම යුගයන් ලෙස මම දකින්නේ අන්තිම යුග දෙකයි. හොඳ සිංහල නවකථා මේ අතරතුර කොපමණවත් නිකුත් වන්නට ඇති නමුත් මම කළේ සම්පූර්ණයෙන්ම සිංහල නවකථාවන් කියවීම අතහැරීමයි. ගජපාලට අළුත් යුගයක්, ප්‍රවණතාවයක් ඇති කළ හැකි වන හැකියාව තිබෙන බව පෙනුණත්, වෙළඳපළ බලවේග සහ නවකතාකරණය ඔහුගේ පූර්ණකාලීන  රැකියාව නොවන නිසාම ඔහුටත් සීමාවන් වැටීමට හැකියි.

සාමාන්‍යයෙන් අසම්මත ආදරය පහසුවෙන් විකිණීමට හැකි බව නවකතාකරුවන් පමණක් නොව බොහෝ අනෙකුත් කලාකරුවන් තුළ පවතින විශ්වාසයකි. එය අසත්‍යයක්ද නොවේ. අසම්මත ආදරය සාර්ථක ලෙස කළා නිර්මාණ වලට ගෙන ආ, මමද පරිහරණය කළ කලාකෘතිවලින් සමහරක් නම් Pretty Woman, Lolita, Venus, Circumstance, Fire වැනි නවකථා හෝ චිත්‍රපටයි. (හිතාමතාම මේ ලැයිස්තුවෙන් සම්භාව්‍ය කෘති හැලුවේ ඒවා ගැන කතා කිරීමට මට වඩා සුදුස්සන් කොතෙකුත් සිටින නිසාය.)

යාන්තමට මෙන් සරත් කුසුම් තුළ Pretty Woman චිත්‍රපටයේ සේයාවක් වැටී තිබුණත් එය සම්පූර්ණයෙන්ම අහඹුවක් බව නවකතාව සම්පූර්ණයෙන්ම කියවූ පසු ඔබටත් දැනේවි. ඔබට හෝ මට කුමක් හෝ හේතුවක් නිසා සැබෑ ලෙසම ආදරය කරන්නියක මුණ ගැසුණොත් නවකතාවෙ කතානායකයා වන අශෝක් රන්තැන්නගේ තත්වයට ඔබත් මාත් පත්විය හැකියි. එය එසේ වූ අවස්ථා අප අවට සමාජයේ කොතෙකුත් ඇත. සැබෑ ආදරය ඉදිරියේ බොහෝ දේ අත් හළ රජ කුමරුන්ද සිටියදී අශෝක් වැන්නකුට එසේ වීම අරුමයක්ද? සමාජය සතුටු කරනවාද නැත්නම් ඔබ සතුටු වනවාද යන ප්‍රශ්නයේදී ඔහු තරම් නිර්භීත තීරණයක් ගන්න ශක්තියක් ඇත්තේ අප අතරින් කීයෙන් කීදෙනාටද?

ගජපාල නවකතාව ලිවීමේදී වර්තමානය සහ අතීතය අතරේ අපව ගෙනයන්නේ කාලයන්ත්‍රයකින් කාලතරණය කරන්නාක් මෙනි. මෙම විලාසිතාව සමහර කතාකරුවන් මීට පෙරද යොදාගෙන ඇතත් ගජපාල තරම් සාර්ථකව එය කර ඇද්දැයි සැක සහිතය. කවරකු හෝ “සරත් කුසුම්” ඇසුරින් චිත්‍රපටයක් නිමවන්නට අදහසක් තිබේනම් ගජපාල තිරනාටක රචකයාගේ කාර්‍යයත් බොහෝදුරට කර ඇතැයි මට සිතෙන්නේ ඒ නිසාය.

වත්මන් සමාජයෙන් වේගයෙන් ප්‍රතික්ෂේප වන කුලමල භේද, දෙමව්පියන් දරුවන් වැඩිහිටියන් වූ පසුවද  ඔවුන්ගේ ජීවිතවලට කඩාවැදී ඒවා අවුල් කිරීම, තරුණ විය ඉක්මවූ මවුපියන්ගේ පෙම් සබඳතා, ලිංගික සබඳතා හෝ විවාහවලට දැඩි ලෙස විරුද්ධ වන දරුවන්ගේ මල කෝලම් වැනි සාම්ප්‍රදායික සමාජයේ “පුරුෂාර්ථ” ගැන යන්තම් සඳහන් කර ලිස්සා යමින් නව ලිබරල්වාදී අදහස් මතු කිරීමට ගජපාලට හැකිවන්නේ සමහර විට බොහෝ කලක් බටහිර සමාජයේ ජීවත් වීම නිසා විය හැකිය.

නවකතාව සෑහෙන දුරක් කියවා යනතෙක්ම සාම්ප්‍රදායික හෝ එසේ නොවන දුෂ්ටයකු හමු නොවන නිසා මෙය තරමක් දුරට “සියල්ලන්ම සතුටින් විසිරයන”  වර්ගයේ නවකතාවක්දැයි සැක පහළ වුවත් ගජපාල දුෂ්ටයා නියම වෙලාවට එවන්නේ සුමුදුගේ පැරණි “ගනුදෙනුකාරයකු” ලෙසය. ඉන්පසු සියල්ල ඉදිරී ගරාවැටෙනවාදැයි දැනගැනීමටනම් ඔබට සම්පූර්ණ නවකතාව කියවීමට සිදුවනු ඇත.

පොත මිලදී ගැනීම පහත ලිංක් එක හරහා කළ හැකිය.

https://www.blurb.com/b/9546390-sarath-kusum

පිටකවර නිර්මාණය අශෝක අබේවර්ධන