ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් තම පුතුන්ට දැමීම බොහෝ කලක සිට දෙමාව්පියන්ගේ සිරිතකි. ට්‍රෝජන් යුද්ධයේ වීරයා වූ ක්‍රිස්තු පූර්ව 300ටත් එහා සිටියා යයි සැලකෙන ඇකිලිස්ගේ නමින් ග්‍රීක දරුවන් තවමත් නම් කෙරේ. කලකට පෙර ක්‍රිකට් ලොව ලෝක පූජිත පිතිකරුවන් පවා අසරණ කළ වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් දෙදෙනාගේ නම් ශ්‍රී ලංකාවේ එකම පවුලේ නිවුන් මුස්ලිම් දරුවන් දෙදෙනෙකුට දමා තිබුණු බව මට මතකය. සනත් ජයසූරිය දිගට හරහට පොල් අඩි ගැසූ කාලයේදී ඉන්දියානු දරුවන් ජයසූරිය නමින් නම් කළ බව එකල අසන්නට ලැබිණි. මේ අයුරින්ම ජෝන් වෙයින්ගේ, රජිනිකාන්ත්ගේ, දිලිප් කුමාර්ගේ නම්ද දෙමව්පියන් තම පුතුන්ට දැමූහ.
සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින් කොමියුනිස්ට්කාරයන්ට පවා තිත්ත වූ නායකයෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ ජෝසෆ් ස්ටාලින්ගේ පියා ඔහුගේ පුතාට ජෝසෆ් ස්ටාලින්ගේ නම දැම්මේය. ජෝසෆ්ගේ පියාද වෘත්තීය සමිති සටන් කරුවෙක් බව කියැවේ. මෙය පුදුමවීමට කරුණක් නොවේ. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නම පවා තම පුතුන්ට දැමූ ජර්මානු පියවරු සිටි බව කියැවේ.
මම දැන් කියන්නට යන්නේ ශ්‍රී ලංකා ගුරු සංගම් ක්ෂේත්‍රයේ රොක් තරුව (rock star) වන ශ්‍රී ලංකාවෙ ජෝසෆ් ස්ටාලින් ගැනය. ගුරු සංගම් හැටහුටහමාරක් තිබ්බත් ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වර්තමාන icon එක ජෝසෆ්ය. අනෙක් ගුරු වෘත්තීය සමිති නායකයන් හුදෙක් also-ransලා පමණය. වෘත්තීය සමිති නායකයෙක් ලෙස ජෝසෆ්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් මට වඩා කදිමට අජිත් පැරකුම් ජයසිංහ ලියා ඇත. කැමති නම් කියවන්න. (කාලකණ්ණි ගැන වැඩිදුර සාකච්ඡා)
සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් අතිශයින්ම කෲර පාලකයෙකි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් අතිශයින්ම මානව හිතවාදී කුරා කුහුඹුවෙකුට වත් අනතුරක් කිරීමට අකමැති අවිහිංසාවාදියෙකි. සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින් දැඩි මර්දනකාරී පාලනයක් ගෙනගිය පාලකයෙකි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගුරුවරුන් වෙනුවෙන් ගුරු සටන් මෙහෙයවන නායකයෙකි. සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් තම පුද්ගලික වාසිය සඳහා සමාජවාදී ප්‍රතිපත්ති තුට්ටුවකට මායිම් නොකර පුද්ගලවාදී ප්‍රතිපත්ති ගෙනගිය නායකයෙකි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් තුවක්කුවක් ඔළුවට එල්ල කළත් තම ප්‍රතිපත්ති පාවා නොදෙන නායකයෙකි. සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් මහජන මුදල් කොල්ල කෑවා දැයි මම නොදනිමි. ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් කිසිදු විටෙක මහජන මුදල් කොල්ල නොකන බව මම තදින්ම විශ්වාස කරමි.
ජෝසෆ් ස්ටාලින් මට හමුවූයේ අහම්බෙනි. මට මතක හැටියට ඒ මීට වසර විස්සකටත් පෙර මම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මුලින්ම ඉගැන්වූ පාසලේ මට යම්කිසි අසාධාරණයක් වුණ බව ඔහු අහම්බෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්‍යාලයේදී කාගෙන් හෝ දැනගත් විටදීය. එදා කලාප අධ්‍යාපන කාර්යාලයට මම ගියේ ගුරු වෘත්තිය ගැන හොඳටම කලකිරී මගේ ඉල්ලා අස්වීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට භාර දීමටය. ඒ වනවිට මම දැන සිටි එකම ජෝසෆ් ස්ටාලින් සෝවියට් දේශයේ ඒකාධිපති ජෝසෆ් ස්ටාලින් පමණි.
ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන සිටි මේ අරුම පුදුම නමක් ඇති මිත්‍රශීලී තරුණයා, ශ්‍රී ලංකාවේ ගුරු සංගම් ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින්, ඔහුව හඳුන්වා දී අවශ්‍ය නම් මගේ ප්‍රශ්නයට මැදිහත් වීමට හැකි යැයි පැවසූ නමුත් ඒ සඳහා ඔහු නියෝජනය කළ ලංකා ගුරු සංගමයට බැඳෙන ලෙස මගෙන් කප්පම් ඉල්ලුවේ නැත. මම ඔහුගේ මැදිහත්වීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේ වෘත්තීය සමිතිවලට අකමැති නිසාත්, කිසිදු ගුරු වර්ජනයකට එකදු දිනක් හෝ මම සහභාගි වී නොමැති නිසාත්ය. ඊට පසු මම කැමතිනම් රාවය පුවත්පතට හෝ BBC සිංහල සේවයට හෝ මගේ ප්‍රශ්නය ඉදිරිපත්පත් කිරීමට මග සලසා දීමට හැකි බව ඔහු පැවසුවේය. ඒත් මම එයත් ප්‍රතික්ෂේප කළේ මට අවශ්‍ය වුණේ මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වීමට වඩා ඉල්ලා අස්වීම බාරදී ගෙදර ගොස් කුඹුරු කෙටීම ඊට වඩා යහපත් බව හැඟුණ නිසාය. (ඒ වනවිට කිසිදු ජනමාධ්‍යක මා ගැන සදහනක් නොතිබූ නිසා ප්‍රසිද්ධියට කෑදර වූයේ නම් ජෝසෆ් ලබාදුන් මේ අවස්ථාවන් දෙකම දෑතින්ම බදාගැනීමට මට හැකියාව තිබිණි.)

ඉන් පසුව බොහෝ වරක් මට ජෝසෆ් හමුවිය. ඔහු වැඩ කළ මගේ ගමට ආසන්නයේ ඇති වන්නි හැලඹෑව විදුහලට ද ඉන්පසු ඔහු වැඩ කළ සඳසිරි දුනුවිල නම් සුන්දර කඳුකර ගම්මානයේ පාසලටද මම ඔහු සමඟ ගොස් ඇත. කොළඹ දී ද ඔහු හමුවී ඇත. ඔහුත් සමග ප්ලේන් ටී බී ඇත. දිනක් ගුරු සංගම් කාර්‍යාලය කිට්ටුව පෙට්ටි කඩයක් තුළදී එකම බත් මුල බෙදාගෙන කෑවාද මතකය. එක් රාත්‍රියකදී මහවිලච්චියේ ගුරු යුවලකගේ ගෙදරදී ෂොට් එකකුත් දමා ඇත.
නමුත් මම කිසිම දිනක කිසිදු ගුරු සංගමයකට බැඳී නැත. ගුරු සංගම් වලට විරුද්ධද නැත. ගුරුවරුන් අනෙකුත් වෘත්තිකයන් මෙන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගත්තාට මට ඇති රුදාවක්ද නැත.
මම ජෝසෆ් ගැන මෙසේ ලියන්නේ ජෝසෆ් මම පුද්ගලිකවම අඳුනන නිසා “මෑන් අපේ එකෙක්, අපි ඌව රකින්න ඕන” කියන බොළඳ මානසිකත්වයෙන් නොවේ. මගේ ගමේ වූ නිසා, මගේ පාසලේ නිසා, මගේ කල්ලියේ නිසා ඕනෑම පාදඩයෙක් රැකියයුතුයි කියන මතයේ සිටීමට මට ඇවැසි නැත. සමහරවිට මගේ ඊළඟ ලිපියකදී ජෝසෆ්ගේ සමහර ක්‍රියාකලාපයන් විවේචනය වියහැක. එවන් ලිපියක් ලියවුණත් ජෝසෆ් බඩ අල්ලාගෙන සිනාවෙනවා මිස ඔහු නිවැරදියැයි සිතන ඔහුගේ ක්‍රියාකලාපයන් කිසිවක් වෙනස් කරන්නේද නැත.
මම දෙවරක්ම ජෝසෆ් සමග අං පටලවාගෙන (lock horns) ඇත. ඕනෙමනම් ඉදිරියේදීත් එසේ කළහැක. එහෙත් අපේ මිත්‍රත්වය එයින් පලුදු නොවනු ඇත. ඔහුත් මාත් දෙදෙනාම පැටලෙනවානම් පැටලෙන්නේ තාර්කික සහ ප්‍රායෝගික කරුණු මූලික කොටගෙන මිස “අරූ මට කෙළියා. මාත් ඌට හොඳ කෙලවිල්ලක් කෙළවන්නම්” යන අරමුණින් නොවන නිසාය.
මම ගුරු සංගම් වලට සම්බන්ධ නොවීම සහ වර්ජනය නොකිරීම මගේ පුද්ගලික තීරණයකි. මම වඩාත් සතුටු වන්නේ මගේ සිසු දරු දැරියන් සමඟ හැකි වැඩිම කාලයක් ගත කිරීමෙනි. එය මා සතු අයිතියකි. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල දරු දැරියන්ට උගන්වා ඇති මම දැන් වුණත් ශ්‍රී ලංකා පාසලක ඉගැන්වීම්ට කැමැත්තෙමි. එයට හේතුව මම තාමත් විශ්වාස කරන්නේ වැඩිම පිරිසකට ඉගැන්වීමට තිබෙන හොඳම ස්ථානය වන්නේ රජයේ පාසල බවය. විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත ඈත ගමක දරුවන්ට නැවතත් ගහක් යට ඉගැන්වීමට මම තවමත් සිහින දකිමි. නමුත් මේ වන විට එය කළ නොහැක්කකි. ඒ ගැන යම් කණගාටුවක් දැනුනත් මා රජයේ පාසල් දෙකක අවුරුදු හතරක් තුළ කළ රැකියාව සම්බන්ධයෙන් මට බොහෝ සතුටුවිය හැක.
මම දැන්නම් කොහොමත් වර්ජනය නොකරමි. මීට වසර විස්සකට පමණ පෙර මා රජයේ ගුරු වෘත්තියෙන් ඉවත්වූ නිසා මම ඔළුවෙන් හිටගෙන වර්ජනය කළත් කාටවත් දැනෙන්නේවත්, වැඩක් ඇත්තේවත් නැත.