අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ ‛මනුතාපය’ අපට පෙර පන්තිවල සිසුනට අ:පො:ස: සාමාන්‍ය පෙළට නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස පැවතුණි. අවාසනාවට අප සාමාන්‍ය පෙළ පංතියට යනවිට නිර්දේශිත වූයේ වෙනත් නවකතාවක් නිසා මනුතාපය දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමේ අවස්ථාව අපට මගහැරුණි. එහෙත් තනිවම පොත කියවා රසවිඳීමට එය බාධාවක් නොවිණි.
මනුතාපය ප්රංශ ලේඛක වික්ටර් හියුගෝගේ ‛Les Misérables’ හෙවත් ‛The Miserable’ නම් නවකතාවේ සිංහල අනුවර්තනයයි. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල සූරීන් මෙම දීර්ඝ නවකතාව මුල් පොතේ රසයත් රැකගෙන පිටු 200කට පමණ සංක්ෂිප්ත කළේ කෙසේදැයි විමතියකි. මෙම අනුවර්තනයේ ඉතාමත්ම අලංකාර, ව්‍යක්ත සිංහලෙන් ගැබ්ව තිබේ.
මනුතාපයේ ජනවර්ජන ඔබට තවමත් මතක ඇතැයි සිතමි. තම සහෝදරියගේ දරුවන්ගේ බඩගින්න නිවීමට පාන් ගෙඩියක් හොරකම් කිරීම නිසා අවුරුදු 19කට ටූලොං ගැලියේ සිරකරුවකුව වහල් මෙහෙයේ යෙදීමට ඔහුට සිදුවේ. ටූලෝං ගැලියෙන් නිදහස්වුවත් අපරාධකරුවකු යන හංවඩුවත් සමග අතරමං වන ඔහු ‛බීස්කූන්වහන්සේ’ නමකගේ හෙවත් කරුණාවන්ත රදගුරුතුමෙකුගේ මාළිගයක නවාතැන් ගනී. එහිදී ඒ උතුමන්ගේ සීමාවක් රහිත කරුණාවට භාජනය වන ඔහු හොඳ මිනිසකු වන්නට හිතා ගනී.
මේ චින්තන විප්ලවයත් සමගම වෙනත් ඈත නගරයකට යන ජනවර්ජන බිස්කූන් වහන්සේගෙන් හොරකම්කළ (එහෙත් පසුව ඔහුට එතුමා විසින්ම තෑගිකළ) රිදී භාණ්ඩ විකුණා එයින් ලැබෙන මුදලින් කර්මාතශාලාවක් අරඹා ව්‍යාපාරිකයකු ලෙස දීර්ඝ ගමනක් යයි. පසුව එම නගරයේ නගරාධිපති බවටද පත්වන ඔහු ප්‍රසිද්ධ වන්නේ මඤ්ජුල යන නාමයෙනි.
ඔහු අතීතය වළදා දැමීමට උත්සාහ කළත් දිගින් දිගටම ඔහු පසුපස එළවන ජන්තු නම් පොලිස් නිලධාරියා ඔහුගේ ජීවිතය නැවතත් ආගාධයට ඇද දැමීමට නිරතුරුවම උත්සාහ කරයි. මේ අතරම ඔහු දුප්පත් ගැහැනියකගේ අනාථ දියණියකද රැකබලා ගැනීමේ අසීරු කටයුත්තද බාරගන්නේ නිමක් නොමැති තමන්ගේ කරදරවලට අමතරවය. මෙතනින් මතු කතාව ඔබම කියවා බලන ලෙස මම ඇරයුම් කරමි.