ලලිත් කොතලාවලගේ නැගීම සහ වැටීම


මේ කෙටි ලිපිය ලිව්වේ (දේශමාන්‍ය,) ආචාර්ය ලලිත් කොතලාවල සමග (තවත්) මතභේදාත්මක චරිතයක් වන උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධීන රුපවාහිනියේ “සත්‍යාගාරය” සජීවී වැඩසටහන තුළ කළ සාකච්ඡාවක් අහම්බෙන් YouTube තුළින් හමුවීම නිසාය. (මෙය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත්වුණ අලුත විකාශය කළ වැඩසටහනක් බව පෙනේ.) දේශපාලකයන් සමග කරන මෙවැනි වැඩසටහන් නැරඹීම බොහෝ කලකට පෙර නවතා දැමුවත්, දීර්ඝ වුවත් මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම ඉවසිලිවන්තව නැරඹුවේ මෙයින් යමක් ඉගෙන එය මා විසින් වසර 20කට පෙර ඇරඹු හොරයිසන් ලංකා පදනම සම්බන්ධයෙන් ඇතිවූ පරිපාලන සහ මුල්‍යමය ගැටලු සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති කොතලාවල මහතාගෙන් යමක් ඉගෙන ගැනීමට හැකිවේ යැයි තිබූ විශ්වාසය නිසාය.

මම සිතූ පරිදිම වැඩසටහනේ මුල් භාගය කොතලාවල මහතාගේ සෙලින්කෝ ව්‍යාපාර අධිරාජ්‍ය බිඳවැටීමට හේතු වූ කරුණු සහ කඩාවැටුණු සෙලින්කෝ අනුබද්ධිත සමාගම් නැවත ගොඩනැගීමට ඔහුට ඇති සුබවාදී බලාපොරොත්තු සහ ඒ සඳහා ඇති උසාවි තීන්දු නිසා පැනනැගුණු නීතිමය බාධක සම්බන්ධයෙන් ඔහු දීර්ඝ ලෙස පැහැදිලි කළේය. එ අතරම මාස 9ක කාලයක් සිර ගෙදර ගතකළ ජීවිතය සමග දුප්පත් මිනිසුන් ගැන ඇති වූ අපිරිමිත අනුකම්පාව සහ ඔවුන් නගා සිටුවීමට ඔහුගේ ඇති ආශාව සහ ඒ සඳහා තම (තවමත් නොනැසී පවතින) ජවය සහ (සාර්ථක වේ යැයි ඔහු සිතන) ඔහුගේ සැලසුම් සම්බන්ධයෙන්ද පැහැදිලි කළේ නරඹන්නා තුළ මේ අතිශය සාර්ථක ව්‍යාපාරිකයා ගැන පහන් හැඟීම් ඇතිවෙන පරිද්දෙනි. මේ මිනිසාට තවත් අවස්ථාවක් දිය යුතු නොවේද යන්න මේ කොටස නැරඹු (සහ නරඹන) ඔබටත් සිතෙනු ඇත.

නමුත් ඔබ සැම මොහු ගැන අන්තයටම කලකිරෙන්නේ වැඩසටහනේ දෙවන භාගයත් සමගය. ඔහු මුලින්ම ඔහුගේ සභාපතිත්වය දරන සෙලින්කෝ සමුහයේ කඩාවැටුණ සමාගම්වල සම්පුර්ණ වැරදි එහි අධ්‍යක්ෂ මණ්ඩලවලට බර කළේ ඔවුන්ගේ තීරණ සම්බන්ධයෙන් ඔහුට කිසිම දැනීමක් නොතිබූ බව නැවත නැවතත් සඳහන් කිරීමෙනි. එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ 350කට අධික අනුබද්ධිත සමාගම්වල කටයුතු ගැන සොයා බැලීමට වෙලාවක් නැතිබවය. විශාල අනුබද්ධිත සමාගම් සමුහයක් ඇති වර්ජින් සමුහ ව්‍යාපාරයේ  නිර්මාතෘ රිචර්ඩ් බ්‍රැන්සන් වැන්නෙක් මෙසේ තම කණ්ඩායම පාවාදේදැයි සිතිය නොහැකිය. ඔබ නියම නායකයෙක්නම් කළ යුත්තේ කීර්තිය කණ්ඩායමට ලබාදී අපකීර්තිය ඔබ වෙත තබාගෙන හැකිතරම් දුරට හානිය පාලනය කිරීම (damage control) ඔබ අතට ගැනීමයි. අනෙක් විමතියට කරුණනම් කොතලාවල මහතා සන්නස්ගලගේ ප්‍රශ්නවලට දෙන්නේ “මම දන්නේ නැහැ, මට මතක නැහැ” වැනි පිළිතුරුය. මෙය මෑතකදී දේශපාලකයන්ට වැළඳුන රෝගයකි. මෙය ඔහුගේ වියපත්වීම නිසා සිදුවීයැයි සිතීමට අපහසුය. පැහැදිලිව පෙනෙන කරුණ නම් ඔහුට මුහුණේ හැඟීම්වල කිසිම වෙනසක් නොපෙන්වා, තැති ගැන්මට ලක්නොවී ටොන් ගණනින් බොරු කීමට හැකියාව ඇති බවයි. සත්‍ය ලෙසම තමන්ගේ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට කොතලාවල මහතාට වුවමනාවක් නැති බව බැලූ බැල්මට පෙනේ.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.