
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ඡායාරූපය http://www.tapmal.com වෙබ් අඩවියෙනි.
මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයට කුඩා කළ සිට තරුණ විය දක්වාම දැඩි කැමැත්තකින් සිටියෙමි. ඒ අනෙකුත් සේවාවන්ට වඩා ප්‍රාණවත්ව, විනෝදය නො අඩුව ගෙනා නිසාවෙනුත් ඉතාමත් ප්රබෝධජනක වැඩසටහන් පෙළගැස්මකුත් තිබුණ නිසාවෙනි. වෙළඳ සේවය එක කළෙක සිංහල දෙවන සේවය ලෙසද හැඳින්විණ.
මම කොහොමත් උදෑසන පිරිත් සහ ආගමික වැඩසටහන් වලට එතරම් කැමැත්තක් නොදැක්වූවෙමි. මට අවශ්‍ය වූයේ ප්රවෘත්ති සහ ගීතයි. වෙළඳ දැන්වීම් වලටද මම තරමක් ඇබ්බැහි වූයේ ඒවායෙහි තිබුණු නිර්මාණශීලී බව නිසාමයි. විශේෂයෙන්ම “ඇල්කතීන් නළ” සහ “ග්‍රැමෙක්සෝන්” වෙළඳ දැන්වීම් වලට මම ආශා කළෙමි. “බර්නි ටොෆී,” “ග්ලූකෝරස මාමේ,” “ඩොට් ටොෆී” මා ප්‍රිය කළ අනෙක් වෙළඳ දැන්වීම්ය. වෙළඳ වැඩසටහන් මෙහෙයවූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ඉතා හොඳ, ගැඹුරු කටහඬක් තිබුණ නිවේදකයෙකි. ගැමුණු විජේසූරියගේ වෙළඳ වැඩසටහන් මම තදින්ම අප්‍රිය කළත් බොහෝ වෙළඳ වැඩසටහන් කළේ ඔහුය. බොහෝ වෙළඳ දැන්වීම් කියෙව්වේද ඔහුය. තිස්ස ජයවර්ධන මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා විය. මට වරක් ඔහු ගම් උදාව සැණකෙළියකදී ගුවන් විදුලි සංස්ථා කුටියේදී හමු විය. මම ඉතා ආඩම්බරයෙන් ඔහු මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා යයි කියූ විට ඔහු මගේ පිටට තට්ටුවක් දැම්මේය. එය මට ඉතා වටිනා තට්ටුවකි. මම අදටත් ඔහුගේ හඬින් ප්රවෘත්ති කීමට කැමතිය. ඔහු “දොළහයි හතළිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති. ප්‍රකාශය තිස්ස ජයවර්ධන විසිනි.” යයි කිව්වෙ ඉතාමත් ගාම්භීර ලෙසටය. ප්රවෘත්ති ඇසීම බොහෝ බරපතල කාර්යයක් වූයේ ඔහු වැනි ප්රවෘත්ති නිවේදකයනුත්, රම්‍යා වනිගසේකර වැනි ප්රවෘත්ති නිවේදිකාවනුත් නිසාය.
ජිප්සීස් අනුග්‍රහයෙන් ඉරිදා දවල් 1.45ට ප්‍රචාරය කළ වෙළඳ වැඩසටහනෙන් විනාඩි 15ක් පුරා ජිප්සීස් සංගීත ඛණ්ඩ ඇසීමට ලැබිණ. එය අරුමයක් වූයේ එකල ජිප්සීස් ගීත අසන්නට හැකියාව තිබුණේ කැසට් රෙකොර්ඩර් තිබුණ අයට පමණක් වීම නිසාය. අපට තිබුණේ පරණ ෆිලිප්ස් රේඩියෝවක් පමණි. (ඉතා සීමිත ජිප්සීස් ගීත ගණනක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට අනුමත කර තිබුණත් ඒවා ප්‍රචාරය වූයේ ඉතාමත් කලාතුරකිනි.)
මන්චී අනුග්‍රහයෙන් ප්‍රචාරය කෙරුණ “මන්චී ගීත්මාලා” ඉදිරිපත් කළේ ආරියසිරි විතානගේය. ඔහුගේ වැඩසටහන් මෙහෙයවීම ඉතාමත්ම අගනේය. මෙහි ප්‍රචාරය වූයේ හින්දි ගීතය. ගුවන් විදුලියේ අනෙකුත් වැඩසටහන් වලින් බොහෝ දුරට ප්‍රචාරය වූයේ ඉතාම පැරණි හින්දි ගීත වුවත් මන්චී ගීත්මාලා තුළින් අළුත් හීන්දි ගීතද ප්‍රචාරය වූ නිසා මම එය ඉතා ආශාවෙන් සවන් දුන් වැඩසටහනක් වුණි. එහි නැවත් ප්‍රචාරයක් ඊට පසු දිනක රජරට සේවයෙන්ද කෙරුණි. මේ වැඩසටහනට නොයෙකුත් චිත්‍ර ඇඳ යැවීම එකල මගේ සිරිතයි. හොඳම නිර්මාණවලට මුදල් තෑගි ලැබුණත් මගේ නිර්මාණවලට කිසිදා තෑගි ලැබුණේ නැත. එහෙත් නිතර චිත්‍ර යවමින් කළ මගේ කරදරයෙන් බේරෙන්නටදෝ ආරියසිරි විතානගේ වරක් මගේ නමද අසන්නෙක් වශයෙන් යොදා ගීතයක් ඉදිරිපත් කළේය. එහෙත් ඒ මම කිසිසේත්ම කැමති වූ ගීතයක් නොවේ. එහෙත් මගේ නම මුලින්ම ගුවන් විදුලියෙන් ඇසුණ නිසා මට සතුටක් දැනුණි.
වෙළඳ සමාගම් අනුග්‍රහයෙන් ප්‍රචාරය කළ මුවන් පැලැස්ස, මොණරතැන්න, වජිරා වැනි වැඩසටහන් ප්‍රචාරය වූයේ රාත්‍රී අටෙන් පසු නිසා ඒවා අපිට අසන්නට ලැබුණේ කලාතුරකිනි. එයට හේතුව ඒ වන විටත් අපි නිදි දෙව්දුව තුරුලට ගොස් හමාර නිසාය. එහෙත් කලාතුරකින් මේ වැඩසටහන් ඇසූ දවස්ද විය. එහෙත් සතිපතා අසන්නේ නැති බැවින් මේවාට අපේ උනන්දුව අඩු විය. හඳමාමා අපි ඉතාම ප්‍රිය කළ වැඩසටහනක් වුවත් හඳමාමා ප්‍රචාරය වන වෙලාවට අපි රංචු ගැසී සෙල්ලම් කරන නිසා බොහෝවිට අපිට එය මඟහැරෙයි. එවිට දැනුණේ කියාගන්නට බැරි තරම් දුකකි.
මේ විස්තර ලියන්නට සිතුණේ දින කිහිපයකට පෙර මම වසර ගණනාවකට පසු නැවතත් වෙළඳ සේවයට සවන් දුන් නිසාය. පුදුමයකි. වෙළඳ සේවයේ වැඩසටහන් නැවතත් අප ප්‍රිය කළ 80 දශකයේ ආකෘතියටම ගොස් ඇත. වෙළඳ සේවය මම කලකට පෙර අත හැරියේ ඔවුන්ද අන්ධානුකරණයෙන් අනෙකුත් පෞද්ගලික FM නාලිකාවන් කොපි කළ නිසාය. ගරා වැටෙන ජනප්‍රියත්වයත් සමග ඔවුන් එයට පෙලඹුණත් දැන් ඔවුන් නැවතත් පැරණි රිද්මයටම පැමිණ ඇත. සමහර වැඩසටහන්වල තේමා සංගීතය පවා පැරණි, හුරුපුරුදු ඒවාමය. නිවේදක නිවේදිකාවන්ගේ සංයමයෙන් යුතු සන්නිවේදනයද ළගන්නා සුළුය. ප්රවෘත්ති ව්‍යාකරණානුකූලව ඉදිරිපත් කෙරේ. නිවේදක තෝරයි, චිත්‍රපට ගී, මධු රසාංග, ගී රසාංග වැනි වැඩසටහන් තවමත් පැරණි ආකෘතියෙන්ම ඉදිරිපත් කෙරේ. වෙනසකට ඇත්තේ ඔවුන් විටින් විට “මඳ විරාම” ගැනීම පමණි.
වෙළඳ සේවයේ සංඛ්‍යාතය 94.3 හා 94.5 FMය. වෙළඳ සේවය අන්තර්ජාලයෙන් අහන්න නම් මෙන්න තැන. http://www.slbc.lk/index.php/tech/sinhala-commercial-service වෙළඳ සේවයේ ගීත Remix නොකළ ඒවාය. ඔක්ටපෑඩ් කන්කරච්චලය කොහෙත්ම නැත. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත පවා “සිහිවටන” කැසට් පෙළට පෙර පටිගත කළ පැරණි සංගීතය සහිත ඒවාය. අළුත් කළ ගීතයක් ප්‍රචාරය වන්නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝ ගීත තේරීම්ද අප ප්‍රිය කළ කන්කලු ගීතමය. නිවේදකයන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සමග දුරකථනය ඔස්සේ දොඩමළු වුවද නිවේදක-ශ්‍රාවක දෙපක්ෂයම එය කරච්චලයක් නොකොට, සංයමයෙන් යුතුව, කෙටි සාකච්ඡාවන්ට සීමා කරති.
එහෙත් එක පරහක් ඇත. ඔබට ඔබ බෙහෙවින් අප්‍රිය කරන හඩ්සන් සමරසිංහගේ හඬ වෙළඳ සේවය ඔස්සේ උදේට ඇසීම ඉවසාගත යුතුය. ඔහුගේ මතභේදකාරී උදෑසන වැඩසටහන වෙළඳ සේවය ඔස්සෙද ඇසේ. එමෙන්ම ඔහුගේ හඬින් බොහෝ වෙළඳ නිවේදනද ඔබට අසා සිටීමට සිදුවේ. ඔබට මේවා ඉවසිය හැකිනම් අදම ඔබේ ගුවන් විදුලිය වෙළඳ සේවයට සුසර කරගන්න.