නිශ්ශංක සේනාධිපති, මී හරක් සහ ජෝසෆ් ස්ටාලින්


Nissanka Senadhipathi and Sri Lankan Joseph Stalin

ඒ ජෝසෆ් ස්ටාලින් සහ මේ ජෝසෆ් ස්ටාලින් ගැන ලිපියක් ලියා මෙතරම් ඉක්මනට නැවතත් මේ ජෝසෆ් ස්ටාලින් ගැන තවත් ලිපියක් ලිවීමට සිදුවේ යැයි නොසිතුවෙමි. නමුත් එසේ නොලියා බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා භූමිය තුළ අනෙකුත් වෘත්තිකයන්ට මෙන්ම ගුරු සහ විදුහල්පති වෘත්තිකයන්ට ද තම සාධාරණ ඉල්ලීම් ලබාගැනීම සඳහා වැඩ වර්ජනය කිරීම සඳහා ඇති ශුද්ධ වූ අයිතිය මම ඉඳුරාම පිළිගන්නා බව මින් පෙර ලිපියේ දී ද පැහැදිලිව සඳහන් කළෙමි. මේ ලිපිය ගුරු වැඩ වර්ජන සම්බන්ධයෙන් නොවේ.

පසුගිය බ්‍රහස්පතින්දා (Thursday, July 22, 2021) ගුරු සහ විදුහල්පති වෘත්තිකයන් කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතාවකින් පසුව ජනාධිපති මන්දිරය කරා පාගමනින් ගියේ ජනාධිපතිවරයාට සංදේශයක් ඉදිරිපත් කොට ඔහු හා සාකච්ඡාවක් ලබා ගැනීම සඳහාය. එහි කිසිදු වරදක් නැත. ඇඬුවේ නැත්නම් කිරි එරෙන්නේ නැත. ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ.

කඩුල්ල මුවා කිරීම

ගුරු සහ විදුහල්පති වෘත්තිකයන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසල සිටින විට මතභේදයට ලක්වූ ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති එතනට පැමිණීම අහම්බයක් යැයි සිතමි. ඒ ඔහු කලින් යොදාගත් කාරියකට මිස කුපිත වූ පිරිසකගෙන් (mob) ඉල්ලාගෙන කෑමට විය නොහැක. නමුත් එතැන සිටි ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සේ සැලකිය හැකි පිරිසක් ඔහුට අඩන්තේට්ටම් කළහ.

ඔහුට ජනාධිපති කාර්‍යාලයට ඇතුල් වීමට නොදී විරෝධතා පාඨ කියමින් ඔහු හොරෙක්, වංචා කරුවෙක්, දූෂිත‍යෙක් බව කෑගසා කියමින් ඔහු අපහසුතාවයට පත්වන ආකාරයේ නින්දිත හැසිරීමක් මේ ගුරු සහ විදුහල්පති වෘත්තිකයන් සේ සිතිය හැකි පිරිසෙන් සිදු වූ බව වීඩියෝ දර්ශන බැලීමේදී පැහැදිලි වේ.

නිශ්ශංක සේනාධිපති හොරෙක්ද, වංචා කරුවෙක්ද, අපරාධ කරුවෙක්ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ද, මිනීමරුවෙක් ද, ස්ත්‍රී දූෂකයෙක් ද, ළමා අපචාරකයෙක් ද යන්න තීරණය කිරීමට රටේ නීතිය හා සම්බන්ධ වෙනත් ආයතන ඇත. එවැනි ප්‍රශ්නයක් ඔහු සම්බන්ධයෙන් තිබේ නම් ඒ ප්‍රශ්න විසදාගත යුත්තේ එවැනි ආයතන හරහා ය. ඔහු ඉහත කී හෝ නොකී කිනම් හෝ අපරාධයකට සම්බන්ධ නම් ඒවාට විරුද්ධව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග මේ රටේ පවතී. රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ට, තම රටේ තවත් සහෝදර පුරවැසියෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට, ජන කොට්ඨාශයකට පමණක් නොව සතෙකුට පවා සිදුවන අසාධාරණයකට විරුද්ධව නීතිමය සාධාරණත්වය ඉල්ලා සිටීමට හැකියාව ඇත. නමුත් වෘත්තීය සමිති නායකයන්ට නොව අන් කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩ නොතැබිය යුතුය.

නමුත් සිදුවූයේ සිදුනොවිය යුත්තකි. නිශ්ශංකට නින්දා අපහාස කොට, කෑගසා, හූ කියා ඔහුව අපහසුතාවයට පත් කළ බව වීඩියෝ දර්ශන වලින් පැහැදිලිවම දැකිය හැක. අසභ්‍ය වචනවලින්ද ඔහුට සංග්‍රහ කළ බවක් ඇසුනත් ඒවා එතරම් පැහැදිලි නැත. එපමණක් නොව ඔහුට පහර දුන් බව ද පැවසේ. (එහෙත් එවැන්නක් ප්‍රසිද්ධ වී ඇති වීඩියෝ දර්ශන වලින් නම් නොපෙනේ.) එමෙන්ම විරෝධතා කරුවෝ ඔහුගේ වාහනයේ රෝදයක හුළං ඇරීමට තැත් කළ බවද පැහැදිලිව දැකිය හැක. මේ කිසිවක් නො සිදු විය යුතුව තිබුණි.

සමහරවිට නිශ්ශංක වාහනයෙන් බැස සුහදව මේ ප්‍රශ්නය විසඳාගැනීමට උත්සාහයක් ගත්තේ විරෝධතාකරුවන් ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බව නොදැන විය හැක. ඔහු සිතන්නට ඇත්තේ විරෝධතාකරුවන් ත්‍රීවීල් රියදුරුමහතුන්, මාළු වෙළඳපොළේ වෙළඳ මහතුන් හෝ මුඩුක්කුවල ජීවත්වන තරුණයන් කියා විය යුතුය. එහෙත් ඔහු සුහද සාකච්ඡාවක් සඳහා දොර විවෘත කළේ ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගොන්නක් මැද්දට බව දැන ගන්නා විට ඔහු ප්‍රමාද වැඩිය.

Mob (ජනෝගය – කලහකාරී පිරිස)

සාමාන්‍යයෙන් mob (කලහාකාරී පිරිස) එකක් යනු මෙවන් තත්ත්වයකි. බොහෝවිට රුසියානු විප්ලවය, ප්‍රංශ විප්ලවය සහ අනෙකුත් බොහෝ විප්ලවයන්, කැරලි, ජනතා නැගිටීම් ඇති වන්නේ මුලින් ඇතිවන මෙවන් කලහාකාරී පිරිස් තවදුරටත් වර්ධනය වීමෙන් හෝ එවැනි අවස්ථාවන් ශූර ලෙස ඩැහැගන්නා විප්ලවීය නායකයන් නිසාය. ව්ලැඩිමිර් ලෙනින් ද එවැන්නෙක් බව මම අසා ඇත. බොහෝ විප්ලව අවස්ථාවලදී, සිසු ගැටුම් වලදී, දේශපාලන පෙරළි වලදී, එසේත් නැත්නම් ගම් වල සිදුවන කුඩා මට්ටමේ ගැටුම් වල දී පවා සිදුවන්නේද බුද්ධියෙන්, තාර්කික ඥානයෙන් ක්‍රියා කරනු වෙනුවට මෙවන් කළහකාකාරී හැසිරීම් වලට ඕනෑම බුද්ධි මට්ටමක කෙනෙක් යොමුවීමයි. නමුත් එසේ කියා ඉහත සිද්ධියට සම්බන්ධ ගුරු සහ විදුහල්පති වෘත්තිකයන්ගේ අමන හැසිරීම් සාධාරණීකරණය කිරීමට නොහැක. මන්ද ඔවුන් (අවාසනාවකට මෙන්) මේ රටේ ජීවනාලිය බඳු යැයි කියන්නා වූ සිසු සිසුවියන්ට මග පෙන්වන නිසාය. මග පෙන්වන්නන් මෙසේ නම් ඒ මග යන්නන්ගෙන් (සිසු සිසුවියන්ගෙන්) අපි කුමක් බලාපොරොත්තු වන්නෙමුද?

කලහාකාරී හැසිරීමක දී සමහරවිට එයට මැදිවන්නකු මරා දැමීම දක්වාම එය වර්ධනය විය හැක. ඉහත සිද්ධියේදීද ආරක්ෂක අංශ අසරණ වූ බව හොඳින් පෙනිණ. යම් හෙයකින් එතැන මිනීමැරුමක් සිදු වූවා නම් සාක්ෂි හා සාක්ෂිකරුවන් සොයා ගැනීම හා නීතිය ඉදිරියේ දී මිනීමරුවන් වරදකරුවන් බව ඔප්පු කිරීම ඉතා අසීරුය. ඒ විශාල පිරිසක් ඉදිරියේ කෙනකු ඝාතනය කිරීමේ දී සාක්ෂි පරස්පර වීම නිසා ඝාතකයකුට ලැබෙන වාසියයි. CCTV කැමරා පද්ධති කොතෙකුත් තිබුණත් මේ දිනවල ඇති මුඛ ආවරණ නීතිය නිසා මිනීමරුවන්ට පහසුවෙන්ම ගැලවී යා හැක. අනෙක් අතට එතැනදී හෝ ඉදිරියේ පැවැත්වෙන යම් විරෝධීතාවයකදී හෝ කිසිවකු මිය ගියොත් දැන් තිබෙන ප්‍රශ්නය අමතක වී ගුරු සහ විදුහල්පති වෘත්තිකයන්ගේ සාධාරණ ප්‍රශ්න වලට සාධාරණ විසඳුමක් ලැබෙනවා වෙනුවට ඊළඟට සිදුවන්නේ ඔවුන් මිනීමරුවන් වී හිරේ යාම සහ ගුරු සහ විදුහල්පති වෘත්තිකයන්ගේ ප්‍රශ්න යටපත් වී යාම ය. රජයන් වලට අවශ්‍ය වන්නේ ද එයමය.

ජෝසෆ් මැදිහත් නොවුනානම් …

නිශ්ශංකට කලහකාරී පිරිසගෙන් ගැලවී යාමට නොහැකිව සිටියදී ජෝශප් ස්ටාලින් ජනාධිපති මන්දිරයේ සිට අහම්බෙන් හෝ එළියට පැමිණීමට ලැබීම කාගෙකාගේත් වාසනාවකි. එසේ නොවුණා නම් බොහෝවිට නිශ්ශංකට තුවාල සිදු කිරීම, ඔහුගේ වාහනයට අලාභහානි සිදු කිරීම, සමහරවිට ඔහුගේ ජීවිතයට හානියක් කිරීම පවා සිදුවිය හැකිව තිබුණි. නමුත් ජෝසෆ් ස්ටාලින් ඉතාමත් ඉවසිලිවන්තවව නිශ්ශංකට එතැනින් පිට වී යාමට ඉඩ සලසා දුනි. ඒ ජෝසෆ් ස්ටාලින්ය. ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාවය. ඔහුගේ common senseය. මානව හිතවාදයය. බොහෝ ගුරු සහ විදුහල්පති වෘත්තිකයන්ට නැත්තේද මෙයයි. මම ජෝසෆ් ස්ටාලින් ට ගරු කරන්නේ මේ නිසාය.


නිශ්ශංක, මී හරක්, ගුරුවරු සහ විදුහල්පතිවරු

මම නිශ්ශංක වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිදැයි ඔබ ප්‍රශ්න කරනු ඇත. එහෙත් සත්‍ය නම් මම ඔය මොකෙක් වෙනුවෙන්වත් පෙනී නොසිටීමයි. මම පෙනී සිටින්නේ මම දුටු වැරැද්ද පෙන්වා දීම වෙනුවෙනි. එය නිවැරදි කර නොගන්නා බවද මම හොඳින්ම දනිමි. එහෙත් මෙය උඩින් පල්ලෙන් කියවන ඔබ, නිශ්ශංක මට රුපියල් මිලියන ගණනක් ලබා දුන්නේ යැයි ප්‍රචාර යැවීමටද පුළුවන. එහෙත් මා දන්නා තරමින් නම් නිශ්ශංක ශූර ව්‍යාපාරිකයකු මිස මෝඩයකු නොවේ.

Sri Lankan Water Buffaloes (Courtesy Flickr)

නිශ්ශංකගේ ව්‍යාපාර නීත්‍යානුකූලද, සදාචර සම්පන්නද යන්න කතාකිරීමට තරම් ප්‍රාමාණික දැනුමක් හෝ පැහැදිලි තොරතුරු මට නැත. බොහෝ ව්‍යාපාරිකයන් අනීතික මෙන්ම සදාචාර සම්පන්න නොවන ලෙස ව්‍යාපාරවල නියැලෙන බව සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් මා ඉඳුරාම දන්නා දේ නම් මා වැන්නෙකුට මිලියන ගණනක් දීමට තරම් නිශ්ශංක මීහරකෙකු, (කඩුල්ල මුවාකළ) ගුරුවරයකු හෝ අඩුම තරමින් (කඩුල්ල මුවාකළ) විදුහල්පතිවරයකු හෝ නොවන බවය.

ප. ලි. මේ ලිපි‍යේ මතවාදී වශයෙන් නොව, කරුණුවල යම් වැරද්දක් (factual errors) ඇත්නම් මා නිවැරදි කරන්න.