විජය නිවසින් “සතුට” චිත්‍රකතා පත්තරය නැවතත් – සතුටේ “කටු” ගලවමු


"සතුට" මුල් පිටුව

“සතුට” මුල් පිටුව

1970 සහ 80 දශක ශ්‍රී ලාංකික චිත්‍රකතාවේ ස්වර්ණමය යුගයයි. පාසල් සිසුන් සහ තරුණයන් ලෙස අප එයින් උපරිම රසය විඳි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ප්‍රවෘත්ති පත්තර සහ වාර සඟරා කිහිපයක් පළවුණත් ඒවා ගම්වලට ආවේ කලාතුරකින්. නවකථා කොච්චර ජනප්‍රිය වුණත් ඒවා කියවීමට පුස්තකාලයක් හෝ තිබුණේ නැහැ. රේඩියෝ තිබුණෙත් සීමිත පිරිසකට. අඩු මිලකට, ඉතාම පහසුවෙන් සොයාගත හැකි සහ ගම පුරාම අතින් අත යවියහැකි රස ගුලාව වූයේ චිත්‍රකතා පත්තරයයි. එහෙත් 90 දශකයේදී චිත්‍රකතා කලාවේ පිරිහීම සහ බිඳවැටීම සනිටුහන් කළා. මේ ලිපියේ අරමුණ ඊට හේතු විස්තර කිරීම නෙවෙයි.

පසුගිය වසර කිහිපය තුළ චිත්‍රකතා පත්තර කිහිපයක්ම වෙළඳපලට පැමිණියත් ඒ එකකටවත් වැඩි ආයුෂ තිබුණේ නැහැ. මියගිය කලාවකට යළි පණදෙන එක ලෙහෙසි පහසු කාරියක් නෙවෙයි. අනික චිත්‍රකතා කලාව රැකගන්න චිත්‍රකතා පත්තරයක් මිළදීගන්න චිත්‍රකතා කලාව රසවිඳි පැරණි චිත්‍රකතා රසිකයන් කිහිප දෙනෙකු සිටියත් එවැන්නන් පමණකින් චිත්‍රකතා ප්‍රකාශනයක් පවත්වාගෙන යන්න බැහැ. වෙළඳපළ බලවේගයන්ට පිටතින් කලාවක් පවත්වාගෙන යාමටනම් එක්කෝ රාජ්‍ය අනුග්‍රහය හෝ නැත්නම් පෞද්ගලික අංශයේ ආයෝජනය ලැබිය යුතුයි. ඒ දෙකම නැති නිසා සහ වර්තමාන පරපුරට ගැලපෙන ලෙස වෙනස්වීමට චිත්‍රකතා ශිල්පීන්ට නොහැකිවූ නිසාදෝ මෑතදී පටන්ගත් චිත්‍රකතා පත්තර සියල්ලම බිළිඳු වියේදීම මියගියා. අන්තර්ජාලයේ බලපෑම, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ කෙටි පණිවිඩවල ප්‍රවෘත්ති සැපයීමේ වේගවත්කම නිසා සති අන්ත පුවත්පත් සහ වාර සඟරා පවා පවත්වාගෙන යාම අභියෝගයක් වූ විටක මියගිය කලාවක් රැකගැනීම ලෙහෙසි පහසු කාරියක් නෙවෙයි.

විජය නිවසින් “සතුට” චිත්‍රකතා පත්තරය නැවතත් එළිදකිද්දීනම් සතුටු හිතුණේ ඔවුන්ට ලාභ ලබා හෝ නොලබා මෙය පවත්වාගෙන යාමට ආර්ථික ශක්තිය ඇති නිසා. එමෙන්ම ඔවුන් සතුව ඔවුන්ගේ විවිධ ප්‍රකාශන හරහා නොමිලේම ලබාගතහැකි ඉතාම ප්‍රබල ප්‍රාචාරක ජාලයක්ද පවතිනවා. අනික පාඨකයන්ට සතුට පත්තරේ දැනට ලංකාදීප බදාදා පත්තරයත් එක්ක නොමිලේම ලබාදෙනවා. ඒ නිසාම නව පාඨක පිරිසකට මේ නොමිලේ ලැබෙන චිත්‍රකතා පත්තරේ උඩින් පල්ලෙන් හරි කියවන්න හිතෙනවා. ඔවුන්ගේ හිත ඇදී ගියහොත් සමහරවිට “සතුට” වෙනම ප්‍රකාශනයක් විදිහට වෙළඳපලට පැමිණේවි. විජය නිවස “පරිගණක” සඟරාව එළි දැක්වුවෙත් මේ අයුරින්මයි. දැන් එය වෙනම වෙළඳපලක් සහිතව තනි ප්‍රකාශනයක් විදිහට පවත්වාගෙන යන්නේ බොහෝ කලක සිටන්. “සතුට”ටත් එවන් කලක් එනවානම් කදිමයි. ඒත් එය බොහෝ සාධක මත රඳාපවතින්න සිදුවෙනවා.

මුලින්ම චිත්‍රකතා කරුවන් අළුත් පරපුරට ගැලපෙන ලෙස කතා සහ චිත්‍ර ශෛලිය තරමකට හෝ වෙනස් කරගන්න වෙනවා. 70 සහ 80 දශකයේදී තිබුණ චිත්‍රකතා ආකෘතියම නැවතත් එළිදක්වන්න යනවානම් “සතුට”ටත් ළදරු මරණයක් ලැබීම වළක්වන්න බැහැ. තරූ, අරවින්ද, කුමාර වැන්නන් මේ වෙනස අවබෝධ කරගත් දක්ෂයන්. එහෙත් පැරණි චිත්‍රකතාකරුවන් බොහොමයක් ඔවුන්ගේ ආකෘතියෙන් පිට පනින්නට අකමැතියි.

දැන් “සතුට” පළමු කලාපය ගැන කතාකරමු. මුල් පිටුව අතිශයින්ම ප්‍රියජනකයි. ඇන්දේ තරූ වෙන්න ඇති. ඉතාම සුන්දර ගැටිස්සියක්ගේ පින්තූරයක්. ඒත් අනිත් චිත්‍රකතාවල චිත්‍රත් එකතු කර ඇති නිසා මුල් චිත්‍රයට අසාධාරණයක් වෙලා වගෙයි. ඒත් එක්කම අඩුම ගානේ මුල්පිටුවවත් ටිකක් දීප්තිමත් කඩදාසියක මුද්‍රණය කරන්න පුළුවන්නම් හොඳයි. සාමාන්‍යයෙන් විජය ප්‍රකාශන අනිත් පත්තර ඔක්කොටම වඩා හොඳ කඩදාසි භාවිතා කරන ආයතනයක්. “සතුට” පත්තරේටත් එවැනිම කඩදාසියක් භාවිතා කරනවානම් අගෙයි. පත්තරේ නොමිලේ බෙදන නිසා මුලදී ඒක පාඩුවක් වේවි. ඒත් අනාගතය ගැන සුබවාදී විදිහට හිතනවානම් මේක වියදමකට වඩා ආයෝජනයක් වේවි. මම දන්න විදිහට “සතුට” නිසාම දැනටමත් බදාදා ලංකාදීප පත්තරේ වෙනදාට වැඩියෙන් විකිණෙනවා.

අනිත් එක සතුටේ වර්ණ සංයෝජනය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. පිටු බොහොමයක් අඳුරුයි. මුද්‍රණ ශිල්පය මෙතරම් නොදියුණු ඒ කාලයේ වුණත් චිත්‍රකතා පත්තර බොහොම දීප්තිමත්. ඒ නිසා වර්ණ සංයෝජනය කරන අය මේ ගැනත් ටිකක් හිතුවනම් හොඳයි මම හිතන්නේ.

දෙවෙනි පිටුවේ ප්‍රගීත් අබේධීරගේ Thinකිං හොඳ ආරම්භයක් පෙනවනවා. නමුත් ඔහුගේ චිත්‍ර මීට වඩා හොඳට තිබුණා මුල් කාලේදී.

තලංගම ජයසිංහගේ “යකඩ ගෑනි” විකට කතාවක්. මැද පිටුවේ කාටුන් ඒකට අමතරව තවත් විකට කතාවක් අවශ්‍යද කියන එකනම් ප්‍රශ්නයක්.

ඇන්ටන් බී. පෙරේරා කවදත් බටහිර ගොපලු (cowboy) චිත්‍රකතා අඳින්නෙක්. “අඩියෝස් අල්වාරෙස්” සුපුරුදු ගොපලු කතා ආරම්භයකට සුදුසු අයුරින් පටන් ගන්නවා. වයසට ගියත් ඇන්ටන්ගේ චිත්‍රවල හෝ අකුරුවල ගුණාත්මකභාවය එලෙසින්ම පවත්වාගෙන යන බව පෙනෙනවා. ගොපලු කථාවලට ආගන්තුක වර්තමාන තරුණ තරුණියන්ට මෙය හොඳ පිවිසුමක් වේවි.

ඉන්ද්‍රජිත් රන්ජන්ගේ “මගේම ආදරයක් තිබුණා” ඉන්ද්‍රජිත්ගේ පැරණි කතා ශෛලියෙන් වෙනස් බව පේනවා. හැබැයි මම පෞද්ගලික ආසවනම් ඔහුගේ පැරණි ශෛලියට. විශේෂයෙන්ම ගම්බද සුන්දරත්වය පෙන්වූ “සඳා” වැනි කථාවලට.

තරූගේ චිත්‍රවලට මම කවදත් ආසයි. ජපානයේ “මන්ගා” සම්ප්‍රදායේ චිත්‍ර අඳින අපිට ඉන්න හොඳම චිත්‍රශිල්පියෙක් තමයි තරූ. තරූ නව යොවුන් වියේ ආදර කථාවලට සුදුසුම ශිල්පියෙක්. ඉතාම සුරතල් බොන්ක්කියන් වැනි කෙල්ලන් සහ දඟකාර කොල්ලන් අඳින්න තරූ තරම් හොඳ කෙනෙක් මම තවත් දැකලා නැහැ.

සුසිල් ජයන්තගේ “සකෝ” කාටුනයනම් කැමිලස් වගේ ශිල්පියෙක්ගේ අහලකින්වත් යන්නේ නැහැ. ඒත් ඉතිං අළුත් අයටත් හැදෙන්න කලක් යාවිනේ.

අනුර ශ්‍රීනාත්ගේ නමක් නැති තනි පිටුවෙන් නිමවෙන කතාව ආදර්ශමත්. අනුර මෙවැනි කතා දිගටම වෙනත් පත්තරවලට ඇන්දා. ඒත් ඔහුගේ චිත්‍රවල තත්ත්වය පහළයාමක්නම් පෙනෙනවා.

සරත්මධු කියන්නේ “චිත්‍රකතා ලෝකයේ රජු.” ඒත් දැන් වයස්ගත නිසාදෝ ඔහුගේ චිත්‍ර සහ අකුරුවල පෙර තිබූ ලස්සන දැන් නැහැ. අනික ඔහු තවමත් 70 ගණන්වල ආකෘතියෙන් බැහැරවෙලා නැහැ. ඒ නිසා ඔහුගේ කතා ඒකාකාරී බවක් තමයි පෙනෙන්නේ. චිත්‍රකතා ශිල්පියෙක් ලෙස ඔහුගේ කාලය ඉක්මනින් අවසන් වෙන බවක් පෙනුණත්, නැවත වතාවක් මහන්සි වුණොත් ආපසු පැරණි සුන්දර කාලයට පැමිණෙන්න ඔහුට හැකි වෙන්නත් පුළුවන්.

සිනෙත් බැද්දගේගේ “සිව්මකරුමයාගේ දෝණි” ඔහුට ආවේණික ගමේ කතාවක්. මම පුද්ගලිකවනම් සිනෙත් ප්‍රියකළ කෙනෙක් නෙවෙයි. ඒත් ඔහුට විශාල රසික පිරිසක් හිටියා.

ටිඩී අබේසූරියගේ “සන්නස” අතීත වීරකතාවක්. මෙවැනි කතා එකක් හෝ තිබීම චිත්‍රකතා පත්තරයකට වැදගත්.

අරවින්දගේ “වගුරුබිම” ආරම්භක අංගය නිසා වැඩි යමක් කිව නොහැකි නමුදු ඔහෙගේත් චිත්‍රවල ආකර්ෂණීය ගතිය අඩුවී ඇතිබව පේනවා.

අවසන් පිටුවේ ඇති නමක් නැති කතාව මහජන බැංකුවේ දැන්වීමක් බව පෙනෙනවා. පත්‍රයේ වියදම පියවා ගැනීමට වෙළඳ දැන්වීම් පළකිරීම ගැන විරුද්ධ වීමට අපට නොහැකි වුණත් මේ කතාව අඩංගු පිටුවේ “දැන්වීමකි” යන්නවත් සඳහන් කළානම් සදාචාරවත්. අනිත් එක වෙළඳ දැන්වීම් ඵලකරනවානම් ඒවාට ඉඩ ගැනීමට අනෙක් චිත්‍රකතා පිටු ගණන අඩු නොකොට අඩුම තරමින් පිටු 16ක් චිත්‍රකතා සඳහා පමණක්ම වෙන්කරනවානම් හොඳයි.

නවක චිත්‍රකතා ශිල්පීන් උනන්දු කරවීමට අඩුම තරමින් එක පිටුවක් හෝ වෙන්කර තනි කතාංගයක කථාවන් හෝ ලියන්නට, අඳින්නට ඔවුන්ට ආරාධනා කළානම් වටිනවා.

පැරණි වට්ටෝරුවේ වුණත් වීරයකුගේ කතාවකුත් එකතු කළානම් හොඳයි. යුනිකෝ, ටෝගා නිසාම චිත්‍රකතා පත්තර කියවූ පිරිසකුත් හිටියා.

මේ ලිපිය ලියන අතරතුරදී චිත්‍රකතා ලෝලීන් වන වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මොහාන් සමරනායක සහ ප්‍රධාන ඉංජිනේරු වසන්ත සමරක්කොඩි, චිත්‍රකතා සංරක්ෂණය සහ නැවත ප්‍රචලිත කිරීමේ වර්තමාන පුරෝගාමියකුවන “නිමංසා” ආයතනයේ නිර්මාතෘ වසන්ත පරණවිතාන, චිත්‍රකතා කලාවේ අමතක කළ නොහැකි දායකත්වයක් ලබාදුන් කලාකරුවකු වන ජූඩ් ශ්‍රීමාල් මහත්වරුන්ට කතා කළා. ඔවුන්ගේ අදහස් දක්වීම්වලටත් බොහොම ස්තුතියි. මේ සමග පළකර ඇති චිත්‍ර දෙක ලබාදීම සඳහාත් වසන්ත පරණවිතානට විශේෂ ස්තුතිය හිමිවෙනවා.

අපි සැවොම බලා සිටින්නේ “සතුට” චිත්‍රකතා ලෝලීන්ට දිගින් දිගටම වින්දනය සහ ආනන්දය ලබදෙනතුරු. මේ උත්සාහයත් අතරමග නතරවුණොත් යළිත් ශ්‍රී ලාංකික චිත්‍රකතා දෙපයින් නැගිටවීමට හැකිවේදැයි සිතීමට අපහසුයි.

“සතුට” චිත්‍රකතා පත්‍රයේ සියලුම පිටු ස්ටෙප්ලර් කටු ගසා අමුනලා තමයි එන්නේ. ඒත් ඒ දවස්වල මෙහෙම කළානම් චිත්‍රකතා ලෝලීන් කැරලි ගහන්නත් ඉඩ තිබුණා. හේතුව එක්කෙනෙක් මුළු පත්තරේම කියවල ඉවරවෙනකල් අනිත් අයට ඉවසගෙන ඉන්න බැරි වුණ එක. ඒ නිසා පත්තරේ පිටු බෙදාගන්න පොරකනවා. ඒ තරම් පාඨකයන් චිත්‍රකතා පත්තරයට උනන්දුයි. ඒ නිසා “සතුටේ”ත් ඉක්මනට කටු ගලවන පාඨක පිරිසක් බිහිවේවා කියලා ප්‍රර්ථනා කරමු.

"සතුට" ප්‍රචාරක දැන්වීමක්

“සතුට” ප්‍රචාරක දැන්වීමක්

5 thoughts on “විජය නිවසින් “සතුට” චිත්‍රකතා පත්තරය නැවතත් – සතුටේ “කටු” ගලවමු

  1. Thanks for this great blog about ‘Vijaya-Sathuta’! Your title is thought provoking. Let’s hope for the best. One thing we have to keep in mind is that Jude Srimal has done a tremendous job by uniting some renowned comic artists into this paper: something we did not see in the recent comic papers which faced premature deaths. When you have a lot of new artists, survival will be somewhat difficult. But you have to give the opportunity for them as well which e-chiththrakatha does in abundance.

    Liked by 1 person

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.