83 ජූලි කලබල සමය මට යාන්තමට මතකය. ඒ වන විට මට වයස යන්තම් අවුරුදු 10 පැන්නා විතරය. ඇඳිරි නීතිය දැම්ම බවත් සියළු ගුවන් විදුලි සේවා (ඒ කාලයේ තිබුනෙ රජයේ ගුවන්විදුලි සේවා පමණකි.) ඒකාබද්ධ කොට හැම සේවයකම එකම වැඩසටහන ප්‍රචාරය වුන බවත් යාන්තමට මතකය. කොළඹ ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි මහවිලච්චිය වැනි ඈත ගම්වලට දැනගැනීමට ක්‍රමයක් නොතිබිණි. එහෙත් ඒ වන විට කොළඹ රැකියාව කළ ලොකු අයියා ගෙදර ආවාට පසු ටිකක් විස්තර දැනගතිමි. ඔහු ගෙනා ඉරිදා දිවයින පත්තරයෙන්ද තවත් විස්තර දැනගතිමි. කොළඹ දෙමළ කඩ හා ගෙවල් කඩා ඔවුන්ගෙ වටිනා බඩු හොරකම් කරගැනීම ගැන දිවයිනේ “පකිස්ලන්තය” කොලමේ ගියේ “ජාති ආලය – පුහ් නැතුවා” හෙඩිමෙනි.
එහෙත් කලබල ගැන හොඳම විස්තර දැනගත්තේ ඒ දවස්වල කොළඹ ගොස් බජාර් එකේ වැඩවලට එන්ටර් වී ගමට පැමිණි සිරිමල් මාමාගෙනි. දෙමල මිනිසුන්ට ගහපු හැටි, පෙට්‍රල් දමා ගිනිතියපු හැටි, අමු අමුවේ මරා දැමුන හැටි සිරිමල් මාමා රස කර කියද්දී රැස්වූ බොහෝ අය ඒවා හිනා වෙවී අසා සිටියහ. ඒ වන විට මා දෙමළ මිනිසුන් ගැන දැන සිටියේ දුටුගැමුණු – එළාර කතාව පමණක් බැවින් මටද දෙමළ මිනිස්සු ගැන තරහක් තිබුණ නමුත් ඔවුන්ට කළ නොපනත් කම් ඇසූ විට මගේ හද කම්පා විණි. කොතනක හෝ බරපතල වැරද්දක් ඇති බව මට වැටහිනි. නිරායුධ දෙමළ මිනිසුන් මරා දැමීම වරදක් බව තවදුරටත් අවබෝධ වූයේ ඒ ගැන මාක්ස්වාදියකු මෙන්ම මානව හිතවාදියකු වූ අප්පච්චීගෙත්, කොමියුනිස්ට් මුදියන්සේ මාමාගේත් අතර වූ කතාබහෙනි.
කලබලවලට හේතු වූයේ ත්‍රස්තවාදීන් විසින් හමුදා භටයන් 13 දෙනෙකු මරා දැමීම බව දැනගත්තේ ඊටත් පසු කලෙක වූයේ ඒ සිද්දිය ආන්ඩුව විසින් වසන් ක්‍රීමට උත්සාහ කළ බැවින්දෝදැයි නොදනිමි.
කොළඹ ඇතිවූ කලබලය රට පුරාවටම ව්‍යාප්ත වී අනුරාධපුරයේද දෙමළ කඩ සහ සිත්තම්පලම් සිනමා ශාලාව ගිනිතබා දැමූ බව ආරංචි විය. රෝහල ළඟදී දෙමළ දොස්තර නෝනා කෙනෙකු රවුමට කැරකෙන සේ සාරියෙන් ඇද නිරුවත් කර පුළුස්සා දමන ලද බවක්ද කියවිණි. මේ සමහරක් කතා නිකංම නිකං කටකතා පමණක් වීමටද පුලුවන.
83 කලබලයේ සැබෑ බරපතල කම දැනෙන්නට පටන් ගත්තේ ඊටත් ටික කලකට පසුව තැන තැන බෝම්බ පුපුරා යාමටත් හමුදාව සහ අහිංසක වැසියන් බුරුතු පිටින් මිය යාමටත් පටන් ගත් පසුවය. ඒ වනවිට තත්වය නැවත හැරවීමට නොහැකි වනසේ නරක අතට හැරවී අවසානය. අපිද රේඩියෝව දමා ක්‍රිකට් ස්කෝර් එක අසන්නා සේ කොටින්ගෙන් මැරුනේ කීයද හමුදාවේ මැරුනේ කීයද යන්න ඇසීමට පුරුදු වීමු. කෙසේ හෝ දැන් ඒ සියල්ල අවසානය. අයෙත් සැරයක් නම් එවැන්නක් සිදු නොවිය යුතුය.
In 1983 riot period I was at A level classes. We were @ streets of Colombo. We saw these all JAATHI AALA works done by some of our beloved Sinhalese. Most of them smuggle Tamil people’s wealth. It was awesome!
LikeLike
Nandasiri, you write really well. I remember losing our home in ’83 but thankfully, we are back in the same home and living peacefully among our Sinhala neighbors. Continue your good work and keep bloging. We need more Sri Lankans like you!
LikeLike
nice read. I was not around that time. sadly the people in our country especially the sinhala young generation is not much aware of these things. We need an introspection dearly. Also the racism is rising again, we should stop it at any cost
LikeLike
Reblogged this on Nandasiri Wanninayaka and commented:
අද 1983 කළු ජූලි සැමරුම නිසා මේ පොස්ට් එක නැවතත් reblog කරනවා.
LikeLike
කළු ජූලියෙ සැමරුමක් කරන්න දෙයක් තියෙනවද?
LikeLike
සමරනවා කියන්නෙ ස්මරණය නැත්නම් සිහිකරනවා කියන එකයි, මේක කියන celebrate වචනෙට සමාන නැහැ මං හිතන්නේ. ඒ නිසා වරදක් නම් පෙනෙන්නේ නැහැ.
LikeLike